නිල් පැහැ තුළින් එන හරිත වර්ණය

 ඡායාරූපය:

නිල් පැහැ තුළින් එන හරිත වර්ණය

නගරාධිපති කේ, මගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පැය දෙකකට කලින් පැමිණ මා එන තුරු බලාහිඳින බැව් ලේකම්වරිය පවසා සිටියි. එය උත්සවාකාරයෙන් සිදු වෙයි. ඒ නිසි ගෞරවය පළ කරනු උදෙසාය. නගරාධිපතිගේ සංග්‍රහශීලිත්වය බෙහෙවින්ම අගය කරන බැව් මම ලේකම්වරියට පවසමි.

කිසිදු හඬක් නොනඟන මොටෝරිය මා කැඳවාගෙන යන්නේ හුවා-ශාන් පාරේ අංක 1245 දරන ස්ථානයටය. මා ළඟින්ම හිඳගෙන සිටින නගරාධිපති කේ මා කියන හැම වදනක්ම සටහන් කරගනියි. මා ඕගේ සුබ පැතුම් ඔහු වෙත පිරිනමන මම ලේඛකයින් සොයාගන්ට අවශ්‍ය බැව් ඔහුට කියා සිටිමි.

බීජින්වලදි හොඳ ලේඛකයො හොයාගන්ඩ බැරිවද මැඩම්? අධිරාජයන්ගෙ නගරයට හොඳ බුද්ධිමතුන් ආකර්ෂණය කරගන්ඩ බැරි වෙලාද?

මම සිනාසෙමි. ඒ සිනහව පූර්ණ රහසිගතභාවය ප්‍රකාශ කරන සිනහවකි. නගරාධිපති කේට හොඳින් කියවිය හැකි වටහාගත හැකි සිනහවකි. නගරාධිපතිවරයා එන්නේ ගොවිජන පරපුරකිනි. ඔහුගේ හිස මට සිහිකරන්නේ ලූණු ගෙඩියකි. ඔහු ඇඳ සිටින්නේ සුදු කපු ඇඳුමකි. දෙපයේ කළු පාට කපු මිරිවැඩි යුවළකි. ඒවූ කලී පක්ෂ කාර්යධරයන් ස්වකීය විප්ලවවාදී මූලය ප්‍රකාශ කරන්ට අඳින ඇඳුමකි. හම් විරෝධී සපත්තු කියන්නේ බූර්ශූවා විරෝධී කියන එකය. මට සහතිකයි ඔබ මා ඕගේ තෘප්තියට ලක් වන ප්‍රතිඵල පෙන්වන්ඩ සමත් වෙයි කියල මම පවසමි. ඔහුට කාලය ගන්ටත් ඇඟිලිවලින් ගැන බලා සිය ලාභ සීමාව හදාගන්ටත් ඉඩ දී මම බලා සිටිමි.

එකම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්නැයි නගරාධිපති කේ මගෙන් ඉල්ලා සිටියිග එකම ප්‍රශ්නයයි. එතකොට සේරම හරිග බීජින්වල ඉන්න ලේඛකයින් තවදුරටත් විශ්වාසය තබන්ඩ බැරි අයද?

මා වචනයක්වත් කියන්නේ නැත.

ඔහු එය තේරුම්ගනියි. ෂැන්හයි තමාගේ අලුත් කඳවුර හැටියට සලකන්ට මා ඕ සූදානම් බැව් ඔහු තේරුම් ගනියි. මා ඕ බීජින් සමතලා කරන්ට සූදානම් බවත් ඔහු තේරුම් ගනියි.

පසුදින උදේ නගාරාධිපති මට කතා කරල චුන් ක්වියා ඕ නමැති ලේඛකයකු මා නැවතී සිටින නිවසට එවන බැව් කියා සිටියි. චුන් ක්වියා ඕ ෂැන්හයි වෙන් - හුයි පුවත්පතේ ප්‍රධාන කතුවරයාය. මා මෙතෙක් දැන සිටින හොඳම මිනිහා ඔහු කේ පවසයි.

චුන් ක්වියා ඕ සහෝදරයාට සභාපතිතුමාගෙ සුබ පැතුම් යවන්ඩ මම කියමි.

ඊට පැය දෙකකට පසුව චුන් ක්වියා ඕ පැමිණෙයි. මා ඕ මැතිනිය ෂැන්හයි නගරයට පිළිගන්නවා. ඔහු හැරමිටියක් තරමට කෙට්ටුය. හොඳම දුම් බොන්නෙකි. ඔහුගේ මනස කතුරක් තරම් තියුණු බැව් මිනිත්තු කිහිපයක කතාබහෙන් පසුව මම වටහාගතිමි.

