ඔබේ දෙවියන් සඳහා ඔබ සුදුසු නැත! | ඇස පාදන රැස


ඔබේ දෙවියන් සඳහා ඔබ සුදුසු නැත!

 ඡායාරූපය:

ඔබේ දෙවියන් සඳහා ඔබ සුදුසු නැත!

හෙට දිනයේදී ඈත තාරකා පද්ධතියකින් පෘථිවිය කරා පැමිණෙන, එසේ පැමිණ පෘථිවි වාසීන් හා මූලික සම්බන්ධතාවය නිර්මාණය කිරීමට පෙරාතුව ඈතින් හිඳ ඔවුන්ව අධ්‍යයනය කරනා පිටසක්වළයින් පිරිසක් ගැන සිතන්න. ඔවුන් පෘථිවියේ සුන්දරත්වය දකිනු ඇත. පෘථිවිය මත පරිණාමයේ දියුණුව දකිනු ඇත. එසේම හුදු විශ්වීය අහඹුවකින් නිර්මාණය වූ ආදි සූපය ඔස්සේ දැවැන්ත නගර දක්වා, අභ්‍යවකාශයට යෑමට තරම් දියුණු වූ තාක්ෂණය  දක්වා පැමිණි මිනිසුන් කෙතරම් තමන් විශ්වය තුළ සුවිශේෂි යැයි සිතන්නේද යන්නද දකිනු ඇත. මිනිසා මතු නොව, ජීවී අජීවී මිහිතලය මත වූ සියලුම දෙය යම් කිසි උත්කෘෂ්ට සැලසුමකට අනුව සිදුවී ඇතැයි සිතන්නා වූ, එයින් තමන්ගේද සුවිශේෂීත්වය පිළිබඳ තෘප්තිමත් වන්නා වූ මිනිසුන් දකිනු ඇත. ඒ වෙනුවෙන්ම සර්ව බලධාරී දේව ආකෘතීන් නිර්මාණය කොට ගත්, තමන්ගේ දෙවියන්ට වන්දනාමාන කරනා මිනිසුන්ව මේ පිටසක්වළයින් දකිනු ඇත. එසේම මිනිසාගේ අනෙක් කුදු මහත් ක්‍රියාකාරකම් සෑම එකක්මද මෙම පිටසක්වළයින්ගේ නිරීක්ෂණාක්ෂියෙන් ගැලවී නොයනු ඇත. අවසානයේදී ඔවුන් මෙම මිනිසාගේ දෙවියන් සම්බන්ධයෙන් පැමිණෙනු ඇති තීරණය කුමක්ද? සරළවම පැවසුවහොත්, ඕනෑම ආගමක සිටිනා ඕනෑම දෙවියෙකු, ඕනෑම වක්තෘවරයෙකු, ඕනෑම ශාන්තුවරයෙකු සැබවින්ම තිරශ්චීන මෘගයින් යැයි මෙම පිටසක්වළයින් හඟිනු ඇත!
ලෝකයේ ශිෂ්ටාචාරයන් ඇරඹුණු දා පටන් ප්‍රචණ්ඩත්වය, තිරශ්චීනත්වය, කෘෘරත්වය හා ආගම් අතර සම්බන්ධකම් පැවතුනේ අහඹුවකින් නොවේ. ආගමේ නාමයෙන් සිදුකෙරෙනා මනුෂ්‍ය ඝාතන, සත්ව ඝාතන, දේපළ හානි, අඩන්තේට්ටම්, බියවැද්දීම්, කොන්කිරීම් ආදී සියලුම ආකාරයේ අමනුෂ්‍ය ක්‍රියාවන් අතීතයේ පල්ලියේ අනුග්‍රහයෙන් මායාකාරියන් පුළුස්සා දැමීමේ සිට, ධර්මාධිකරණයන්ගේ සිට, ඉස්ලාමයේ නාමයෙන් මිත්‍යාදෘෂ්ටිකයින්ගේ හිස් ගසා දැමිමේ සිට, හින්දු දේව ත්‍රිත්වයේ නාමයෙන් මිනී මැරීමේ සිට, සිංහල බෞද්ධත්වයේ නාමයෙන් අන්‍යාගමිකයින්ට අඩන්තේට්ටම් කිරීම දක්වා අදටත් පැවත එයි. මනුෂ්‍යත්වයට නොතරම් තිරශ්චීන ක්‍රියාවන් ආගමේ නාමයෙන් සිදුකිරීමේ සිට, අපරාධකරුවන්ව ආගමේ නාමයෙන් ‍රැකීම දක්වා ආගම ආවරණයක් වී තිබෙයි.
මෙයට පිළිතුර වන්නේ සියලුම ආගම් පෘථිවි තලය මතින් අතුගා දැමීමද? නො එසේ නම් මුලු මහත් පෘථිවියටම එක් ආගමික විශ්වාසයක් හඳුන්වා දීම වැනි කළ නොහැකි යමක්ද?
