ඔපෙරාවක අතරමං වුණු අධිරාජිනිය

 ඡායාරූපය:

ඔපෙරාවක අතරමං වුණු අධිරාජිනිය

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

කලාවත් ගෘහ නිර්මාණ ශිල්පයත් පිළිබඳ රුචියක් නැති මා ඕ මෙන් නොව මා ඕ ජියෑන් චින් මැතිනිය තහනම් නගරයේ විශේෂයෙන්ම එහි ගිම්හාන මාළිගාවේ අසිරියෙන් මෝහනයට පත් වන්නීය. එහි ඇයගේ ප්‍රියතම ස්ථානය මැග්නෝලියා සුගන්ධයේ මුහුදය. ප්‍රීතියේත් දීර්ඝ ජීවනයේත් ශාලාව පිටුපස ඇති වනාන්තරයයි. මීට සියවස් දෙකකට පෙර දකුණුදිග චීනයෙන් ගෙන්වන ලද පැළෑටි වර්ගයන්ය එහි නැවත සිටුවා ඇත්තේ. මල් පිපෙන සමයේදී මා ඕ මැතිනිය එතුළ ඇවිදිමින් පැය ගණන් ගත කරන්නීය. ඇය එතැන හඳුන්වන්නේ ”රෝස වලාකුළු” නමිනි. ඇය ප්‍රිය කරන අනෙක් ස්ථානය, 1903 වසරේදී මහලු වැන්දඹු අධිරාජිනිය විසින් ගොඩනඟන ලද පියෝනි ටෙරසයයි. එහි කඳු බෑවුමේ මල් පාත්ති වටකර ඇත්තේ කැටයම් කරන ලද ගලිනි.

සීත ඍතුවේදී ඇයගේ ප්‍රියතම කාරිය වන්නේ ”චිත්‍ර ලියවැල් අතර සක්මනයි. ” මෙම දර්ශනය’ තුළට ඇතුළු වීමට පෙර මුරභටයින්ට”අතුරුදන් වන්නැයි” ඇය නියෝග කරන්නීය. ගොඩනැඟිලි සංකීර්ණය පැතිර යන්නේ බුද්ධ සුගන්ධයේ කුලුනට බටහිරින් පිහිටා ඇති කඳුකර පෙදෙසෙහිය. ඇය මේ දර්ශනයට ආදරය කරයි. කුලුනු තුන මණ්ඩප දෙක චිත්‍ර ප්‍රදර්ශන ශාලාව සහ ආරුක්කු සහිත ද්වාර මණ්ඩපය... ඕ සුළඟට සවන් දීගෙන සිටියි. තම සිත නිසල වනු ඇයට දැනෙන්ට වෙයි. යළිදු හිම පතිත වන තුන්වැනි දිනයේද ඇය එතැනට පැමිණෙන්නේ විවෘත මණ්ඩප ද්වයක් ඇති තේජස්වී අභිරමණීය සුවිශාල අටපට්ටම් මන්දිරය නරඹන්නටය. මේ මන්දිරයේ පියස්ස කෙළවර වන්නේ ඔප දමන ලද කොළ සහ කහ පැහැති උළු පේළි දෙකකිනි. දැන් එවා හිමෙන් වැසී ඇත්තේය. ඇය නිදහසේ හඬා වැලපෙන්නීය. ඒ සියල්ල වටහාගන්නීය. ශ්‍රේෂ්ඨ නිළියකගේ අතුරුදන් වීම.

ධවල වර්ණය ශෝකයයි. චිත්‍ර විභූෂිත ලෝකයක හුදෙකලාව.

රෙදි බැම්මෙන් බඳින ලද චිත්‍ර පොත් මවෙත ගෙනෙන්නැයි මම සේවකයන්ට නියෝග කරමි. මම තහනම් නගරයට අදාළ ඓතිහාසික චරිත අධ්‍යයනය කරන්ට පටන්ගනිමි. ඔපෙරාව පිළිබඳව ඈත ඉතිහාසයේ සිට ඒ වැන්දඹු අධිරාජිනිය තුළ වූ උනන්දුව ඇය සමඟ මමත් බෙදාහදා ගනිමි. ඉතා කදිම ශෝභාමත් දවස්වලදී මම එතුමියගේ මහිමය නරඹන්ට පැමිණෙමි. මා කෙළින්ම යන්නේ සුඛ ජීවනයේ සහ ප්‍රීතියේ ශාලාව වෙතය. මේ ශාලාව පිහිටා ඇත්තේ වේදිකාව ඉදිරිපිට එයට මීටර විස්සකට නොවැඩි දුරකිනි. අධිරාජිනිය නාට්‍ය දර්ශන නරඹා ඇත්තේ එහිදීය. මම ඇයගේ සිංහාසනය මත හිඳ ගනිමි. ඒ වූ කලී ෆීනික්ස් පක්ෂියාට ආචාර දක්වා සිටින සියොතුන් සිය ගණනකගේ සිත්තම්වලින් අලංකෘත, ස්වර්ණාලේපිත ආසනයකි. එය සුවපහසුය. එය නිරන්තරයෙන්ම අලුත් තත්ත්වයෙනි. එහි වන් ගැහැනියගේ ආත්මය අතින් ස්පර්ශ කරනු හැකි තරම්ය.

මම මගේ මනෝභාවය සකස් කරගතිමි. මම සිහින දැකීම අරඹමි. වැන්දඹු අධිරාජිනිය බවට පත්වී බලය මෙහෙයවන හැටි මම සිතින් දකිමි. මා උදෙසා රඟපාන්ට මට නළු පිරිසක් අවශ්‍ය නැත. සිතින් මවාගන්නා ඔපෙරාවේ ප්‍රධාන නිළිය මම වන්නෙමි. රැජිනියගේ ඔපෙරා සංග්‍රහයේ පිටු පෙරලන සඳ මා දකින්නේ විචිත්‍රවත් දර්ශන පේළියකි. මා වැඩුණේම එවන් සම්භාව්‍ය නාට්‍ය ඛණ්ඩවලිනි. මගේ අත්තාගෙන් මා ඉගෙන ගත්තේද එකී නාටක කොටස්මය. අධිරාජ්‍ය පැවැත්මේ දිනපොත. ඒ තනුත් ඒ ගායන වෘන්දත් මට ඇසෙන්නට වෙයි. අධිරාජිනිය නාට්‍ය දර්ශන නරඹා ඇත්තේ සිංහාසනය මත හිඳගෙන නොව ඇගේ සයනාගාරයෙහි ඇඳක් මත ඇලවීගෙන ජනේලයක් තුළිනැයි කියති. ඕතොමෝ ඔපෙරාවන් කොතෙකුත් වතාවලදී නරඹා ඇති හෙයින් ඒවායේ හැම සුළු කොටසක්ම කට පාඩමින් කිය හැකිවද තිබිණි.

මම ඒ සයනයෙහිද වැතිරෙමි. අධිරාජිනිය වම්පස ඉදිරි ද්වාර මණ්ඩපයේ හිඳගෙන නැෙඟනහිර සහ බටහිර දිසාවන්හි ඇති ආලින්දයන්හි අසුන්ගෙන සිටින කුමාරවරුන්ද, ආදිපාදවරුන්ද, ඇමතිවරුන් සහ සෙසු රාජ්‍ය නිලධාරීන්ද පිරිවරාගෙන ”ගවුන්සු අධිරාජයා” නමැති ඔපෙරාව නරඹමින් සිටින අයුරු මම සිතින් මවාගනිමි. ඇය කවර නම් මනෝභාවයක සිටින්ට ඇත්තේද? ඇය ඉපිද ඇත්තේ ඉතා භයානක සමයකදීය. හැම දිනෙකම ඇගේ අධිරාජ්‍යයේ ප්‍රදේශයන් විදේශීය හා ස්වජාතික සතුරන් විසින් අත්පත් කර ගන්නා ලද්දේ වන. එකී යථාර්ථයෙන් පළා යන්නට ඇයට තිබුණු එකම මඟ ඔපෙරාව වීද?

1891 වසරේදී ඉදිකරන ලද මෙම මහා වේදිකාවට මුහුණලා සිටින මා තුළ ඇති වන්නේ සිත නලවන හැඟුමකි. චින් රාජ පෙළපත විසින් ඉදි කරන ලද මෙම විශාලතම වේදිකාව මහල් තුනකින් යුතු විභූතිමත් ගොඩනැගිල්ලකි. එය උසින් මීටර විසි එකක් වන අතර පහළම තට්ටුවෙහි පළල මීටර දාහතකි. එය උඩින් සහ යටින් නිමවන ලද උගුල් දොරටුවලින් යුතු කුටි තුනකින් සමන්විතය. දිව්‍යාංගනාවන් බිමට බහින්නේ උඩ ඇති කුටියෙනි. පොළෝ ගැබ තුළ සිට යක්ෂ රාක්ෂයින් උඩට මතු වන්නේ යට ඇති කුටියෙනි. ජල දර්ශන උදෙසා යොදාගත හැකි ගැඹුරු ළිඳක්ද හරි හතරැස් පතස් පහක්ද වේදිකාවට යටින් ඇත්තේය. වේදිකාව හා සම්බන්ධ වන වේශනිරූපණ කුලුනකි. ඒ වනාහි වේදිකාව පිටුපසින් පිහිටා ඇති අභිරමණීය දෙමහල් ගොඩනැඟිල්ලකි.

ඒ වේදිකාව මට නොලැබුණු හැටි... එහි රඟපාන්ට මට අවස්ථාවක් නොලැබුණු හැටි...

මෙම ස්ථානයේ සුන්දරත්වයෙන් ඇය මඳ ඇසිල්ලකට මෝහනයට පත් වන්නීය. ඉනික්බිතිව ඇයට එය ඇති වෙයි. ඇය පසුබසින්නීය. නිතර නිතර එතැනට එන්නේද නැත. හදිසියේම ඇය ඒ ගමන නවතා දමයි.

මාතෘකා