අප දෙදෙනා හැර එහි අන් කිසිවකු නැත

 ඡායාරූපය:

අප දෙදෙනා හැර එහි අන් කිසිවකු නැත

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

ඇය චුන් කුවියා ඕගේ විවරණය අගය කරන්නීය. දවසින් දවසම ඔහුගේ පුවත්පත විසින් ඇය හඳුන්වනු ලබන්නේ ”රතු ධජය දරන්නිය” සහ ”මා ඕවාදයේ ආරක්ෂක බල ඇණිය” හැටියටය. විප්ලවවාදිනියක් හැටියට ඇය හඳුන්වා දෙන එකී ලිපිවල සඳහන් වන්නේ ඇය මා ඕගේ සමීපතම සහකරු වන වගය. චුන් කුවියා ඕ අවධාරණය තබන්නේ මා ඕට විරුද්ධව නැඟී එන විරෝධතාවන් කෙරෙහිය. ”ජියෑන් චින් සහෝදරිය වැනි ආරක්ෂක සුරදූතිකාවක නැතිව චීනයේ අනාගතය පොඩිපට්ටම් වනු ඇත්තේය.”

බෙරය වැයෙයි. නිළිය සිය භූමිකාව රත් කරයි. සෙසු අය කෙරෙහි බලපාන්ට කටයුතු කරන ඇය තමාගේම ප්‍රචාරක ව්‍යායාමයට තමා අවනත වන්නේ කෙසේදැයි නොදනියි. ඇය තුළ කිසි විටෙක අනුරාගය සිඳී ගොස් නැත්තේය. තමාගේ දෛනික ජීවිතය තුළ තම භූමිකාව ගැනද ඇය සවිඥානකය. ඇය සිය කතාව මෙවැනි වදන්වලින් ආරම්භ කරන්ට කැමැත්තීය. ”සභාපති මා ඕ අරක්ගෙන සිටින අකාශ තලය දරා සිටින්ට මාදුර්වල වැඩි බැව් මට සිතෙනවා. නමුත් නැඟී සිටින්ට මම අරගලයක් කරනවා. මක් නිසාද කියනවා නම් මා ඕ උසුලාගෙන සිටීම කියන්නෙ චීනය උසුලාගෙන සිටීමයි. මා ඕ වෙනුවෙන් මැරෙනවා කියන්නෙ චීනය වෙනුවෙන් මැරෙනවා කියන එකයි.”

වැඩි වැඩියෙන් කතා කරන තරමට ඇය වැඩි වැඩියෙන් තම භූමිකාව තුළට සමවදින්නීය. එහෙත් එහි වෙනසක් නැත්තේය. ජනතාවගේ ශ්‍රේෂ්ඨ විමුක්තිදායකයා වන මා ඕ අනතුරක සිටිතැයි නොකියා ඇයට කට හරින්ට බැරිය. ඒ යෙදුමෙන් තමාත් තමාට සවන් දෙන ජනතාවත් එකට බැඳෙතැයි ඇයට පෙනීයන්නේය. එකී වෘත්තාන්තයේදී ස්වකීය ජීවිතය අනතුරේ හෙළාගන්නා වීරවරිය. ඒ පදපේළිය ප්‍රතිරාව කරනවිට ඇය හැඟීමෙන් මැඩෙන්නීය.

දැන් යළිත් වරක් ඇය සිටින්නී මා ඕගේ ලෙන තුළය. තමාගේ කමිසය අස්සට රිංගන ඔහුගේ ඇඟිලි සිය පියයුරු ස්පර්ශ කරන අයුරු ඇයට දැනෙන්නට වෙයි. යළිත් වරක් ඒ අනුරාගය ඇය වෙත ආපසු පැමිණ ඇත්තේය.

ඕ උද්යෝගිමත්ය. සෞඛ්‍යසම්පන්නය. මාධ්‍ය කෙරෙහි ජනතාව දක්වන්නේ ඉමහත් ලැදිකමකි. ඇය යන්නේ කොතැනකටද එහිදී ඇය උණුසුම් අයුරින් පිළිගැනෙයි. අගය කරනු ලැබෙයි. ෂැන්හයිවල කලා සහ නාට්‍ය කවයන් විසින් ඇය වැලඳගනු ලැබෙයි. ඇගේ දෙපා මුල යෞවන හැකියාවන් එක් රැස් වෙයි. තරුණ ජනතාව ආයාචනා කර සිටින්නේ සිය ජීවිත පුදන්ට අවස්ථාවක් ලබා දෙන මෙන්ය. ඔබගේ පරිත්‍යාගය සභාපති මා ඕ වෙනුවෙන් රැකගන්ඩ ඇය කියන්නීය. සිය අතින් ඔවුන්ගේ උරහිස්වලට තට්ටු කරන ඇය ඔවුන්ට අතට අත දෙන්නේ ස්නේහවන්ත උණුසුමෙන් යුතුවය. බිඳක්වත් කාලය අපතේ නොයවා චුන් ක්වියා ඕද විශ්වාසවන්තයින් ගොඩනඟන අතර තමා විසින් ”මා ඕ මැතිනියගේ නවීන රතු කඳවුර” යනුවෙන් හඳුන්වනු ලබන බලවේගයද නිර්මාණය කරයි.

