ලෝකය ඇතුළට ගිහිල්ලා හූනියම බිඳල දාන්න

 ඡායාරූපය:

ලෝකය ඇතුළට ගිහිල්ලා හූනියම බිඳල දාන්න

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

මා අවුරුදු හතළිහක් බලන් හිටියා, ඔහු ගොරවන්ට වෙයි. මගෙ හතුරො මට විරුද්ධව කුමන්ත්‍රණය කිරිල්ල කවදාවත්ම නවත්වල නෑ. උන්ට ඕනෑ කරන්නෙ මම ගෙවී යනව දකින්ඩ. මම දැන් යුවාන්මින් උද්‍යානය බවට - නිකම්ම හිස් රාමුවක් බවට - පත් වෙලා. උන් යෝජනා කරන්නෙ මට නිවාඩු ගන්ඩ කියල. එතකොට උන්ට පුළුවනි, මං නැති වෙලේ කණ්ඩායම් හදාගන්ඩ. මම මොන වගේ මෝඩයෙක්ද වෙලා ඉන්නෙ... හැම වැදගත් තනතුරක්ම උන්ගෙ මිනිස්සුන්ගෙන් පුරවලා. මට නගරාධිපතිගෙ කාර්යාලයටවත් යන්ඩ බෑ.

ඇය මහත් වුවමනාවෙන් පිළිවදන් දෙන්නීය. ඔව් සභාපතිතුමනි, ඒ නිසාම තමයි ”හයිරුයි තනතුරෙන් ඉවත් කිරීම” ඒ තරම්ම ජනප්‍රිය නාට්‍යයක් වෙලා තියෙන්නෙ. මේ සේරම ඒ අයගෙ කුමන්ත්‍රණයෙ ප්‍රතිඵල. වූ හෑන්ට අමතරව අපේ රටේ බලපුළුවන්කම් ඇති ඉහළම විද්වතුන් වන ලියා ඕ මූ - ෂාත් ඩෙන් ටු ඕත් ඉන්නවා.

මා ඕ සිගරැට්ටුවක් දල්වාගෙන ඔහුගේ මාවේවැල් පුටුවෙන් නැඟිටියි. මොහොතකට ඔහුගේ බැල්ම මෘදු වෙයි. ජියෑන් චින් ඔහු කියන්ට වෙයි. බොහෝ දෙනෙක් කියන්නෙ ඔයා ඇඟිලි ගහන කෙනෙක් කියල. දැක්ම කෙටිහැඟීම් බලවත් කෙනෙක් කියල. දැන් ඔබ කරුණු කාරණා පැහැදිලිවම දකිනව... උපසභාපති ලියු රට කරවන්ට වෙලා දැන් අවුරුදු අටක් වෙනව. මේ වන විටත් එයා විශාල බලවත් ජාලයක් හදාගෙන ඉවරයි. වූ හෑන් කියන්නෙ අනිත් අය මානන තුවක්කුවක් විතරයි.

ප්‍රධාන නළුවො තවම එළියට ඇවිල්ල නෑ. ඇය ප්‍රකාශ කරයි.

උන් ආපුවාවෙ, අද උදේ කෑන් ෂෙන් මා අතට එවපු ලිපියක් මම කියෙව්වා ඒක ලියල තියෙන්නෙ ඔබ මේ දැන් සඳහන් කළ මිනිස්සු තුන්දෙනාම එකතු වෙලා. උන් තමන්ව හඳුන්වාගන්නෙ තුන් දෙනාගෙ ගම කියලද?

ඔව්. එක ලිපියකට දාල තිබුණු මාතෘකාව ”මහා ශ්‍රේෂ්ඨ හිස් වචන” නෙමෙයිද?

ඔහු හිස සලයි. ඒක ප්‍රහාරයක්..

ඇය තමාටම පවසන්නේ සන්සුන් වන්නැයි කියාය. තමාගේ ඉරණම වෙනස් කරන්ට කටයුතු කරන හස්තය ඇය දකින්නීය. ඇය ඔහු දෙසට නැමෙයි. ඇගේ කටහඬ කඳුළින් බර වෙලාය. සභාපතිතුමනි ඔබතුමාගෙ හතුරො ඔබතුමාට හානි කරන්ඩ සූදානම් වෙලයි ඉන්නෙ.

ඇය දෙසට හැරෙන හේ සිනහවක් පායි.

ඔහුගේ බැල්මට මුහුණ දෙනු නොහැකිව ඇය ඉවත බලාගන්නීය.

මගේ මේ ජීවිතේදී මං මොකක් හරි කාරියක් ඉතා හොඳින් ප්‍රගුණ කරල තියෙනව නම ඒක තමයි මිනිස්සුන්ගෙ ඔළුගෙඩි පුපුරුවා හැරීම. ඔහු හදිසියේ තෙපලයි. ඒ ඔළුගෙඩි හයිය තරමට වැඩියත්ම හොඳයි.