මැඩම් කැමති ඕනෑම දෙයක් ෂැන්හයිවලට කරන්න පුළුවනි. ඔහු දත් සියල්ල පෙනෙන සේ සිනාසෙයි.

ෂැන්හයිවල මා ගත කළ මුල් දවසේ මට නින්දක් නැත. ටෑන් නාහ් සහ ඩෑන් නිසා මා මගේ හදවත එළියට ඇද විකාගෙන සිටි අයුරුත් ජුන්ලිගේ අවධානය දිනාගන්ට දුක්ගත් අයුරුත් මේ නගරය මට මතක් කරදෙයි. මගේ මනස් සිරුරේ චර්මයෙහි නොබිඳුණු එකම තැනක්වත් ඇත්තේ නැත. මා මගේ ඉරණමත් සමඟ කළ වික්‍රමාන්විත සටන. මගේ යෞවනය වූකලි තද සුවඳ වහනය කළ අනුරාගයේ ඖෂධ ශාක දැල්වුණු උත්සවාග්නියකි. ෂැන්හයිවල සුවඳ මට කිසි විටෙක අමතක නොවෙයි.

කඳුළෙන් තෙත් වුණු රාත්‍රිය තිත්ත තරමටම මිහිරිය. මට අතීතය සිහි නොකර සිටිනු බැරිය. මගේ වේදනාව. දුක්ඛ දෝමනස්සය. අරගලය. මගේ බඩවැල් එකට පැටලීම හේතුවෙන් ඇණ තියාගෙන හිඳිනු මිස ආපසු නැඟිට සටන් කරනු උගහටය. සෙමෙන් සෙමෙන් මතකයේ කුණු කන්දරාව අතුරුදහන්ව සිතිජය තෙක් දිවෙන සමබිමක් පෑදෙයි. මගේ සංවේදනාවන් පිළිස්සී එහි අළු විසිර යනු මම දකිමි. දීප්තිමත් සූර්යාලෝකයේ දී මට මගේ මිදිවත්ත නඩත්තු කර ගත නොහැකි නම් මට මගේ ඉව කෙරෙහි විශ්වාසය තබන්ට සිදු වෙයි. ඒ අදහසින් මම මගේ නමෙහි අරුත බවට පත් වෙමි. ජියෑන් චින් හරිත වර්ණය එන්නේ නිල් පැහැය තුළිනි. එතෙකුදු එය නිලට වඩා සාරවත්ය.

චුන් ක්වියා ඕ හොඳ තේරීමක් බැව් ඔහුම සනාථ කරයි. මා කවරෙක්ද යන කාරණය ගැන ඔහු තුළ පැහැදිලි අවබෝධයක් ඇත. ඔහු මා සලකන්නේ මා ඕගේ සමානයකු හැටියටය. ඒ සැලකීමද ඇතිව ඔහු මගේ අදහස් හා මතවාද වෙනුවෙන් සටන් කරයි මට පූර්ණ ශක්තිය ලබාදෙයි. ජනතාව කියන්නේ ඔහු කිසිවිටෙක සිනා නොවන බවකි. එහෙත් මා දුටු මතින්ම ඔහුගේ මුහුණ රෝසමලක් මෙන් විකසිත වෙයි. ඔහුගේ ගනකමැති උපැස් යුවළ පිටුපස දක්නා ලැබෙන්නේ ඉස්ගෙඩි ඇස් යුගලයකි. ශිෂ්‍යයෝ කිසි විටෙක නිශ්චල නොවෙති. මවිසින් තමාට නව ජීවනයක් ලබා දී ඇත්තේ වනැයි ඔහු පවසයි. දේශපාලන දිව්‍ය ලෝකයට නගින්නට මේ මිනිහා හොඳ ඉනිමඟකි. තමා මේ වැනි අවස්ථාවක් උදා වන තුරු බොහෝ කලක් බලාගෙන සිටියේ වනැයි ඔහුමට පවසයි. ඔහු උපත ලබා ඇත්තේම ස්වකීය ජීවිතය උදාර අරමුණක් උදෙසා කැප කරන්ටය. අධිරාජයකුට භක්තිමක් අගමැතිවරයකු වන්ටය.

මාතෘකා