සමනල පිහාටු වල තැවරුණු මනුෂ්‍යත්වයේ වර්ණ | ඇස පාදන රැස


සමනල පිහාටු වල තැවරුණු මනුෂ්‍යත්වයේ වර්ණ

 ඡායාරූපය:

සමනල පිහාටු වල තැවරුණු මනුෂ්‍යත්වයේ වර්ණ

වෙඩි වැදුණු සමනලුන් ගැන කතා බොහොමයක් මම අද මේ මොහොතේ ද අසමින් සිටිමි. එහෙත් ඔවුන් සමනලුන් ලෙස සලකන්නට කැමැති මිනිසුන් වේගයෙන් වඳවී යාමේ ඛේදය මම දුරකට වී බලා සිටිමි.” 

මෙලෙස ලියන්නේ සනත් බාලසූරිය ය.

දෙදහස් දහතුනේ දී "මරණයේ සෙවනැල්ල යට නිදාසිටි පූස් පැටියා"නමින් පලකෙරුණු  සිය දෙවැනි කෙටිකතා සංග්‍රහයෙහි පෙරවදනේ මෙන්ම පසුවදනේ ද බහාලමින්. 

මා කියවා අසා දැනගෙන මතකයේ ඇති කරුණු කාරණා අනුව "සමනලයෙකුට වෙඩි තැබීම"යන යෙදුම මුලින් යෙදෙන්නේ විජය කුමාරණතුංග වෙනුවෙනි. ඒ එකදාස් නවසිය අසූ අටේ පෙබරවාරි දහසය වෙනිදා ඝාතනය කෙරුණු විජයගේ මරණයට එක්කල පසුවදනක් ලෙස ය. මුලින් පිටුපසින් තැබුණු වෙඩි පහරවල් දෙකකින් ද ඉන්පසුව මුහුණ පුරා අතහැරි වෙඩි වැලකින් ද  සමනළයා මරා මුහුන කැත කර දමා තිබිණි.  

ප්‍රේමකීර්ති විසින් විජයව සමනළයකුට සම කෙරුණේ  ඝාතකයාගේ ද ඝාතකයාගේ ස්වාමීවරුන්ගේ ද ද්වේෂයට පාත්‍රවූ ඔහුගේ රූප සොබාව නිසා පමණක් නොවේ. ඔහු සතු විණැයි කියනා ෙප්‍ර්මකීර්තිත් අනිවාර්යයයෙන් අසාගෙන පමණක් නොව අත්දැකද  ඇත්තා විය හැකිව තිබූ මිනිස්කමට දැක්වූ ආදරය නිසා ය. තමා පමණක් නොව අනෙකා ද තමන් මෙන් ජීවිතය විඳිය යුතුයැයි කළා වූ විශ්වාසය නිසා ය. විජය ගැන වූ යාන් හෑල්ලක කියවෙන පරිදිම “ සෙට් එකේ උන් බත් කද්දී  තමන් තනිවම බුරියානි කෑමට නොහැකි "වන තරමේ හෘද සාක්ෂියකින් සමන්විත වූ නිසා ය.  

එලෙස මානව ගුණාංගයන්ට වටිනාකම් දුන් මිනිසුන්ට වටිනාකම් දුන්නා වූත් ඒ සමනල කැළෙහිම තවත් සමනලයෙකු වන්නට සියල් සුදුසුකම් සපුරා තිබුණා වූත්  ප්‍රේමකීර්ති ද අල්විස්  විජය ඝාතනය කර වසර එකහමාරකට පසු මෙලොව හැර යන්නේ ය. එකදාස් නවසිය අසූ නවයේ ජූලි තිස් එක දා, රෑ අටයි තිහට පමණ. ඝාතන කල්ලියක උණ්ඩ වලට බිලි ව. සිය නිවසට යාර දෙසියයකට පමණ එහායින්. 

ආණ්ඩුවේ ද ආණ්ඩු විරෝධීන්ගේ ද ආණ්ඩුවට හිතවත් වූවන්ගේ ද ආණ්ඩු විරෝධීන්ට හිතවත් වූවන්ගේ ද පමණක් නොව තම අතිශය පුද්ගලික උවමනාවන් වෙනුවෙන් අරාජිකත්වයේ සෙවණැලි භාවිතා කළ එවුන්ගේ ද නොමද ආශිර්වාදයෙන් සමනලුන්ට වෙඩි තැබූ එක් යුගයක් එලෙස නිමාවී ගියේ ය.   

ඇතැම්හු නා පිරිසුදුව දෑත්හි තැවරී තිබූ සමනල් කුඩු සෝදාගෙන ශුද්ධවන්තයන් වූහ.  

තවෙකෙක් මළ සමනල් පිහාටු හිසෙහි ද උරෙහි ද ගසා ගෙන බැබළෙන්නට වූහ. 
ඒ අතර තවත් අය සමනලුන්ම  වූහ.  

මිනිසුන්ට ආදරය කරන. මිනිස් බවට ආදරය කරන. ඒ වෙනුවෙන් වෙහෙසෙන. 
එලෙස සමනලයෙකු වීම අපහසු ය. සමනලයෙකු ලෙස දිවි ගෙවීම ඊටත් අපහසු ය.  

එහෙයින් අඩු තරමින් සමනලුන්ට ආදරය කරන්නට හෝ අප හුරුවිය යුතු ය.  
 ආදරය කරන්නට බැරි නම් උන්ව ඉවසීමට තරම් හෝ අප දියුණු විය යුතු ය.  
 මන්ද.  

ඔබ විසින් අද දින ගොඩගසාගෙන සිටින සියළු භෞතික වටිනාකම් ඔබේ දුවා දරුවන්ට යහපත් යැයි සම්මත ආරක්ෂාකාරී ජීවිතයක් තැනීමට සමත් වන්නා විය හැකි වුව ද ඔබේ මුණුපුරන් මිණිපිරියන් ගේ ජීවිතය රැකෙන්නේ ඒ සමනල පිහාටු වල තැවරුණු මනුෂ්‍යත්වයේ වර්ණයන්ගෙන් පමණක්ම වන හෙයිනි.  

[අනිල් ෙහ්රත්]