සහෝදරයෝ මිය නොයෙති

 ඡායාරූපය:

සහෝදරයෝ මිය නොයෙති

කූඹියෝ ආතල් එක අවසන් වෙමින් තිබේ. එය යළි විවිධ අයුරින් උත්කර්ෂයට නැංවෙමින් තිබුණද දැන් කූඹියෝ අවසන්ය. ඒ අවසානයත් සමඟ ම ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ ජනප්‍රියම නළුවා සම්මාන කූඹියෝ සතු කරගනිමින් ජෙහාන් එහෙමත් නැත්නම් තුමිඳු දොඩම්තැන්නට අලුත් ආරම්භයක් ගත්තේය.
එදා තුමිඳු කියා සිටියේ සිස්ටම් අවුලක් ගැනය. එක් අතකින් බලනවිට තුමිඳුලා මෙන්ම අපි හැමෝමත් ඒ අවුල් සිස්ටම් එකේ කොටස්කරුවන්ය. ඒ සිස්ටම් අවුල අද වන විට කරළියට පැමිණ තිබේ. ඒ සිස්ටම් අවුල කතා කිරීම කූඹියෝ තරමටම ත්‍රිල් එකක් ගෙන දෙන්නක් නොවේ. ඒ අවුල කතාකරන තැනට කූඹියෝ තරම් ත්‍රිල් එකක් ලැබේවි යැයි කියන්නටත් බැරිය. නමුත් පුරෝකතන දෙන්නට තවම කල් වැඩිය.  
ඊට හේතුව ද අන් කිසිවක් නොව කූඹියෝමය. කූඹියෝ ත්‍රිල් එකෙන් ඔද වැඩී සිටින ශ්‍රීලාකේය රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය මේ සිස්ටම් අවුල ගැන කෙළින්ම කතා කරන ත්‍රිල් එකට මාරුවෙන්නට මැළි කමක් දක්වමින් සිටී.  සැබැවින්ම කූඹියෝ ත්‍රිල් එකෙන් මේ කියන්නට හදන එකට ඇති ත්‍රිල් එක යට ගිහිනැයි කිසිවෙකුට කියන්නට ද පුළුවන. ඔව් එය එසේ ද විය හැක. මේ කියන්නට යන්නේ අන් කිසිවක් නොව නාමල් ජයසිංහගේ සහෝදරයා ගැනය.
කූඹියෝ බැලූ කණ්ණාඩිය දමාගෙන සහෝදරයා බැලුවොත් කූඹියෝ ත්‍රිල් එකත් නැතිවීම ටක්කෙටම ෂුවර්ය. ඒ නිසා සහෝදරයා වෙනම කෝණයක සිට බැලුවොත් කූඹියන්ට වඩා ත්‍රිල් එකක් ලබා ගත හැකි වනු ඇත. හැබැයි ඒ ත්‍රිල් එක කූඹියෝ ත්‍රිල් එකට වඩා වෙනස්ම ත්‍රිල් එකක් වනු ඇත.සරළවම කීවොත් කූඹියන්ගෙන් එළියට එන්නට පටන්ගත් මේ සිස්ටම් එකේ අවුල දැන් සහෝදරයා හරහා සාකච්ඡා කරන්නට පටන්ගෙන ඇතැයි කීවොත් නිවැරදිය.
සහෝදරයා ආරම්භයේ දීම ඒ සිස්ටම් අවුල කතා කරන්නේ මෙසේය..
අජන්ත - මේ චිත්‍ර සල්ලිවලට ගන්න උන් ඒවායේ තේරුම අහන්නේ නැද්ද?
සුදු මල්ලි - අහනවා
අජන්ත - ඉතින්..
සුදු මල්ලි - මේකද සර්..  
මේක ඇවිල්ලා ධනවාදයේ බෙදුම් රේඛාව. මේ තියෙන විභේදනය ජීවිතය තුළ දියවෙලා යනවා. සොක්කන් ලොක්කන් උනාට පස්සේ උන්ට ආර්ට් උවමනාවෙන්නේ උන්ගේ හිස්කමේ බිත්ති පුරවා ගන්නයි. උන්ට ආර්ට් කියන්නේ පන්ති මෙවලමක්.
