කචා මුරිස් හා තාගෝර්

 ඡායාරූපය:

කචා මුරිස් හා තාගෝර්

අමු මිරිස් වෙළෙන්දා, අමු මිරිස් පමණක් නො-විකුණයි. බොහෝ විට දෙහි හා අමු මිරිස් එකට විකීණීම සිරිතයි. ලංකාවේ සේම බංගලාදේශයේ ද අමුමිරිස් හා දෙහි එකට විකිණේ. බටු, ලබු, වට්ටක්කා, පිපිඤ්ඤා, කෝවක්කා ආදිය සුලබ එළවලු ය. ඉතා සිහින් වෙන්න කපා ගත් එළවලු අබ තෙලේ තෙම්පරාදු කළ සබ්ජි කරිය විවිධ රොටී වර්ග හෝ බත් සමඟ ආහාරයට ගැනේ. වෙනස නම්, ලංකාවේ මෙන් එකවර සියලු ව්‍යංජන බත් පතට බෙදා ගන්නවා වෙනුවට බත් ගොඩක්, එක වැන්ජනයක් සමඟ බැගින් වැන්ජන කීපයක් හා බත් ගොඩක් අහරට ගැනීමයි.

පිටිසර බංගලාදේශය කෘෂිකාර්මික ය. බ්‍රහ්මපුත්‍ර හෝ යමුනා නදිය අසබඩ පිහිටා ඇති සමහර දිස්ත්‍රික්ක අවුරුද්දේ මාස තුනක් පමණ ගංවතුරෙන් යට වී පවතියි. එහි වෙසෙන ප්‍රජාවන් සිය වටිනා දේ පමණක් නොව දරුවන් පවා වහලේ පරාලවල ප්‍රවේසමට ගැටගසා තබා ජීවිතය ගෙවීම සාමාන්‍ය කරුණකි. ගංවතුර නිසා වාර්ෂිකව සරු වෙන නිම්නයේ ද, ගංගා දුපත් හි ද හරිත පැහැති කෙත් යායන් බැලූ තෙක් මානයේ විහිදෙයි. ලංවී බැලූ විට පේළි සිටවූ කුඹුරුවල, ගොයම් ගස් පඳුරු ගසනු දැකිය හැකිය. ලියදි මැදින් දිව යන මාර්ගය හා කුඹුරු මායිම් කරන නියර ඉතා පිරිසිදුය. කෘෂි රසායන යොදාගන්නා නමුත්, කායික ශ්‍රමය නොකඩවා යොදමින් වල් නෙලන ගොවියන් කෙත් යායේ තැනින් තැන පෙනේ. වල් පැලෑටි නැති කුඹුරු යායේ, හිස ඔසවා කෘෂි ළිං වලින් වතුර ගොබ විදින අත්ට්‍රැක්ටර් වලට සවිකළ වතුර පොම්ප තැනින් තැන පෙනෙයි. වතුර ගොබය වෙත හිස අල්ලමින් ජල කෙළියේ යෙදෙන පොඩිත්තන් මෙහි සුලබ ය.

පාසල් නිවාඩුවක් නොවෙන නමුත්, පාසල් වියේ දරුවන් බොහොමයක් තැන තැන කෙළියේ යෙදෙනු පෙනේ. බොහෝ දරුවන් අඩුවයසෙන් පාසලෙන් හැලී යති. ගැටිස්සියන් විවාහ කර දීම නීතියෙන් තහනම් නමුත් විවිධ උපක්‍රම යොදාගෙන ඔවුන් විවාහයේ බැඳ දැමේ. පාසලේ 7-9 පන්ති වල කෙල්ලන් හදිසියේ පාසල් ඒම නැවැත්වීම මෙහි සුලබය. දරිද්‍රතාවය නිසාද, ගංගාවන්ගේ වාර්ෂික චක්‍රයට යටත් වීමට සිදුවීම නිසාද, මෙහි ජලගැලීමට යට වන ප්‍රදේශ වල පවුල් ඉතා ඉක්මණින් සිය දරුවන් වැඩිහිටි වීම අපේක්ෂා කරති. ඔවුන්ගේ සිහින ගංදියේ ගසාගෙන යන්නේ ඔවුන් ඒ ගැන හිතනවාටත් වඩා වේගයෙනි.

