ඉතිහාසය උදෙසා මේ ඇයගේ භූමිකාවයි

 ඡායාරූපය:

ඉතිහාසය උදෙසා මේ ඇයගේ භූමිකාවයි

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මා ඕ තමාගේ මුළු කථාන්තරයම ජියෑන් චින්ට කියන්නේ නැත. තමන් පරණ කොල්ලන් සමඟ සාකච්ඡා කරමින් සිටින වගත් ඔවුන්ගේ ඉල්ලීම් ඇති වගත් ඔහු ඇයට පවසන්නේ නැත. කිසියම් දවසක ”දීර්ඝ වෙන්වීමේ” කියවෙන ලී අධිරාජයාගේ කොටස රඟපාන්ට තමාට සිදු විය හැකි බවට තමා තුළ හැඟීමක් ඇති වග ඔහු ඇයට කියන්නේ නැත. මේ නම් ඔහුගේම ක්‍රීඩාවේ කොටසක් බැව් තේරුම්ගැනීම ඇය ප්‍රතික්ෂේප කරන්නීය. ඔහු ඉදිරිපිටදී කරුණු කාරණා ඇයට නිසි ලෙස පෙනෙන්නේ නැත. ඔහුගේ මුළු ජීවිතයේදීම ඔහු ආරක්ෂා කර ඇත්තේ අන් කිසිවකු නොව තමා පමණක්ම බැව්ද ඇයට නොපෙනෙයි.

ඉතිහාසය උදෙසා මේ ඇයගේ භූමිකාවයි.

ඔහුගේ ආදරය පවත්වාගැනීම සඳහා තම හදවත ඇතුළතම පාරවන බොහෝ දේවල් කරන්ට ඇයට සිදුව ඇත. නිදසුනක් හැටියට සති කිහිපයකට පෙර මා ඕ තමාගේ ප්‍රියතම අනියම් බිරියක සමඟ දබරයක් කරගත්තේය. ගැහැනිය පිටව ගියාය. මා ඕ උදවු ඉල්ලා සිටියේ ජියෑන් චින්ගෙනි. පළමු වැනි ආර්යාවගේ නාමයෙන් ආපසු එන්නැයි කියන්ට ඔහු යොදාගත්තේ ඇයයි. ඒ ගැන නැවත කල්පනා කර බලන විට තමා එය කළේ කෙසේදැයි ඇයට හිතාගන්ටවත් බැරිය. තමා මේ තරමටම අපහරණයට පත්වීම ගැන ඇයට පුදුම සිතෙයි.

මම වැඩියෙන්ම විශ්වාස කරන්නෙ ඔබ. මට ඇත්ත වශයෙන්ම එල්ලී ඉන්ඩ පුළුවන් ඔබේ විශ්වාසය මත විතරයි. මෙම උණුසුම් ආලෝකය තුළ ඇය යටත් වන්නීය. තමා පුද දෙන්නීය. වේදනාව ගිල දමන ඕ ”දීර්ඝ වෙන්වීමේ” යෑන් ආර්යාවගේ භූමිකාව රඟපාන්ට ඇඳ පැලඳගන්නීය.

ඇය තමාට කරන උපකාරවලට ප්‍රතිඋපකාර වශයෙන් මා ඕ ඇගේ චිත්‍රපට කර්මාන්තයට අත දෙයි. ඇගේ කටයුතු පහසු කරනු සඳහා ඔහු අලුත් ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කරයි. ”විප්ලවවාදී ඔපෙරාව හැම නිවසක් තුළටම ගෙනයෑම”

තමා මෙම වන්දිය ලබන්ට සුදුසු වෙතැයි ඇයට හැඟෙයි. මා ඕ සමඟ ඇගේ විවාහය අමුතුම විලාසයකට විපර්යාසයකට භාජන වී ඇත්තේය. එය දැන් පිවිස ඇත්තේ නව ඍතුවකටය. දෙදෙනාම තම තමන්ගේ පෞද්ගලික බාධාවන් යටපත් කරගෙන ලොකු අර්බුදයක් ඉදිරියේ පෙනී සිටිති. ඔහුට නම් තම අධිරාජ්‍යයේ ආරක්ෂාවය. ඇයට ස්වකීය වීරවරියගේ භූමිකාවය. ප්‍රත්‍යාවලෝකණය කරන විට - ආපසු හැරී බලන විට - ඇය පක්ෂයේ සීමාබන්ධන බිඳ දමා ඇතුවා පමණක් නොව ඇය ජාතියේ මනස මෙහෙයවන්නිය බවටද පත්ව ඇත්තීය අවසාන වශයෙන් මා ඕගේ කටයුතු ගෙන යන්නේ තමාය. ඔහුගේ මරණින් පසු චීනය පාලනය කරන්නේ තමාය. ඇය වෙළී පැටලී සිටින්නී එකී දර්ශනයෙහිය.

