සාපලත් බිමක අපේක්ෂා ශුන්‍යත්වයෙන්

 ඡායාරූපය:

සාපලත් බිමක අපේක්ෂා ශුන්‍යත්වයෙන්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මම කන්ද දෙසට ගමන් කරමි. වාතය කොතරම් උණුහුම්ද යත් මගේ මුහුණ පුරා උණු වතුර වත් කරන්නාක් වැන්න. පෙනෙන්ට ඇති දර්ශනය නීරසය. නියඟය හේතුවෙන් ගස්වැල් මැරෙන්ට පටන්ගෙනය. තණකොළත් කුඩා පඳුරුත් කහ පැහැ ගැන්වී ඇත. නියඟයට ඔරොත්තු දෙන පැළෑටියක් වන කුඩයක හැඩය ඇති කොළ තුනේ ගෝයා පැලයේද ජීවය සිඳී ගොසිනි. එහි කොළ තුන් පැත්තකට එල්බගෙනය..

වාතයෙන් කුණු ගඳක් වහනය වෙයි. ඒ මරුණු සිවුපාවන්ගේය. මගේ හිස වටා උකුස්සෝ කැරකෙති. මට හිතෙන්නේ වාතයෙන් උරාගත් කුණු ගඳ අහසටත් පැතිර ඇති බවකි. කුරුල්ලන්ට උන්ගේ අහර සුවඳ දැනෙන්නේ අහසෙහි වාතය තුළදීය. උකුස්සන්ට අමතරව මැරුණු පැළෑටි මත බඩගා යන සත්තුත් කැරපොත්තෝත් බහුලය. ඔවුන්ට පියඹන්ට හැකිදැයි මම නොදැන සිටියෙමි. ඇතැම්විට පොළොව මතුපිට ඇති පිච්චෙන දැඩි රස්නය හේතු කොටගෙන ඔවුන්ගේ චර්යා රටාවන් වෙනස් වී තිබෙනු විය හැක.

අහස යෝධ බත් පාත්තරයකි. මා ගමන් කරමින් සිටින්නේ එහි පතුළෙහිය. මට උඩට නඟින්ටත් බැරිය. එළියට එන්ටත් බැරිය.

අපේක්ෂා ශූන්‍යත්වය විසින් මගේ පපු කුහරයේ ඇති හුස්ම සේරම උරාගෙන ඇත්තේය.

ඔබට නමින් පෙනී සිටින්ට ප්‍රධානියකු අවශ්‍යයි. ඔබට මා ඕ අවශ්‍ය වෙනවා කෑන් ෂෙන් මට කියයි. ඔබගේ භූමිකාව තමයි මා ඕගේ වඩාත්ම විශ්වාසවන්ත පක්ෂ සහෝදරයා හැටියට කටයුතු කිරීම. ඔබේ බලය තහවුරු කරගන්ට ඇති එකම ක්‍රමය එයයි. ඒක රඟපාන්ට වෙනවා. නෑ. ඔබට දැනෙන්නෙ නෑ. ගිහිල්ල පිටිපස්සෙ කාමරවල සිටිය අනියම් බිරියන්ගෙ මළමිනී ඉඹින්ඩ. හැඟීම කියන්නෙ මොකක්ද කියල ඒ අය කියල දේවි. යෝධයාගේ උරහිස් මතට නඟින්ඩ. එතකොට ඔබ නොදැක ඉන්ඩ කාටවත් බෑ.

මං හිතන්නෙ මං මා ඕගේ කර උඩ නගින්ඩ ඕනෑය කියල.

ඔබට හිතෙන හැටියක්.

ඇයට සිහිනෙන් පෙනෙන්නේ මා ඕය. රාත්‍රියෙන් රාත්‍රියට ඒ සිහිනයමයි. සාපය නම් ඇය පතන්නේ මා ඕගේ මරණයයි. ඇය ඇවිත් සිටින්නේ ඔහු වළ දාන්ටය. එතෙකුදු මේ උපන් ගෙයි හිතුවක්කාරකම ඇත්තේය. ඇගේ හැඟීම් ක්‍රියා කරන ආකාරය. ඇය සිටින්නේ කූඩුවකය. එය බාධාවක්ය. පිරිසට අත වනමින් ඇය සිටින්නේ වරායකය. ඔලුව අනිත් පැත්තට හරවා ගන්ඩ ඇය තමාටම කියා ගනියි. මා ඕට ඉවත්ව යන්ට ඉඩ දීමට ඇගේ සිතක් නැත.

කිසි දිනෙක මවෙත නේන්නැයි මම ඔහුට කියමි. එහෙත් හැම දිනම මා බලා හිඳින්නේ ඔහු එන තුරුය. එක එක වර්ගයේ නිදහසට කාරණා ගොතමින් මම ඔහුට ආරාධනා යවමි. ඔහු පැමිණි පසුව මා දක්වන්නේ නොසැලකිල්ලකි. කාමරය පිරිසිදු කරන්නැයි හෝ කැමරාව අරගෙන උයනේ රෝසමල් ෆොටෝ ගන්නැයි හෝ මම සේවකයන්ට කියමි. එහෙත් ඔහුගේ පැමිණීම දුකක් කරමි. කාලකණ්ණි බවට පත් කරමි.

අප ඉවරයක් කරන්නැයි මම ඔහුගෙන් ඉල්ලා සිටිමැයි මම නාහ්ට කියමි. මේ දිනවල මා වැඩි වෙලාවක් ගතකර ඇත්තේ නාහ් සමඟය. බෝඩින් පාසලේ වාසය කරන්ට ඇය කැමැත්තීය. එහෙත් සති අන්තවලදී ඇයට අවශ්‍ය මා සමඟ ගත කරන්ටය. තමා මා ළඟ සිටින බැවින් පියාට එන්ට එය හේතුවක් බැව් ඇය දන්නීය. නමුත් එය නොසිදුවන බැව් මම දනිමි. මා කිසි විටෙක කවුළුවෙන් පිටත බලන්නේ නැත. තාත්තාගේ පැමිණීම ගැන නාහ් කරන අනුමානවලටද මා ප්‍රතිචාර දක්වන්නේ නැත.

එක් සැඳෑවක මගේ කාර්ය මණ්ඩලය විනෝදය උදෙසා වෘත්තාන්ත චිත්‍රපටයක් බලති. එහි සිරස ”සභාපති මා ඕ රට පරීක්ෂා කරයි” යනුය. එහි යාම මම ප්‍රතික්ෂේප කරමි. චිත්‍රපටය යද්දී අතින් ගෙන යා හැකි ප්‍රොජෙක්ටරයෙන් කුස්සියේ සිට එහි හඬ මට ඇසෙයි. හදිසියේම හටගත් දුකකින් මම භ‍්‍රාන්ත වෙමි. මට රැඳී ඉන්ට බැරිය. චිත්‍රපටය තිරගත වන තැනට මම ගමන් කරමි එය අවසන් වූ පසුව පිරිසත් සමඟ එක්ව මමද අත්පොලසන් දෙමි. මගේ දෑසේ කඳුළුය.

සභාපති මා ඕ දිනේවා... ජියෑන් චින් සහෝදරියට ආයුබෝ වේවා... හැමදෙනාම ප්‍රීති ඝෝෂා කරති.

ඈතක සිට ඇදෙන දුම් නැවක නලා හඬ මට සිහිනයෙන් ඇසෙයි. නොපැහැදිලි අරුණ උදයේ රළ පහරක් මෙන් මිනිසුන් ගලා එනු මට පෙනෙයි. නෞකාවල හෙමින් සැරේ පිටත්ව යන්ට සූදානම්ය. සමුගෙන යන්ට කෑගසන මගීන් අත රැඳි එක එක වර්ණයේ රිබන් පටි කැඩී බිඳී යනු මට පෙනෙයි. මේ රිබන් පටි වා තලයෙහි නටනු වැන්න. නෙතට පෙනෙන්නේ නෞකාව විසින් වරාය වෙරළ දෙසට තල්ලු කරමින් සිටින ආකාරයකි. ඉනික්බිතිව මගීන්ගේ කටහඬ මැකී යෙයි. නැව ඈතට ඇදී යනු පිරිස බලා සිටිති. නැව මඳින් මඳ පුංචි වෙවී ඉදිරියට ඇදෙයි. රිබන් පටිවල රැඟුම නැවතී ඇත්තේය. ඒ වෙනුවට ඇසෙන්නේ රළ නැඟෙන බසින හඬය. යළිත් වරක් මාළු දුඟද වා තලය මත පැතිරෙන්ට වෙයි.

සූර්යාලෝකය යට දීප්තිමත්ව බැබළෙන මහා සමුද්‍රය.

මගේ හදවතේ වරාය හිස්ය. පාළුවට ගිහින්ය.

මාතෘකා