ඔබතුමාත් සමඟ සටන් කරන්ඩ, මමත් ලෑස්තියි, සභාපතිතුමනි.

ඔබට මොකවත් එහෙම අදහස් තියෙනවද?

ඔව්.

එහෙනම් කියමු බලන්ඩ.

ඇය කතාව පටන්ගන්නේ සිය සංස්කෘති කණ්ඩායම් ගැනත් තමා මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටින නාට්‍යයන් ගැනත් විස්තර කිරීමෙනි. හැම චරිතයක්ම සංකේතාත්මකයි. නිර්මාණශීලීත්වය සඳහා තිබෙන තත්ත්වයන් දුර්වල වුණත් - නිදසුනක් හැටියට නළුවො වැඩ කරන්නෙ ඒ අයගෙ ගෙදර පිටි පස්සෙ මිදුලෙ. කුස්සියෙ තියෙන බඩු භාණ්ඩ තමයි නාට්‍ය ආම්පන්න. ඒ අයගෙ භක්තිය, කැපවීම, උනන්දුව, හැකියාව හරිම ඉහළයි. විශිෂ්ටයි. මේ කණ්ඩායම බීජින් නුවරට කැඳවා ගෙනැවිත් ඔහුට ඉදිරිපත් කරන්නට තමා සූදානම් බැව් ඇය පවසයි.

බීජින්වලින් පිටත නවතින්ඩ ඔහු ඇයට උපදෙස් දෙයි. ඒ සේරම ෂැන්හයිවලදි කරන්ඩ. නිෂ්පාදන වියදම් ගැන මගෙ මිත්‍රයාට - ෂැන්හයි නගරාධිපති කේ ක්වින්ෂිට කතා කරන්ඩ. එයා විශ්වාසවන්ත මිනිහා. මට ඉදිරියට ඇවිල්ල ඔබට උපකාර කරන්ඩ පුළුවනි. නමුත් එතකොට ඒක වැඩියත්ම එළිදරවු වෙනව. කේ හම්බවෙලා එයාට මගෙ පණිවිඩය දෙන්ඩ. ඔබ මාව නියෝජනය කරන්ඩ. ඔබට විශ්වාසවන්ත ලේඛකයො ගන්ඩ. ජාතික මට්ටමෙන් ”හයිරුයි තනතුරින් ඉවත් කිරීම’ ප්‍රතික්ෂේප කිරීමේත් එය විවේචනය කිරීමේත් වැඩපිළිවෙළක් ආරම්භ කරන්ඩ. ඒක පරීක්ෂණ බැලුමක් වේව. ඒකට හොඳ ප්‍රතිචාරයක් තිබුණොත් අපට පුළුවන් වේවි අපේ කරදර අයින් කරගන්ඩ. හැබැයි ඉතින් එහෙම නොවුණොත් අපි අමාරුවෙ වැටෙනව.

ඇයට තව එකදු වචනයක්වත් කියාගන්ට බැරිය. ඒ තරමටම ඇයට සතුටුය. තමාගේ සිතේ ඇති බලවත් උද්වේගය සඟවාගනු උදෙසා ඔහුගෙන් සමුගන්ට දැන් ඇයට අවශ්‍යව ඇත.

තව සිගරැට් උගුරක් ඇදල ඔහු ඇය කැටුව දොර ළඟට යයි. පොඩ්ඩක් ඉන් ජියෑන් චින් ඔහු කියයි. එසේ පවසන හෙතෙම ඇයගේ සම්පූර්ණ අවධානය ලබාගනු සඳහා මොහොතක් බලා සිටියි. ඔබ දොස් කියල තියෙනව මං ඔබව කූඩු කරල තිබ්බ කියල. බාග වෙලාවට ඒක ඇත්තක් වෙන්ඩත් පුළුවනි දැනට අවුරුදු විසිගණනක් නේද? මට සමාවෙන්ඩ. මට එහෙම කරන්ඩ බලපෑම් ආවා. මං දැන් ඉන්නෙ බරපතළ තත්ත්වෙක. කොහොම නමුත් මං ඒක අවසන් කරනව. ඔබට ඇති වෙන්න විඳවන්න වෙලා තියෙනව. දැන් ඉතින් ලෝකය ඇතුළට ගිහිල්ලා හූනියම බිඳල දාන්ඩ.

ඕ ඔහුගේ පපුව මතට පනින්නීය.

ඇය වැලඳගන්නා ඔහු ඇය සනසන්ට වෙයි.

ඇගේ කඳුළු අතරින් මතු වන්නේ අරුණාලෝකයකි. ස්වකීය අතිවිශේෂත්වය ගෙනහැර දක්වනු උදෙසා අපූර්ව අවස්ථාවකි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා