හැම තණපතකටම කතාවක් ඇත

 ඡායාරූපය:

හැම තණපතකටම කතාවක් ඇත

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

මා ඕ එහි සුන්දරත්වයෙහි ගැලී සිටිනු වැන්න. මඳ ඇසිල්ලකින් මුහුණ මතට හිරු එළිය වැටෙනු සඳහා ඔහු සිය නිකට උස්සයි.

සැමරුම් වැලක්ම පොරකමින් මවෙත ඇදෙන්නේය. යෙනාන් දවස් සහ ඊට පෙර කාලයේ දවස්. මා කඳුළෙනි. ඒ ආදරය නිසා නොව මා විඳගත් දේ නිසාවෙනි. මවිසින් ආපසු මා ගලවාගත් ආකාරය නිසාවෙනි. මගේ අධිෂ්ඨානයේ ජයග්‍රහණය. අතහැර දැමීම ප්‍රතික්ෂේප කිරීම.

මං ඔබට කිව්වද මුලින්ම මං බටහිර විල ගැන දැනගත්තු හැටි. මා ඕ හදිසියේම කතා කරන්ට වෙයි. ඔහුගේ නෙත් යොමුව ඇත්තේ ඈත තිබෙන මණ්ඩපයක් දෙසය. මේ ස්ථානය බලන්ට ආපු මගේ වයසක ඥාතිවරයෙක් දවසක් මට පාට කළ කුඹල් මැටි බරණියක් ගෙනත් දුන්නා. ඒක උසස් තත්වයේ එකක් නෙමෙයි. ගමේ බරණියේ මුද්‍රණය කරල තිබුණෙ මේ විලේ වැදගත් ස්ථාන පෙන්න දුන්නු සිතියමක්. ජලය, ගස්, මණ්ඩප, පන්සල්, පාලම්, චිත්‍ර ශාලා. ඒ සේරම පැහැදිලි ලෙස සිත්තම් කරල ඒවාට ඉතා අපූරු සිරස්තලත් යොදා තිබුණා. ගමේ කොල්ලෙකු හැටියට මේ චිත්‍රවල තිබුණු තැන් බලන්ට යන්ට මට හැකියාවක් තිබුණෙ නෑ. ඒ නිසා මම මේ බරණිය කාමරේ ඇතුළෙ තියාගෙන අධ්‍යයනය කළා. මේ දර්ශනවලට මං කොතරම් ඇළි ගියාද කියනවා නම් මං ඒවා හීනෙනුත් දැක්කා. පස්සෙ කාලෙක මේ විල බලන්ඩ ආවාම මට දැනුණෙ මං හොඳින් දන්න තැනකට ආවා කියල. ඒක හරියට මගේ පරණ හීනවලට ඇතුළු වීමක් වාගෙ දෙයක්.

මොනවා? සභාපති මා ඕට සවන් නොදෙන්ට තරම් කවුද නිර්භීත වෙන්නෙ? චුන් කුවියා ඕගේ කටහඬ කම්පනයෙන් පිරී ඇත්තේය.

තමාගේ කටහඬ ගුප්ත ස්වරයක් ගැනෙත්ම ජියෑන් චින් ඇගේ නිකට හරවා කතා කරන්ට වන්නීය. ප්‍රතිප්‍රහාර දෙන්ට සභාපති මා ඕගෙ සම්පූර්ණ සහයෝගය මට තියෙනව. ඒ වචනම යළිත් ප්‍රතිරාව කරන ඇය ඒ වචනවලින් නැගෙන හඬින් සතුටට පත්වන්නීය. ආස්වාදයක් ලබන්නීය.

සම්පූර්ණ සහයෝගය... චුන් කුවියා ඕ හුස්ම පිට කර අත්පොළසන් දෙන්ට වෙයි.

මේක තමයි පවතින තත්ත්වය පිළිබඳ මගේ විග්‍රහය ජියෑන් චින් කියාගෙන යයි. ‘හයිරුයි නිලයෙන් පහකිරීම’ තමයි යතුර.

චුන් - කුවියා ඕ පිටුපස හිඳගෙන සිය ඇඟිලිවලින් හිස පීරයි. ඔබතුමන් වෙනුවෙන් මා ඕ මැතිනිය මගේ පෑන මගේ මොළයේ යුෂවලින් පොඟවා ලියන්ට මම ලැස්තියි.

ඔහුට අල්ලන්ට සිය අත දිගු කරන ඇය ඔහුගේ කනට සෙමෙන් කොඳුරා මෙසේ කියන්නීය : බොහොම ළඟදීම දේශපාලන මණ්ඩලයේ ආසන හිස් වෙනව. කවුරු හරි ඒවා පුරවන්නත් එපායැ.

මං බොන්නෙ නෑ. නමුත් අද මම ඔබට පෙන්නන්ඩ ඕනෑ මම මගේ ජීවිතය ඔබේ දෑත උඩ රැඳිල තියෙනව කියල. එන්ඩ චුන් කුවියා ඕ ගන්ඩ වීදුරුව.

අපි මායි තායිස් බොමු. දැන් මධ්‍යම රාත්‍රියත් පසුව ඇත. අපගේ මත ඉහළටම නැගී ඇත. අපි අපගේ සැලසුමේ අවසාන සංශෝධන කරමින් සිටිමු. අපි අපගේ කටයුතුවලට අවශ්‍ය පුද්ගලයින් තෝරාගනිමින් සිටිමු.

චුන් කුවියා ඕල තම ශ්‍රාවක ෂැන්හයි ප්‍රචාරක බියුරෝවේ ප්‍රධානියා වන යි ආ ඕ වෙන්-යුවාන්ගේ නම යෝජනා කරයි. මේ මිනිහා කෙරෙහි මමද අවධානය යොමු කර සිටියෙමි. ඔහු සිය දේශපාලන හැකියාව ප්‍රදර්ශනය කෙළේ දක්ෂිණාංශ විරෝධී ව්‍යාපාර සමයේදීය. බාජින්ගේ මනුෂ්‍යත්වය නමැති පොත ගැන කරන ලද විවේචනය හේතුවෙන් ඔහුගේ නම පතළව ඇත. ඔහු අධිබලැති ආයුධයකි. ජනතාව ඔහු හඳුන්වන්නේ ”රත්තරන් යෂ්ටිය” හැටියටය. ඔහුගේ පෑනෙන් සොලවන්ට බැරි බොහෝ දෙනා බිම දමා ඇත්තේය.

හොඳමයි. අපට අවශ්‍ය වෙන්නෙ රත්තරන් යෂ්ටි. අපේ විරුද්ධවාදීන් වානේ දත් තියෙන කොටි.

මා ඕ සමඟ සිදු වන ඊළඟ රැස්වීමෙන් ඉතිහාසයේ ගමන් මඟ තීරණය වන්නේය.

1965 නොවැම්බර 10 වැනිදා. මහා නිර්ධන පන්ති සංස්කෘති විප්ලවයේ කඩතිර ඇරෙන්නේ එදාය. ආරම්භයේදී එය ඉතා සන්සුන්ය. හරියටම මුහුදේ රළ මාරු වන අවස්ථාවක මෙනි. ශබ්දය එන්නේ ඈතක සිටය. මාස අටක කාලයක් දවස මුළුල්ලේම සූදානම් වීමෙන් පසුව ජියෑන් චින් චුන්-කුවියා ඕ සහ යිආ ඕ යන තිදෙනා විසින් සම්පාදිත කෙටුම්පත එළිදකියි. ”හයිරුයි නිලයෙන් පහ කිරීම නමැති නාට්‍යය ගැන.”

ඒ කෙටුම්පත විමසා බලන මා ඕ එය සංස්කරණයද කරයි. සතියකට පසුව එය ෂැන්හයි වෙන්-හුයි පුවත්පතේ පළ වෙයි.

දේශපාලන මණ්ඩලයේ සිට කොන්ග්‍රසය දක්වා වන සියලුම දේශපාලන ආයතනයන්හි කිසිවකු එය එතරම් බලරපතළට සලකන්නේ නැත. කිසිවකු ඒ ගැන කතා කරන්නේද නැත. කිසිදු අනෙක් පුවත්පතක් එය නැවත මුද්‍රණය කරන්නේද නැත. වියලී ගිය ළිඳක් පතුලට අතහරින ලද ගලක් මෙන් එයින් කිසිදු හඬක් නැගෙන්නේද නැත්තේය.

මෙය ප්‍රකාශයට පත්වීමෙන් දින දහනවයකට පසුව ජියෑන් චින් මා ඕගේ කන්තෝරු කාමරයට පිවිසෙයි. සිය තැතිගැන්ම සඟවාගන්ට ඇය තැත් කරන්නීය.

විරෝධය බොහොම පැහැදිලියි ඇය කතාව අරඹමින් පවසයි. ඇයගේ කටහඬ දැඩි සේ පාලනය වී ඇත. ඒ වූකලී සංවිධානාත්මක නිහැඬියාවකි.

කවුළුව දෙසට හැරෙන මගේ ස්වාමිපුරුෂයා ඉන් පිටත බලා සිටියි. ෂොන්-නාන්-හායි විල දීප්තිමත් සඳ එළියෙන් නැහැවෙයි. සාගරයක් බඳු තුරු සමූහය තුළින් රිදී පැහැ චන්ද්‍ර කාන්තිය ගලා යෙයි. ඉන් පතිත සෙවණැලි සමූහය විල්ලුද කළු පැහැයෙන් බබළයි. එතරම් දුර ඈතක නොවන පෙදෙස ඝන මීදුමෙන් වැසී ඇත්තේය. ඉන් ඔබ දිස් වන්නේ යින්තායි සහ ෆීනික්ස්හි මණ්ඩපයන්ය. එහි වන හැම තණපතකටම, ලීකැබැල්ලකටම, ගඩොල් කැටයකටම, උ`ඵ කැබැල්ලකටම පවසන්ට කථාන්තරයක් ඇත්තේය.

මාතෘකා