එකිනෙකාගේ යහපත උදෙසා රඟපාන භූමිකා

 ඡායාරූපය:

එකිනෙකාගේ යහපත උදෙසා රඟපාන භූමිකා

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ආක්‍රමණකාරී ආකාරයෙන් අනාගතය දෙසට දිව යන සටනක් ඇය විසින් දියත් කරනු ලබයි. මතුපිටින් බලන කල මා ඕගේ බල ගෘහයේ කළමනාකාරිය ඇය වන්නීය. ස්වකීය ඔපෙරාවන්හි වීර කාන්තා චරිත වගේම තමාද සිටින්නේ සියලු වේදයිතයන්ට ඉහළිනැයි ඇය සිතන්ට වෙයි. එහෙත් අභ්‍යන්තරයෙහි ඇත්තේ එවැනි තත්ත්වයක් නොවෙයි. සිය භූමිකාව හේතුකොටගෙන ඇය ප්‍රමෝදයට පත්ව සිටින්නේ වී නමුදු ඇගේ සිත නිරන්තරයෙන්ම බියෙන් සැකෙන් පෙළෙන්නට වෙයි. මා ඕ කෙරෙහි වන ඇගේ ප්‍රේමය ඇතැම් විටෙක බලාපොරොත්තු කඩවීමකි. ඇතැම් විටෙක හුදු වෛරයකි. නාහ් කෙරෙහි වන ඇයගේ ශෝක වේදනාව කිසිසේත්ම පහව ගොස් නැත. ඇය ඉඩ දෙන්නේ නම් ඇය කඩා වැටෙනු ඇත්තේ අන්ත අවනතියකටය. දිනෙන් දිනම තම චරිතය බිඳක් හෝ දිරාපත් වන්ට පටන්ගෙන ඇතැයි ඇයට දැනෙයි. ඊයේ රාත්‍රියේ නිදි ඇඳේ වැතිර සිටියෙදී පැරණි ප්‍රේම කතාවක යුවතියක් ඇයගේ සිහියට ආවේය. ප්‍රේමයෙන් පරාජිත වූ මෙම යුවතිය වතුර බීමට ගමේ ඇති එකම ළිඳට විස දැමුවාය.

මා ඕ සේතුං සහ ජියෑන් චින් දෙදෙන තම තමන් රඟපාන භූමිකාවන් එකිනෙකාගේ යහපත උදෙසා ප්‍රයෝජනයට ගනිති. එකිනෙකාට උදවු කරගන්නා ඔවුහු ලියුවරුන් බිම දමන්ට කටයුතු කරමින් සිටිති. මහජනතාව ඉදිරියේ ලියු සම්බන්ධයෙන් දෝෂසහගත ප්‍රතිරූපයක් නිර්මාණය කිරීම තාමත් ඔවුන්ට ඉතා දුෂ්කර කාරියකි. මා ඕ හැරුණු කොට අඩ සියවසක් පුරාම කොමියුනිස්ට් ප්‍රතිමූර්තිය වූයේ ලියුය. මේ ප්‍රශ්නය විසඳීම උදෙසාත් තමාගේ ශක්තිය තහවුරු කරනු උදෙසාත් ජියෑන් චින් මා ඕ වෙනුවෙන් කෑන් ෂෙන්ගේ උපදෙස් පතන්නීය.