පිළිතුර වන්නේ ඒ එකක් හෝ නොවේ.
සැබවින්ම ගැටළුව ඇත්තේ දෙවියන් තුළ හෝ අනෙකුත් ශාස්තෘෘවරයෙකු තුළ නොවේ. ගැටළුව ඇත්තේ ඔබ තුළයි. ගැටළුව ඇත්තේ දෙවියන්ට හෝ විශිෂ්ට දර්ශනයක් වෙත දිගු කළ හැකි වෙනත් එවැනි සංකල්පයක් සඳහා නොතරම් වූ මිනිසුන් තුළයි.
සංස්කෘතික අදහසකින් ලෝකයේ විවිධ ආගම් පැවතීමේ ගැටළුවක් නැත. සැබවින්ම විවිධාකාරයේ ආගම් හරහා නිර්මාණය කෙරෙනා සංස්කෘතික සුන්දරත්වයම, මනුෂ්‍ය සංහතියේ විවිධත්වයෙන් පැන නගිනා සුන්දරත්වයට, වර්ණවත් බවට හේතුවක් වනු ඇත. නමුත් කෙදිනක හෝ ආගම් සඳහා පද්ධතිය තුළ ප්‍රමුඛත්වයක් ලබාදිය යුතු නැත! කිසිදු ආගමකට හිමිකාරීත්ව සංකීණයක් නිසා ප්‍රමුඛතාවය ඉල්ලා සිටීමේ අවකාශය හෝ ලබාදිය යුතු නැත. මෙම ගැටලුව විසඳීම සඳහා මේ මොහොතේ ගැනීමට හැකි හොඳම තිරසාර විසඳුම වන්නේ එයයි.
සැබවින්ම ආගමේ නාමයෙන් අපරාධයක් සිදුකරන්නේ, අපරාධකරුවෙකු - අපරාධකාරී මානසිකත්වයක් ඇති අයෙකු මිස, යහපත් මනුෂ්‍යයෙකු ආගමක් නිසා අපරාධකරුවෙකු බවට පත් නොවේ. අංගුලිමාල බවට පත්වූ අහිංසක, මිනීමරුවෙකු වීම සැබවින්ම ගුරුවරයාගේ අපරාධකාරී චිත්තය වෙත පමණක් ලඝු කොට, අංගුලිමාලයන් දැහැමියෙකු ලෙසින් ගත නොහැක්කේ එබැවිණි. පසුව අංගුලිමාලයන් සත්‍යාවබෝධය ලබා ධර්මයෙහි පිහිටීම සැබවින්ම දෙවෙනි අවස්ථාව සම්බන්ධ කාරණයක් පමණි. ඒ නයින් ගුරුවරයා නිසා හෝ, දෙවියන් නිසා හෝ, ආගමික ශාස්තෲවරයෙකු නිසා අපරාධකරුවෙකු වන බවට ප්‍රකාශ කරනා ඕනෑම අයෙකු තමන් සිදුකරනා අපරාධයන්ගේ විශාල ප්‍රමාණයක වගකීමක් ගත යුතුවෙයි. එය බෞද්ධයෙකුට වේවා, ඉස්ලාමිකයෙකුට වේවා, හින්දුවෙකුට වේවා, ක්‍රිස්තියානුවෙකුට වේවා පොදු විය යුතු වේ.
ලෝකයේ සම්පූර්ණ සුදු මිනිසුන් නැතිවාක් මෙන්ම සම්පූර්ණ කළු මිනිසුන්ද නොසිටින බව අපගේ පොදු පිළිගැනීමයි. නමුත් දැන් දැන් අපට සිතීමට වන්නේ සුදු මිනිසුන් නැතිවූවත්, බාහිර හේතූන් නිසා හෝ සම්පූර්ණයෙන් කළු බවට පත්වූ මිනිසුන්ද ලෝකයේ සිටිනා බවයි. නමුත් පිටසක්වළින් පැමිණි අමුත්තන් දිගින් දිගටම අපව නිරීක්ෂණය කළේ නම්, ඔවුන් පෘථිවිය පිළිබඳ බලාපොරොත්තු අත් නොහරිනු ඇත. මන්දයත්, නිර්භයා, සේයා, විද්‍යා, අසීෆා වැනි මිනිස් දියණියන් සේම, ඔවුන්ට මිනිස් කමට නොතරම් අමානුෂික ඉරණම අත් කොටදුන් අයවලුන් සේම, නිර්භයා, සේයා, විද්‍යා, අසීෆා වෙනුවෙන් කඳුළු සලනා සුවහසක් වූ යහපත් මනුෂ්‍යයින්ද ඔවුන් දකිනු ඇති බැවිනි...

[අරමානිස් බලසේක්කු]