තමා ප්‍රතිනිර්මාණය වන මෙකී ක්‍රියාවලියේදී චුන් කුවියා ඕගේ ලේඛන හදාරන ඕ ඔහුගේ පදපේළි කටපාඩම් කොට මහජන රැලිවලදී ගායනාද කරන්නීය. මැයි මාසයේදී ඇය බීජින් නුවරට යන්ට සංචාරයක් යොදාගනියි. ඒ මා ඕ සමඟ එක්ව තම කටයුතුවල හරි වැරදි බැලීම උදෙසාය.

මගේ ස්වාමිපුරුෂයා ඇතුළේ නැත. දකුණට ගොස් සිටින ඔහු බටහිර විලේ දර්ශනීය භූමිභාගයේ අතුරුදන්ව සිටියි. හමුවීමකටද ප්‍රගති සමාලෝචනයකටද අවස්ථාවක් ඉල්ලා ඔහුගේ ලේකම් දැනුම්දුන් විට ඔහු පිළිතුරක් හැටියට එම සුප්‍රකට විල ගැන තමා ලියූ කවියක් මවෙත එවයි.

මේ අසිරිය මා දුටුවේ අවුරුදු ගණනකට පෙරය

තව කොහේද සොඳුරු බවක් දෙව් ලෝ යට මේවාගේ

විඳගනිමින් ඒ අසිරිය මා යන්නේ විල සරසින

නිමහම් කළ යුතුව තියේ තව සැරයක් මේ සිත්තම

මට දැනෙන්නේ අවසානයේදී ඔහු ස්වකීය හදවත මා උදෙසා විවෘත කරන්ට සූදානමින් සිටින බවය. ඔහු ෆෙයාලින්ට යැවූ කවියත් එයින් මගේ හද පෑරුණු ආකාරයත් මට කොහෙත්ම අමතක කරනු බැරිය. කන්‍යාවන්ට නම් මට සමාව දිය හැක. ඔව්, මම ඔහු රිස්සුවේ නැත. එහෙත් මම ඔහුට කිසි විට වෛර නොකළෙමි. මගේ නරකම කාලවකවානුවලදී පවා ඔහු බලයෙන් පහ වනු දකින්ට මම ප්‍රාර්ථනා නොකළෙමි. දෙවියන්වහන්සේ පුදුම සහගත උරුක්කු කරති. දැන් ඔහු මා ළඟය. මා ඉදිරිපිටය. මගෙන් උදවු ලබන්ටය. අද වන තුරුම මා කිසි විටෙක එසේ මිථ්‍යා විශ්වාසයක නොබැඳුණෙමි.

අපි බටහිර විලෙහි පාවෙමින් සිටිමු. එය ස්වර්ණමය ශරත් කාලයයි. බටකැලය ගනය. ප්‍රාකාර බැම්ම මත විලෝ අතු එල්බගෙනය. විලේ කොටසක් නෙලුම්පත්වලින් වැසී ඇත්තේය. විලේ වෙරළට සම්බන්ධ වන ආකාරයෙන් තැනුණු පාලමකි. ඒ වෙරළේ තැන තැන පුරාණයේ විවිධ රජ පෙළපත් විසින් තනන ලද විවිධ පන්නයේ මණ්ඩපයන්ය. එහි සංකීර්ණ ගල්කුළු පද්ධතියකි. එය වටකරගෙන සිටින්නේ පොප්ලර් පීච් සහ ඇප්‍රිකට් තුරු පන්තියකි. සුප්‍රකට කැඩුණු පාලම නිමවා ඇත්තේ කිරි ගරුඬ සහ කළුගල්වලිනි. එමත ලපටියක් වැනි පටු ආරුක්කුවකි.

අප දෙදෙනා හැර එහි අන් කිසිවකු නැත.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා