හැම කල්හිම සිටි ශ්‍රේෂ්ඨතම මාක්ස්වාදියා

 ඡායාරූපය:

හැම කල්හිම සිටි ශ්‍රේෂ්ඨතම මාක්ස්වාදියා

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

අවශ්‍ය තොරතුරු යැවීමෙන් මම මගේ මිත්‍රයින්ට අධ්‍යාපනය ලබා දෙමි. මා යවන තොරතුරු අතර සම්භාව්‍ය චීන ඔපෙරා ඛණ්ඩයක් වන ”මැදියම් ? සුවඳ දුමත්” සුප්‍රකට ඉතාලි ගීතයක් වන ”සොරෙන්ටෝ වෙත ආපසු පැමිණීමත්” අඩංගු වෙයි.

මුල දී ඔවුහු අවුලට පත් වූහ. ඔවුන් පුරුදුව සිටියේ ඍජු සාම්ප්‍රදායික චින්තනයකටය. මම ඔවුන්ගේ දැක්ම පුළුල් කරමි. නොබෝ කලෙකින් මා උගන්වන දේවලින් ඔවුහු ප්‍රයෝජන ගන්ට පටන්ගනිති. ඔවුහු මගේ අදහස්වලින් පෝෂණය වෙති. මේ සුළු පිරිස ඉතා දීප්තිමත් මනසක් ඇතියාහු වන්නාහ. වයලීනය වාදනය කරන එක් නිබන්ධකයෙක් චායිකොව්ස්කිගේ”වෝල්ට්ස් ඔෆ් ද ෆ්ලවර්ස්’ වාදන ඛණ්ඩය යොදාගෙන චීන ජනනැටුමක් නිර්මාණය කරයි. ඔහු එය නම් කරන්නේ ”යෙනාන්හි රතු අහස” කියාය.

මම ”සංස්කෘති කණ්ඩායමක්” පුහුණු කරමි. ඒ පිරිස තමාගේ න්‍යායාත්ම සටන් ජයගන්ට මා ඕට අවශ්‍ය වනු ඇත්තේය. මට මෙය රහසක්ව තබාගැනීම අසීරුය. එය ක්‍රියාත්මක වන අයුරු මම සිතින් දකිමි. මීට වසර තිහකට පෙර කළාක් මෙන් මදෙස බලමින් මා ඕ සිනාසෙනු මට පෙනෙයි. අනිත් අතට මට බියක්ද දැනෙයි. මා ඕ කිසිවක් මා බලන ආකාරයෙන් දැක නැත්තේය. මා කරන දෙයින් ඔහු සතුටු වනු ඇද්දැයි මා දැනඟන්නේ කෙසේද?

අවුරුදු ගණනාවකින් පසුව ප්‍රථම වතාවට නිදි නැති රෝගය ගැන මා තවදුරටත් සැලකිලිමත් වන්නේ නැත. මම නිදිපෙති ඉවත විසි කරමි. මා අවදි වන විට තවදුරටත් සතුරන්ගෙන් තර්ජනයක් ඇති බවක් මට නොදැනෙයි. වෑන් ගුවන්-මෙයි ගැන වුණත් මා කරදර වන්නේ නැත. ඇය සහ ඇගේ සැමියා වන ලියු මේ මොහොතේ දර්ශන පථය මත දිස් වන නමුත් ඔවුන්ගේ දිනවලට අංක යොදා ඇත්තේය. ඔවුන්ට ඒ තත්ත්වයේ දිගටම රැඳී ඉන්ට ලැබෙන්නේ නැත.

මා ඕගේ කෝන්තරය දලු දමන්ට පටන්ගන්නේ මෙතැනින් බැව් උපසභාපති ලියු කිසි විටෙක වටහා නොගනියි. කුමන්ත්‍රණය ආරම්භ වන්නේ ලියු ජාතිය ගලවා ගැනීමේ කටයුතුවල දැඩිව යෙදී සිටින අතරවාරයේදීය. මා ඕගේ කොමියූන ක්‍රමය වසා දමන ලියු ඒ වෙනුවට තමාගේම ක්‍රමයක් දියත් කරයි. එය හැඳින්වෙන්නේ සී - ලියු - ඬේ යන නමිනි. ඒ වනාහි ගොවීන්ට තමන්ගේ ඉඩම්වල වගා කරන්නටත් ඒ බවබෝග තමන්ටම විකුණා ගන්නටත් අවසර දෙන වැඩපිළිවෙළකි. ලෝකල් හෙවත් ප්‍රාදේශීය ශාඛාවනට පවුල් පදනමකින් කටයුතු කරන්නට දිරි දෙනු ලැබෙයි. හරය වශයෙන් බලන විට ඒ නම් චීන පන්නයේ ධනවාදයයි. එය මා ඕගේ මූණටම කෙළ ගැසීමකි.

සිය සැමියාගේ මනෝභාවය දෙස මා ඕ ජියෑන් චින් මැතිනිය බලා සිටින්නේ සෝදිසියෙනි. ඇය ෂැන්හයි සිට ආපසු පැමිණියා පමණි. ඇය සහ කෑන් ෂෙන් බලාගෙන සිටින්නේ මා ඕ - කොටියාගේ රැවුල් ගස් අදින අයුරුය. හැම දිනෙකම සම්මේලනයෙන් පසුව මා ඕ මැතිනිය නැවතී සිටින හෝටලයේ කාමරයට යන කෑන් ෂෙන් ඇයට අලුත්ම ආරංචි සපයයි.

ගැළපෙන වේලාව ගැන අවධානය යොමු කරන්ඩ කෑන් ෂෙන් පවසයි. මකර සුළිසුළඟ එන්ඩ පටන්අරන්. ඒක හොඳටම ළඟ. මා ඕ පහර දෙන්ඩයි යන්නෙ. ඒක තමයි ලියුගෙ අවසානෙ. බලාගෙන ඉන්ඩ. මා ඕ වැඩි වැඩියෙන් හතුරන් ඇති කර ගන්න කොට එයා ඔබ ළඟටයි හැරෙන්නෙ.

කලින් දැනුම්දීමකින් තොරව සැප්තැම්බරයේ දී මා ඕ ආපසු බීජින් නුවරට පැමිණෙයි. දේශපාලන මණ්ඩලයේ රැස්වීමක් කැඳවන ඔහු ආරක්ෂක ඇමැති මාර්ෂල් පෙන් ඩි-හුවායි ඉවත් කළ බැව් දැනුම් දෙයි.

මෙම තීරණය සම්බන්ධයෙන් සවන්දීමක් ඇති වන්නේ නැත. මා ඕ ඒ තීරණය ගන්නේ එය තමා සතු අයිතියකැයි සලකාගෙනය. හරියට කකුලෙන් සපත්තුවක් ගලවා ඉවත ලන්නාක් මෙනි. දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන්ට ප්‍රතික්‍රියා දක්වන්ට අවස්ථාවක් ලැබෙන්නට පෙරම මාර්ෂල් පෙන් සිටි තැනට මා ඕගේ ශ්‍රාවකයකු වන මාර්ෂල් ලින් බියා ඕ පත් කරයි. හේ තෙමේ මා ඕ ජීවමාන දෙවියකු හැටියට සලකන මිනිහෙකි. ඔහු වෑයම් කරමින් සිටින්නේ ජනතාවගේ විමුක්ති හමුදාව ”මා ඕ චින්තනයේ මහා පාඨශාලාව” බවට පරිවර්තනය කරන්නටය.

මාර්ෂල් ලින් බියා ඕ යනු මා හොඳින් දන්නා හඳුනන චරිතයකි. සිවිල් යුද සමයේ දී ප්‍රධාන සටන් රැසක්ම දිනාගනු ලැබුවේ ලින් බියා ඕ විසින් බවත් ඔහු උපක්‍රමයෙහි අතිදක්ෂයකු බවත් මම මා ඕගෙන් දැනගෙන ඇත්තෙමි. ඔහුගේ මෑත උපක්‍රම තරමක් විනිවිද පෙනෙන බවක් මා සඳහන් කරන්නේ නැත. සභාපති මා ඕ දිගුකල් දිනේවා කියා හඬ නඟන විට වඩාත්ම ඉහළින් ඇසෙන්නේ ඔහුගේ කටහඬය. එහෙත් ජීවිතය අරුම පුදුමය. මා ඕ ආ දුම්රියට බෝම්බ ගසන්නැයි නියෝග කළ මිනිහාද ඔහුය. අනාගතයේ දී තමාගේ අනුප්‍රාප්තිකයා හැටියට උසස් කරනු ලබන්නේද සිය නිවෙස තුළදීම මරා දමන්නැයි නියෝග කරනු ලබන්නේද ඔහුය.

මාර්ෂල් ලින් හැමවිටම සිටින්නේ ශාරීරික වශයෙන් දුර්වල තත්ත්වයකය. ඒ ‘වනාන්තරයේ රජු’ යන අරුතැති සිය නමට ප්‍රතිවිරුද්ධ ආකාරයෙනි. ඔහු සුළඟකින් ගසාගෙන යන තරමට කෙට්ටුය. ඔහුට ආලෝකය, ශබ්දය සහ ජලය දරාගන්ට බැරි යයි ඔහුගේ බිරිය යේ මට පවසා ඇත. වසර දහසක මල් බඳුනක්මෙන් ඔහු වාතයේ ඇති තෙතමනයෙන් දිරාපත් වෙමින් සිටියි. ඔහුට ඇත්තේ ත්‍රිකෝණාකාර නෙත් යුගළකි. තණකොළ වැනි ඇහි බැම යුගළකි. ඔහු සිය කෙට්ටු සිරුර වසාගන්ට හදන්නේ මිලිටරි නිල ඇඳුමෙනි. එහෙම වුණත් උණ බටයක් වැනි ඔහුගේ බෙල්ලෙනුත් ඒ බෙල්ලට බර වැඩි නිසාවෙන් පැත්තකට ඇල වී තිබෙන ඔහුගේ ඔළුගෙඩියෙනුත් ඒ රෝගය වසන්ට බැරි බැව් කෙනෙකුට පෙනෙයි.

එතෙකුදු වුවත් ඇය දැන් ප්‍රබෝධයට පත්ව සිටින්නේ ලින් බියා ඕගෙනි. ඔහු මා ඕ සමඟ පෑහෙන අපූරුව. එය ඉතා සරලය, පුංචි ළමයකුගේ වැනිය. එය වැඩ කරයි. ලොකු බලපෑමක්ද ඇත්තේය. ඔහු ලජ්ජා නැති අයුරින් චාටු බස් කියන්නේද වෙයි. මා ඕගේ ”පුංචි රතු උධෘත පාඨ පොතේ” දෙවැනි මුද්‍රණයට පෙරවදනක් ලියන ඔහු මා ඕ හඳුන්වන්නේ හැම කල්හිම සිටි ශ්‍රේෂ්ඨතම මාක්ස්වාදියා හැටියටය. ”සභාපති මා ඕ ජාත්‍යන්තරවාදයද මාක්ස්වාදයද ලෙනින්වාදයද ආරක්ෂා කරයි.” ”සභාපති මා ඕගේ එකම එක වාක්‍යය අනෙක් අයගේ වාක්‍ය දහසක් වටින්නේය. පූර්ණ සත්‍යය දර්පණය කරන්නේ මා ඕගේ වදන්වලින් පමණි. මා ඕයනු දෙව්ලොවින් මිහි බට ධීමතාය. ”

මාතෘකා