සහෝදරයා කතා කරන්නට උත්සාහ දරන සිස්ටම් අවුල මුලින්ම එළියට දමා ඇත. ඒ තුළින් සහෝදරයා මේ සිස්ටම් අවුලේ මුදුන් මුලටම පහර එල්ල කරයි. නමුත් අපේ රෑපවාහිනී ප්‍රේක්ෂකාගාරය මෙය අල්ලා ගන්නට එක්කෝ සමත්කම් දක්වන්නේ නැත. එසේත් නැත්නම් එය අල්ලා ගන්නට අපේ රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයට අවශ්‍යතාවක් නැත.  
රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයේ තිබෙන ඒ අවුල නවීන තාක්ෂණය හා බැඳි තරුණ පරපුරටත් තිබෙන බව සහෝදරයා සහ කූඹියෝ යූටියුබ් හරහා නරඹන ප්‍රමාඛය සසඳා බැලීමේ දී ද පැහැදිළිවම දැකිය හැකි කරුණකි. ඊට හේතුව විය හැක්කේ ද මේ සිස්ටම් අවුලමය. වෙනත් ආකාරයකින් කියනවා නම් ඔලුව අතා ගා ටොක්ක ඇනීම තේරුම් ගන්නට අපේ රූපවාහිනී ප්‍රේක්ෂකාගාරයට හැකියාව නැත.  කසිකබල් ටෙලි හෑලිබලමින් හිස ඔද්දල්ව සිටි රූපවාහිනී ප්‍රේක්ෂකාගාරය යම් තරමකට හෝ වෙනස් වූයේ කූඹියෝ නිසාය. ඒ වෙනස සහෝදරයා තුළින් ඉදිරියට නොයන්නේ කුමන හේතූන් නිසාදැයි සොයා බැලිය යුතුව ඇත.
ඔන්න අදත් මට ගහලා..බලනවා කවුද මේක ලියන එකා කියලා..... මේ සහෝදරයාගේ එන දෙබසකි. මේ දෙබස නිසාවෙන් සහෝදරයා හි රජීව් සමරසිංහට අත්වූ ඉරණම අපි හොඳින් දනිමු. රජීව්ට සේම ලසන්ත වික්‍රමතුංගලාට, ප්‍රගීත් එක්නැළිගොඩලාට, පෝද්දල ජයන්තලාට සේම නම් නොකී බොහෝ දෙනෙකුට ජීවිතය අතහැර යන්නට සිදුවූයේත්, අතුරුදන් වන්නට සිදුවූයේත්, රට අතහැර යන්නට සිදුවූයේත් යට කී දෙබසේ ආනුභාවයෙනි.  
නාමල් ජයසිංහ උත්තරා දේවි තුළින් ඉදිරිපත් කරන්නට උත්සාහ කරන්නේ ලසන්ත වික්‍රමතුංගලාගේ, ප්‍රගීත් එක්නැළිගොඩලාගේ, මෙන්ම රවිරාජ්ලාගේ, ලලිත්ලාගේ, කූහන්ලාගේ සහ එකී මෙකී නොකී බොහෝ සිද්ධි හා සිදුවීම්වලින් ජීවිතය හැර ගිය සහ අතුරුදන්වූවන්ගේ බිරින්දෑවරුන්ගේ යථාර්ථය විය හැක. ඒ යථාර්ථය එලෙසින්ම පවතී යැයි ප්‍රේක්ෂකාගාරය පිළිගන්නා ආකාරයට ඉදිරිපත් කිරීම අභියෝගාත්මකය.
නමුත් සහෝදරයා ඒ අභියෝගය ජය ගෙන ඇතැයි කීවොත් එය අසාධාරණ නැත. සමාජ  යථාර්ථයද මෙයයි. ඒ සමාජ යථාර්ථය අවබෝධ  කර ගත යුතුව ඇත. ඒ යථාර්ථය අවබෝධවන විට මේ සිස්ටම් එකේ අවුලද අවබෝධ වනු ඇත. එය අවබෝධ නොවූවා යැයි කියා සිස්ටම් එක අතහැර යාම  කාලෝචිත නොවේ. සිස්ටම් එක ඇතුළේ ඉඳගෙනම ඒ සිස්ටම් එකට අභියෝග කළ යුතුය. සහෝදරයා කරන්නේ ද එවැන්නකි. සහෝදරයාගේ ඒ උත්සාහය පල දරන්නේ මෙරට ටෙලි ප්‍රේක්ෂකාගාරයේ ප්‍රතිචාරය අනුවය. ඒ කෙසේ වෙතත් අවසානයේ කියන්නට තිබෙන්නේ සහෝදරයෝ මිය නොයන බවය.

 

 

මාතෘකා