නිරුවත් වුණු ආත්ම ගෞරවය

 ඡායාරූපය:

නිරුවත් වුණු ආත්ම ගෞරවය

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

උපදංශ නැත. මගේ වෛද්‍යවරයාගේ වාර්තාව ලැබී ඇත්තේය. මම දිග හුස්මක් පිට කරමි. මා සිටියේ බියට පත්වය. තාමත් කුතුහලයෙන් යුතුව මම මා ඕගේ වෛද්‍යවරයාට දුරකථනයෙන් කතා කරන්ට තීරණය කරමි. වෛද්‍ය ලී. මා ඕට උපදංශ වැලඳී ඇත්දැයි මම ඔහු විමසමි. සැලෙන තැතිගැන්මකින් පසුව වෛද්‍ය ලී කරුණු පැහැදිලි කරයි. මා ඕගේ සෞඛ්‍යය පිළිබඳ තොරතුරු හෙළි කරන්ට නම් දේශපාලන මණ්ඩලයේ අවසරය ලබාගත යුතුය.

එතකොට මං එයාගෙ භාර්යාව කියන කාරණය අදාළ නැද්ද?

මැඩම්, මට උපදෙස් දීලා තියෙන්නෙ සභාපතිතුමාගෙ සෞඛ්‍ය තත්ත්වය ගැන කිසිම ප්‍රශ්නයකට උත්තර දෙන්ඩ එපා කියලා.

දුරකථන සම්බන්ධතාව මඳකට නැවතිලාය. මම බොත්තම ඔබමි. මා අද ? එයත් එක්ක නිදාගන්නව නම් ඒක ආරක්ෂා සහිතද?

පිළිතුරක් නැත.

ඩොක්ටර් ඔබ බොරු කිව්වොත් කෙළින්ම මම ඔබට විරුද්ධව මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කරනව.

ඒ තර්ජනයට මඳ ඇසිල්ලක් ඉඩ දීල මම යළිත් ඒ ප්‍රශ්නයම පුනරුච්චාරණය කරමි.

නෑ. අන්තිමේදී මිනිහාගේ කට ඇරෙයි.

ආරක්ෂා සහිත නෑ.

ඒ කියන්නෙ එයාට උපදංශ වැලඳිලා කියන එක.

මං එහෙම කියන්නෙ නෑ. මැඩම් හදිසියේම ඔහු කතා කරන්නේ සන්නියක් හැදුණු කලෙක මෙනි. මං කිසිම අවස්ථාවක කියල නෑ, සභාපතිතුමාට උපදංශ රෝගය වැලඳිලා කියල...

සිය වෛද්‍ය මඩිස්සලයද රැගෙන උදේ හතයි තිහට දොස්තර ලී මිලිටරි ජෙට් යානයකින් පියඹා යන්නේය. හැන්-ෂවුහි බටහිර විලෙන් වට වී ඇති කුටියකදී මා ඕ මැතිනිය විසින් දොස්තර ලී පිළිගනු ලබයි. අහසින් එළිය වැටෙන විසිත්ත කාමරයක් තුළ ඇය රෝස මල්වල ඡායාරූප ගනිමින් සිටියි.

නළල පිසදාගන්නා දොස්තර ලී තමාගේ ආම්පන්න එළියට ගන්ට පටන්ගනියි. ඔහු නවතාලන ඇය මෙසේ කියන්නීය. මම ඔබට එන්ඩ කිව්වෙ එක ප්‍රශ්නයකට උත්තරයක් ලබාගන්ඩ. මා ඕ සනීප කරන්ට ඔබ කර ඇත්තෙ කුමක්ද?

සිය ආම්පන්න පෙට්ටියේ ගාංචුව අතගාමින් සිටින ඔහුගේ ඇඟිලි ගැහෙන්ට වෙයි.

ඔබට පේනවනෙ දොස්තර මහත්තය මා ඕ නැත්නම් මට ඇති පැවැත්මක් නැහැ.

දොස්තර ලී සුසුමක් පිට කරයි. මට සමා වෙන්ඩ මැඩම්.... සභාපතිතුමා..... මගේ ප්‍රතිකාර ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ නැහැ.

හිඳගෙන සිටි කකුල් තුනේ පුටුවෙන් නැඟී සිටින ඕ සිනාසෙන්නීය. ඒ එයාගෙ හැටි.

දොස්තර ලී නිහතමානීව සිනාසෙයි. සභාපතිතුමාට හැම වෙලාවෙම වැඩ අධිකයි. ඔහුට බලාගන්ඩ රටක්ම තියෙනවනෙ.

එයා පෝර වළකින් එළියට ඇදගත්තු ගඳගහන පරණ දිරච්ච ගලක්. ඇය හඬගා කියන්නීය. මට තේරෙනවා දොස්තර මහත්තයාට හැඟෙන දේ. එයාගෙ කෑම වේල වෙනස් කරන්ඩ මම දැන් අවුරුදු ගාණක ඉඳල වෑයම් කරනව. එයා කැමති සීනිත් එක්ක සෝයා සාස් දාල හදන තෙල් බේරෙන ඌරු මස්වලට. තෙල වැඩි වන තරමට හොඳයි. නමුත් උපදංශ වෛසරය වෙනස් කාරණයක්. එහෙම නේද? නමුත් ඒ වෛරසය ගෙන යන වාහකයා හැටියට ඔහු දිගටම හිටියොත්? ශරීරයෙ අනිත් කොටස්වලට පැතිරිලා යන්ඩ බැරිද? එයා මේ රෝගයෙන් මැරෙයිද?