ඇය බලය තමා අතේ වනැයි ඇත්ත වශයෙන්ම පිළිගන්නේද නැත. එසේම මේ වන විට සිය ජීවිතය පිළිබඳව තමාට පූර්ණ ආධිපත්‍යයක් ඇතැයිද ඇය සිතන්නේ නැත. සිතේ යටි පතුළෙන්ම ඇයට මා ඕ විශ්වාස නැත. තමාගේ මනස කවරම වෙලාවක මුත් වෙනස් කරන්ට මා ඕට හැකි බැව් ඇය දන්නීය. ඔහුගේ මනසද ඇත්තේ පිරිහෙමිනි. තමාගේ අනියම් බිරියගේ ප්‍රශ්නය විසඳන්ට ඇයගේ උදවු ඉල්ලා සිටි අවස්ථාවේ ඇය තමාගේ බිරිඳ බැව් ඔහුට අමතක වුණේද? ඔහුගේ කටහඬ තුළින් ඇයට ඇසෙන්නේ ඔහුගේ නිවැරදි බවය. ඔහුගේ වේදනාව පොඩි දරුවකුගේ සෙල්ලම් බඩුවක් උදුරාගත් අවස්ථාවක් වැනි යැයි ඇයට සිතෙයි. හෙට දිනයේ ඔහු ආපසු හැරී මා දන්නේ නැතැයි නොකියනු ඇද්ද? එසේ සිතීම තර්කානුකූල නොවන්නේද? වයසත් සමඟ ඔහුගේ මානසික විකෘතිභාවය වර්ධනය වෙමින් ඇත්තේය. ඇය වෑයම් කරන්නී ඔහුගේ මනස නමැති තරාදි කඳෙහි සමබරව නොවැටී ඉන්නටය. මා ඕ මැතිනිය බවට පත්වීමත් සමඟ ඇයට සතුරන්ගෙන් අඩුවක් නොමැත. ඇයගේ සාර්ථකත්වයෙහි මිල නම් තමාගේ සතුරන් තුරන් කරලීමට දැන් ඇය කිසි විටෙකත් නොපැකිළීමය. බිඳක්වත් සිතන්නේ නැතිව මධ්‍යම රාත්‍රියේදී පවා ඇය කෑන්-ෂෙන් කැඳවා ඔහුගේ ඝාතන ලැයිස්තුවට තවත් නමක් එක් කරයි. වැසෙන්නේ නැති කටවල් - නිදසුනක් හැටියට ෆෙයාලින්ගේ සහ ඩැන්ගේ කටවල් - වසා දමන්ට ඇය නොගන්නා තැතක් නැත. මා ඕ මිය ගියායින් පසුව තමන්ට මුහුණ දෙන්ට වන සටන කොස්සක් ගෙනැවිත් එයින් මහා සාගරය නැවැත්වීම වැනිය. ඒ ගැන සිතන විට ඇයට දැනෙන්නේ මහත් භීතියකි. ඇගේ සතුරා විසින් ඇය පණ පිටින්ම ගිල දමනු ඇත්තේය.

ඇයට චුන් - කුවියා ඕ සහ යූ අවශ්‍යමය. මිලිටරියේද තමාගේ හිතවන්තයින් ඇයට අවශ්‍යය. මා ඕ යෙනාන්හිදී තම සතුරන් ඉවත් කරගත් ආකාරය ඇයට සිහි වෙයි. ඔහු කළ වැරදි ඝාතන අනතුරුවල ඒ ඝාතන ගැන ඔහු පසුතැවුණු හැටි. එහෙත් ඒ හැඟීම තමා තුළ විසක් බවට පත් වන්ට ඔහු ඉඩ තැබුවේ නැත. ජයග්‍රහණය ලාෙභට ලැබෙන දෙයක් නොවේ යයි ඔහු පවසයි. දැන් වනාහි ඇගේ වාරයයි. ඔහුගේ අර යෙදුම ඇය පුනරුච්චාරණය කරන්නීය.

මම චිත්‍රපට හදන්ට වැයම් කරමින් සිටිමි. ඔපෙරා සහ මුද්‍රා නාටක. ඒවා අටක්ම පෙළ ගස්වා ඇත්තේය. සියලු නිෂ්පාදන කෙරෙන්නේ බීජින්හිදීය. එවිට සංස්කෘති විප්ලවය මෙහෙයවන අතරවාරයේම මට ඒ චිත්‍රපටවල කුදු මහත් කටයුතු සියල්ල අධීක්ෂණය කළ හැක්කේය. එහෙත් මා බලාපොරොත්තු වුණු ආකාරයටම කටයුතු සිදු නොවෙයි. විවිධ අංශ අතර වන අභ්‍යන්තර අරගල බීජින් චිත්‍රාගාරයේදී නරක අතට හැරී ඇත්තේය. නළුවෝ සූදානම්ව සිටිති. මුළු දවසම ඔවුන් ඉඳගෙන සිටින්නේ වී නමුදු එක දර්ශනයක්වත් කැමරාගත කරන්නේ නැත. මෙසේ දවස් ඇදීගෙන යන අතරවාරයේදී දූසමාන ආරංචියක් කටින් කට පැතිර යයි. මා ඕ භට කණ්ඩායමක් එව්වේ නැති නම් චිත්‍රපටයක්ද නැත.

