ආණ්ඩුකාරයා සහ අවුරුදු කුමාරයා

 ඡායාරූපය:

ආණ්ඩුකාරයා සහ අවුරුදු කුමාරයා

උදෑසන අවදිවී මහා කරුණාවෙන් ලෝකයා දෙස බලන උන් වහන්සේට දැක ගැනීමට හැකි වූයේ සියදිවි නසාගැනීමට උත්සාහ කරන තරුණයකු මෙන් කොටට කෙස් වැටිය කපා දමා ඇති ගෙලෙහි මාලයක් වැනි යමක් පැලඳ සිටින තරුණියකි. 

ඇය පිළිබඳව වූ මහත් අනුකම්පාවෙන් එම ස්ථානයට වැඩම කළ උන් වහන්සේ ඇයගෙන් සිය දිවි නසා ගැනීමට හේතු විමසා සිටියේය. තම ස්වාමි දරුවාගේ වද වේදනා විඳ දරාගැනීමට නොහැකිව සියදිවි නසාගන්න සැරසෙන බව පවසා සිටි ඇයට ධර්මය දේශනා කර සත්‍යය අවබෝධ කරදීමට ඇයගේ කුලය කුමක්දැයි ජාතිය කුමක්දැයි රැකියාව කුමක්දැයි උන් වහන්සේ විමසුවේ නැත.

හමේ පාට බැලුවේ නැත. ඇයගේ මව පියා කවුද කියා බැලුවේ නැත. ඇය විවාහකද අවිවාහකද කියා බැලුවේ නැත. ඇය අඳින පළඳින ආකාරය ගැන බැලුවේ නැත. ඇයට ඒ වෙලාවේ අවශ්‍ය ආකාරයට ධර්මය දේශනා කරමින් ඇගේ ජීවිතය බේරාගත්තේය.  
කුල බේදය දරුණුවටම ක්‍රියාත්මක වූ සමාජයක බුදුන් වහන්සේ කුලමල, ජාති ආගම් වයස නොබලා සැමට පිහිට විය. 
පසුගිය දිනයක ආණ්ඩුකාරවරයෙක් පත්කිරීමට විරුද්ධව  හිමි නමකගේ විරෝධය පෑමක් ගැන පුවතක් කන වැකුණ විට මාහට සිතු‍ෙණ් බුදුන් වහන්සේ ලංකාවේ මේ කාලයේ ජීවත් වූවා නම් උන්වහන්සේට පවා විරෝධය එල්ලවිය හැකි බවයි.   
ආගම් සම්බන්ධ කාරණාවලදී ඉතා සංවේදී ජනතාවක් ජීවත්වෙන රටක පාලකයන් පවා ආගමට යට වී ක්‍රියා කිරීම අරුමයක් නොවේ. 
රටක ආගම පුද්ගලික කාරණයක් විය යුතු බවත් එය රාජ්‍යයෙන් වෙන්විය යුතු බවත් අප දිගින් දිගටම පවසන්නේ රටේ නීතිරීති වලට දිගින් දිගටම කිසිම වගකීමකින් තොරව ආගම්වල මැදිහත්වීම නිසාය. 
අත්‍යාවශ්‍ය හේතුන් මත ගබ්සාව නීතිගත කිරීමට රජය ගත් උත්සාහය ව්‍යර්ථ වී ගියේද කතෝලික ආගමේ හරස් කැපීම නිසාය. සමාජ ප්‍රගමනය වෙනුවෙන් සිදුකරන යම් යම් ප්‍රගතිශීලී කටයුතුවලදී ආගම්වල නායකයින් දිගින් දිගටම මෙවැනි ලෙස හැසිරීම නිසා අඩාළ වන්නේ මේ රටේ ඉදිරි ගමනය. 
එය බලපාන්නේ ඔබට මට පමණක්ම නොව අනාගත පරම්පරාවටම එය බලපානු ඇත. මහජන දේපල කොල්ල කමින් ඕනෑම ජඩ වැඩක් කිරීමට පසුබට නොවන පක්ෂ විපක්ෂ  මැති ඇමතිවරු අටපිරිකරක් රැගෙන මහනායකවරු බැහැ දැකීමට පැමිණෙන විට ඔවුන්ගේ ගුණ වයනු මා අනන්තවත් දැක ඇත. අගරදගුරුගේ පටන් පල්ලියේ පූජක වරුන්ද එසේමය. 
ඒවාට විරුද්ධ වීමට ඔවුන් උත්සාහ කරනු හෝ ඒවාට විරුද්ධ වනු මා දැක නැත. නමුත් කුලය නිසා මිනිසුන් ප්‍රතික්ශේප කිරීම නම් අනන්තවත් දැක ඇත. මීට ප්‍රථම උත්සවයකදී අස්ගිරි පාර්ශ්වය සමඟ එකම ස්ථානයක අසුන් පැනවූවා කියා එම උත්සවයෙන් නැගිට ගිය පුවත්ද අප හට වාර්තා විය. කිසිම බේදයක් නොමැතිව සැමට එක හා සමානව සලකන ලෙස දේශනා කරන ලද ධර්මයක නියෝජිතයින් අද සිටින තැන දකින විට ඇතිවන්නේ කලකිරීමක් මුසු වූ සිනහවකි. 
ලෝකය තාක්ෂණය සමඟ මුසුවෙමින් සීග්‍රයෙන් ඉදිරියට යන කාලයක ලාංකිකයන් වශයෙන් අපි තවමත් අනෙකාගේ කුලය මලය ජාතිය ආගම බේරා ගැනීමට නොහැකිව කුලල්කා ගනිමු. පසුගිය දිනයක පුද්ගලික රූපවාහිනී නාළිකාවක අවුරුදු කුමාරයා බවට පත්වූයේ සිංහල මවකට සහ මුස්ලිම් පියෙකුට දාව උපන් තරුණයෙකි. 
ඔහුගේ කුලය ගලපාගන්නෙ කෙසේදැයි මා දන්නේ නැත. ඔහුගේ ජාතිය ආගම කුමක් කියා ගලපා ගන්නදැයි මා දන්නේ නැත. මා දන්නේ එකම දෙයකි ඔහු මනුශෂ්‍ය කුලයේ ශ්‍රී ලාංකික ජාතියේ තරුණයකු බව පමණි. නමුත් සමාජයේ බොහෝ දෙනෙකුට මුස්ලිම් තරුණයකු අවුරුදු කුමරා වීම විශාල ගැටලුවක් වී තිබෙනු දක්නට ලැබුණි. 
විටෙක මුස්ලිම් මිනිසුන් සිංහල මිනිසුන් සමඟ මුසුවෙන්නේ නැතැයි මැසිවිලි නැගූ පිරිසම මේ අවස්ථා‍ෙව්දී මුස්ලිම් තරුණයකු අවුරුදු කුමරා වීම ගැන මැසිවිලි  නැගීම අරුමයකි. දියුණු රටක් දියුණු ජාතියක් අපේක්ෂා කරන සියලුම දෙනා ජාති ආගම් කුල මල මත මිනිසුන් බෙදා වෙන්කිරීමට විරුද්ධව හඬ නැගියයුතු බව මාගේ අදහසයි. 
නැතිනම් තව වසර සීයක් ගත වී ගියත් අපි දියුණු වෙමින් පවතින තුන්වන ලෝකයේ රටක් විදියටම පවතීවි. එදාටත් ජාතිය ආගම කුලය මලය වෙනුවෙන් සටන් කරාවි.

 

[සුජිත් ප්‍රියන්ත] [චමල් අකලංක පොල්වත්තගේ]

මාතෘකා