කෑන් ෂෙන් තමාගේ තේ එක බිඳෙන් බිඳ බොමින් සිටියි. ලියු දේශද්‍රෝහියකු හැටියට නම් කරන්ඩ. ප්‍රතික්‍රියාවක් අවුස්සනු සඳහා හොඳම උපක්‍රමය එයයි. ලියු දර්ශනයට ඇතුළු වීම ප්‍රතික්ෂේප කළද කම් නැත. ඔහු සඳහා ඔබම දර්ශනය නිර්මාණය කරන්ඩ. මුලින්ම විදේශ ඒජන්තයන් සමඟ ඇති සම්බන්ධකම් ඇති ලියුගේ හිතවතුන් අනාවරණය කරන්ඩ. ඔවුන්ගෙන් ප්‍රශ්න කොට ඔබට අවශ්‍ය පිළිතුරු ලබාගන්ඩ. ඔබට ඕනෑ හැටියට ඔවුන් ලවා කතා කරවන්ඩ. කොමියුනිස්ට්කාරයෙක් වුණත් නැතත් උණු ගම්මිරිස් වතුරෙන් ආමාශය පිරෙන එක කාට නමුත් දරාගෙන ඉන්ඩ බැහැ. උන්ගෙ කටවල් අරවන්ඩ අපට ක්‍රම තියෙනවනෙ. ප්‍රකාශවලට උන්ගෙ අත්සන් ගන්ඩ. ඊට පස්සෙ ඒ ප්‍රකාශ සංශෝධනය කරල ප්‍රසිද්ධියට පත් කරන්ඩ.

ලියු දේශද්‍රෝහියෙක් වුණත් නැතත් කමක් නෑ, මා ඕ ජියෑන් චින් මැතිනිය ප්‍රශ්න විචාරකයන් අමතා පවසන්නීය. ඔබලාට පැවරී තිබෙන කාරිය තමයි සාක්ෂි සටහන් කරගෙන සාක්ෂිකාරයන් නිර්මාණය කිරීම. ඔහේලාට දවස් තුනක් දෙනව.

මේ කණ්ඩායම දවස තිස්සේම වැඩ කරයි. ඉක්මනට නම් ඉදිරිපත් කෙරෙයි. ප්‍රශ්න කිරීමේ එක් විෂයයක් වන්නේ හේබෙයි පළාත් සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයකු වන හැටනව වියැති ෂෑන් චොන් - යීය. විමුක්තියට පෙර ෆියුරෙන් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ලේකම්වරයාව සිටියේ ඔහුය. ඔහු උපසභාපති ලියු හෝ වැන් ගුවාන්-මෙයි හෝ පෞද්ගලිකව හඳුනන්නේ නැත. එහෙත් ඔහු ෆියුරෙන් විශ්වවිද්‍යාලයෙහි සිටි ඔවුන්ගේ මිත්‍රයන් හඳුනයි. ෂෑන් දැන් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මහාචාර්යවරයාය.

ෂෑන් ගැන කටයුතු කරන්ඩ මා ඕ මැතිනිය නියෝග කරයි. බල කරලා පාපෝච්චාරණයක් ගන්ඩ.

මිනිහාට කතා කරන්ඩ බැරි යයි කණ්ඩායම වාර්තා කරයි. මහාචාර්ය ෂෑන්ග්ගේ අක්මාවේ පිළිකාවක් බැව් සොයාගෙන ඇත. දැනට ඔහු සිටින්නේ පණ අදිමිනි. මිනිහා හුස්ම පමණක් ගන්නා කපාලයකි. ඔහුගේ මුහුණ සම්පූර්ණයෙන්ම ගිලී ගොසිනි. සෙංගමාලය හේතුවෙන් ඔහුගේ ඇස් කහ ගැහිලාය. ඔහුගේ මුහුණේ දකුණු පස අප්‍රාණිකය. වම් ඇසේ ඇසි පිය ගැහෙන්නේ නැත. ඔහුගේ මුත්‍රා සමඟ ලේ පිට වෙයි. ඔහුගේ සිහිය එමිනි, යමිනි.

ඔහුගේ මරණයත් එක්ක රේස් එකේ දුවන්ඩ මා ඕ මැතිනිය බලකරන්නීය. අපට මිනිහගෙ පාපෝච්චාරණය අවශ්‍යමයි. මිනිහා මැරෙන්ඩ ඉස්සර වෙලා එයාගෙ කටහඬ ටේප් එකට ගන්ඩ. මතක තියාගන්ඩ සභාපති මා ඕ මේකෙ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නව.