ගම්බද පාර කොස් ගස් රැසින් මායිම් වේ. කොස් ගස් නැති කුඩා ඉඩමක පවා වෙනත් දැව ශාක පිළිවෙලට වවා ඇත. අප්‍රේල් මාසය නිසා කොස් ගස්, පොලොසින් බර වී ඇත. පාරපුරා, ගවයින්, එළුවන්, කුකුලන් හා තාරාවන් දැකිය හැකිය. සමහර කුකුළු වර්ග පරෙවියෙකුට වඩා විශාල නැත. කඩමණ්ඩියේ තේ කඩයෙහි වාඩි වී තේ බොන්නන් ගෙන් හිඟ නැත. තේ කඩයේ බුලත් විට ද විකිණේ. බුලත් විට සමඟ සමග කෑමට බුලත් නැට්ටක දැවටු හුණු ඩිංගක් ලැබේ. කිරි තේ එක හෝ කහට එකට යොදාගන්නා තේ කොළ රසවත් නැති නමුත්, කිරිතේ එක ලිප මත නිතර උණු වෙමින් පවතින මුට්ටියේ ඇති නැවුම් කිරෙන් සාදන නිසා ප්‍රණීතය. තේ එකක් පානය කර විටක් කටේ දා ගත් විට ගමේ ආවා වැනි හැඟීමක් ඇති වීම වැළැක්විය නොහැකිය.

ගංගා නිම්නයේ අක්කරයේ දෙකේ, දෙහි වතු දැකිය හැකිය. කැබලි වලට කැපු ඔඩු දෙහි සෑම කෑම වේලකම අත්‍යවශ්‍ය අංගයකි. අඹ ගස් වල ගැට මෝරමින් පවතියි. පළතුරට සේම අච්චාරුවට ද අඹ සුදුසුය. ගිය අවුරුද්දේ තැනු අඹ අච්චාරු දැන් ව්‍යවහාරයට ගැනේ. 

මේ සියල්ල සිහිනයක් වන්නේ වාහන තදබදයෙන් හා මිනිස් ගහනයෙන් ආකුල වුණු ධකා නගරයේ වීදි දිගේ ඇවිද යන විට දීය. තැනක කෝමාරිකා යුෂ යෙදු තේ විකුණන කෙනෙකි. තවත් තැනෙක කඩල, පිපිඤ්ඤා මිශ්‍ර කටගැස්මක් විකුණන කෙනෙකි. වර්ණයන් හා ගන්ධයන් ගෙන් කලබලයට පත්වන ඉන්ද්‍රියයන්ට ආදානය වෙන කිසිවක් ග්‍රහණය කරගත නොහැකි තරම් පදික වේදිකාව නොසන්සුය.

මේ කලබලය මැද තාප්පයක ඇඳ ඇති තාගෝරයන්ගේ රූපයක් ඇස ගැටිය හැකිය. බංග්ලාදේශයේ රවින්ද්‍රනාත් තාගෝර් ස්වදෙශියෙකු ලෙස සැලකේ. අදද මෙහි දරුවන් රබීන්ද්‍ර සංගීතය උගනිති. මැද පන්තියේ නිවෙසක පොත් රාක්කයේ ගීතාංජලිය නොවරදියි. පිටිසර බංගලාදේශයේ පිපෙන බකුල කුසුමක සුගන්ධය ධකා නගරයේ කලබලය මැදට සම්ප්‍රේෂණය වන්නේ තාගෝරයන්ගේ කවියක් මගින් විය යුතුය.
-ධකා අගනුවර දී ය, 2018 අප්‍රේල් - 

[හෂිත අබේවර්ධන]