මම මේ කටකතාව මා ඕ වෙත අරගෙන යමි. ඒ මැයි මාසයේ උණුසුම් දවසකි. ඔහු ජනතාවගේ මහා ශාලාවෙහි පෞද්ගලික හමුවකය. මට කන්ඩ බෑ මට ආචාර කරන අතර ඔහු පවසයි. මගේ දත් නිසා මම මැරෙන්ඩ යනවා. මම මගේ මිත්‍රයින් සමඟ අන්තිම කැමති පත්‍ර ගැන කතා කරනව.

මම ඔහු දෙස බලමි. ඔහුගේ මුහුණ සහ අත්ල පෙනෙන්ටම ඉදිමිලාය.

මොකක්ද කාරණේ ? ඔහු අසයි.

ඔබතුමාගෙ සෞඛ්‍යය ගැන තමයි මම කරදර වෙන්නෙ. ඇයි ඔබතුමා විවේකයක් ගන්නෙ නැත්තෙ?

මං විවේක ගන්නෙ කොහොමද මගෙ හතුරො මගෙ ඇඳ වටේම කැරකෙද්දි?

මේ පැත්තෙත් එහෙමයි. මං ඉන්නෙ කලකිරීමෙන්.

ඇයි මොකක්ද හේතුව?

මේ චිත්‍රපට ටික එළියට දාගන්ඩ හරිම අමාරුයි. විරුද්ධ පැත්ත හරිම බලවත්.

ඉතින් පරාජය බාරගැනීම අපේ පිළිවෙළ නෙමෙයිනෙ.

ඔබතුමාට තවත් කරදර එකතු කරන්ඩ මම කැමති නෑ.

හොඳයි හොඳයි ඔහු විහිළු කරන ආකාරයෙන් සිනාසෙයි. මගේ අවසන් හුස්ම ගිය මොහොතේම ඔබේ සතුරො ඔබව මරා දමනව.

මගේ දෑසෙහි කඳුළු පිරෙන්නට වෙයි. සත්තකින්ම ඒක නරක විසඳුමක් නොවන්නටත් පුළුවනි.

ඔහු පැමිණ සීරුවෙන් මා ළඟින් හිඳගනියි. මා දෙස බලා ඔහු මෙසේ කියන්නට වෙයි. ජියෑන් චින් සහෝදරිය ඔබ ඒක යසට කරාවි. දැන් කියන්ඩ මගෙන් බලාපොරොත්තු වන උපකාරය මොකක්ද කියල.

එක රැයකින්ම මා ඕගේ 8341 භට ඛණ්ඩය බීජින් චිත්‍රාගාරයට පැමිණෙයි. සොල්දාදුවෝ සන්නාහ සන්නද්ධය. ඔවුහු වේගයෙන්ද නිහඬවද ඇදී එති. කිසිදු ආචාරයකට ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ නැත. වැඩ කරන පිරිස ඔවුන්ගේ නිවෙස්වල සිට ආරක්ෂා සහිතව අවන්හල වෙත ගෙන එනු ලැබෙති.

මම මෙහෙ ඇවිත් ඉන්නෙ මා ඕ ජියෑන් චින් මැතිනියගේ නියෝගය ක්‍රියාවේ යොදවන්ඩ. මිටි එහෙත් හොඳට වැඩුණු අතිවිශාල නාසයක්ද ඇති අණ දෙන නිලධාරී පවසයි. මාත් එක්ක අනන් මනන් හරි යන්නෙ නෑ. මගේ නියෝගවලට අකීකරු වන කාට වුණත් මිලිටරි දඬුවමක් තමයි ලැබෙන්නෙ. ඒ වගේම මාත් එක්ක කිසිම විශේෂ සැලකිල්ලක් බෑ. හොඳින් අහගන්ඩ. ප්ලැටූන් අංක එක, තුන, හතර, ඒ අයගෙ රාජකාරි ස්ථානය කැමරා සේරම පිටිපස්සෙ. මගේ නායකයන් සිනමාකාරයාගෙ උපදෙස්වලට විතරයි සවන් දෙන්නෙ. ඔවුන් වෙන කාටවත් සවන් දෙන්නෙ නෑ. ප්ලැටූන් අංක දෙක යන්නේ ආලෝකකරණ දෙපාර්තමේන්තුවට. ප්ලැටූන් අංක පහ වේශ නිරූපණ දෙපාර්තමේන්තුව බාරගන්නව. මම ඉන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂකගෙ අණ යටතෙ. දිනපතාම සිදු වන කටයුතු මොනවද කියල මම මා ඕ ජියෑන් චින් මැතිනියට වාර්තා කරනව.

මාතෘකා