ප්‍රශ්න කිරීම ආරම්භ වෙයි. පටිගත කරන ටේප් පටිය කැරකෙයි. ඒ ටේප් එක බෙරිහන් දීම්වලිනුත් හැඬීමෙනුත් පිරී ගොසිනි.

පාපෝච්චාරණය නැත්නම් මරණය ෂෑන් චොන් - යි කතා කරන්ඩ. වැන් ගුවාන් - මෙයි කියන දේශද්‍රෝහියා ගැන ඔබ දන්න දේවල් කියන්ඩ.

මැරෙන්ඩ යන මිනිහා වචන සොයමින් ගොත ගසන්ට වෙයි. එපා. කරුණාකරල මගෙ අත අදින්ඩ එපා. මං කතා කරන්නම්. මං මේ කතා කරන්නෙ. හොඳමයි දැන් මට මතක් වෙනව. වෑන් ගුවාන් මෙයි කියන්නෙ කාන්තාවක් නේද? එයා උපසභාපති ලියුගෙ බිරිය නේද?

ටේප් එක මත තදින් ගසන වසන ශබ්දය. අනතුරුව ෂෑන් චොන් - යිගේ හැඬුම්ය.

මිනිහට පයින් ගහන එක නවත්තනවා! එක් ප්‍රශ්න විචාරකයෙක් බෙරිහන් දෙයි. තව පාරක් වැදුණොත් ඔය යකා මැරෙයි. එතකොට අපි සේරම අමාරුවෙ.

අපිව රවට්ටන්ඩ හදනව එහෙම නෙමෙයි ප්‍රධාන ප්‍රශ්න විචාරකයාගේ කටහඬ ඉහළින්ම ඇසෙන්ට වෙයි.

නමුත් සහෝදරයා මං කියන්නෙ ඇත්ත - මං කවුරුවත් රවට්ටන්ඩ හදනවා එහෙම නෙමෙයි... ඔබට තේරෙනවනෙ... මට මැරෙන්ඩ ඕනැ නෑ.

වැන් ගුවාන් - මෙයි විදේශ ඒජන්තවරයෙක් කියල ඔහේ දැනගත්තෙ කවදාද?

ඊයෙ.

එයා විදේශ ඒජන්තයෙක් කියල ඔහේ දැනගත්තෙ කොහොමද?

ඇයි ඔබමනෙ කිව්වෙ... එයා විදේශ ඒජන්තයකු හැටියට කෙළේ මොකක්ද කියලනෙ ඔබ ඇහැව්වෙ? ඉතින් මාත් හිතනවා එයා විදේශ ඒජන්තයකු වෙන්ඩ ඇති කියල. එහෙම නෙමේ නම් ඔබ මේ වාගෙ ප්‍රශ්නයක් අහන්නෙ නෑනෙ.

තමුසෙ කට පරිස්සම් කරගන්නව. තමුසෙ විදේශ ඒජන්තයා එළිදරවු නොකළොත් තමුසෙත් විදේශ ඒජන්තයෙක්. ඒකෙන් බේරෙන්ඩ තියෙන හොඳම වෙලාව තමයි මේ.

මට තේරෙනව මහත්තයා. මිය යමින් සිටින මිනිහා අමාරුවෙන් හුස්ම ගන්ට වෙයි. දැන් ඉතින් මම ප්‍රකාශ කළානෙ එයා විදේශ ඒජන්තයෙක් කියල. ඉතින් මට යන්ඩ දෙන්නෙ නැද්ද ? කරුණාකරල මට යන්ඩ දෙන්ඩ. මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනව. මං දන්නව වැන් ගුවාන් - මෙයි විදේශ ඒජන්තයෙක් කියල. විදේශ ඒජන්තයෙක් විතරක් නෙමෙයි එයා කොමියුනිස්ට් ඒජන්තයෙක්.

මාතෘකා