නැහැ. දොස්තර ලී තිරකොට කියයි, ඒකෙන් ගැහැනියකට තරම් පිරිමියකුට හානියක් වෙන්නෙ නෑ.

එතකොට ඔබ කියන්නෙ කිසිම බේතක් නොගෙනම ලෙෙඩ් සනීප වෙයි කියලද?

නැවත වරක් දොස්තර නිහඬව සිටින්ට වැයම් කරයි.

මේ වෛරසයෙන් මිදෙන්ට අමාරුද?

නෑ. කොහෙත්ම නෑ. සභාපතිතුමාට කරන්ට තියෙන්නෙ ඉන්ජෙක්ෂන් දෙක තුනක් ලබාගැනීම විතරයි.

ඉතින් ඔබ ඒක එයාට පහදා දුන්නෙ නැද්ද?

මම කිව්වා මැඩම්

ඉතින් මොකද වුණේ?

මිනිහාහේ මුඛය ඇද වෙයි. ඔහු වචනයක්වත් තෙපලන්නේ නැත.

ඔහුගේ දහදිය පිසදාගන්ට ඇය ඔහුට තුවායක් දෙන්නීය නැවත වරක්. ඒත් ඔහුගේ හැටි තමයි. මගේ ස්වාමිපුරුෂයා තමාගේ සහකරුවන්ට සිදු වන විපත්තිය ගැන අඩුවෙන් සැලකිය යුතු නැහැ. වාඩි වෙන්ඩ දොස්තර මහත්තයා. ඔබ මේ ගැන සද්දයක් කරන්ඩ අවශ්‍ය නැහැ. මං වැරදි නම් නිවැරදි කරන්ඩ. කරුණාකරල විශ්වාසයට ගන්ඩ මම මා ඕගෙ ඇතුළත පිටත දෙකම දන්න බව. ඉන්ජෙක්ෂන් වේදනාව විඳගන්ඩම බැරිය කියල එයා කිව්වද? මං ඔට්ටුවක් තියන්නම් එයා එහෙම කිව්වට. එයාගෙ දීර්ඝායුෂ පුරුදු දිගටම කරගෙන යන්ඩ එයාට ඕනැ වෙලා තියෙනව. මේ මිනිහා මොන තරම් බයංකාර මනුෂ්‍ය ප්‍රාණියෙක්ද? ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද?

නෑ. නෑ. නෑ. නෑ. මිනිහා සෝපාවෙන් පිටතට පනියි. මම කවදාකවත් එහෙම හිතුවෙ නෑ.... මට එහෙම හිතන්නවත් බෑ....

ඒ අවස්ථාවේ විකාරරූපී බව ගැන සිතා මෙන් ඇය සිනාසෙන්ට වන්නීය.

අදක්ෂ නළුවකු තමන්ට කියන්ට ඇති පද පේළි කියවන්නාක් මෙන් දොස්තර ලී කතා කරගෙන යයි. සභාපති මා ඕ ගැන මම කවදාවත් ඒ ආකාරයෙන් හිතන්නෙ නැහැ. මම සියයට සියයක්ම විප්ලවවාදියෙක්. මම මගේ මුළු ජීවිතයම කැප කරල තියෙන්නෙ අපේ ශ්‍රේෂ්ඨ නායකයාට. ශ්‍රේෂ්ඨ ගුරුවරයාට. ශ්‍රේෂ්ඨ සේනාධිපතියාට. අපගේ ශ්‍රේෂ්ඨ පාලකයාට. මෙහෙයවන්නාට. අනේ අසරණයා සිය කැමරාව කොපුව තුළට දමන අතරවාරයේ ඇය ඔහු මඩවන්නීය. එතකොට ඔබ හිතන්නෙ මේ ගෑනු ළමයින්ට වෛරසය බෝ වුණාට කමක් නැහැ කියලද? ඇයි නැත්තෙ? ඒක ඒ අයට ලැබෙන දඬුවමක්. එහෙම නෙමෙයිද? උපදංශය හැදුණු සමහර ගැහැනුන්ට කවදාවත්ම දරුවන් ලැබෙන්න නැහැ කියල මං අහල තියෙනව. මං වැරදිද? හොඳමයි එහෙම කියමුකො. මේ තරුණ ගැහැනු ළමයින් ගැන ඔබට අනුකම්පාවක් නැද්ද? එහෙම නොවේ නම් මම පුදුම වෙනවා. ඔබ බොහොම හැදිච්ච දොස්තර කෙනෙක් කියලයි මට දැනගන්ඩ ලැබිල තියෙන්නෙ. ඔබට සභාපතිතුමාගෙ පුරුද්ද ගැන විශ්වාසයක් තියෙනවද? ඔබ එයාව ධෛර්යවත් කරල තියෙනවද? නැත්නම් අධෛර්යය කළා ද? නෑ? ඇයි? ඇයි නැත්තෙ? ඔබ දොස්තර කෙනෙක්. ඔබෙන් බලාපොරොත්තු වන්නෙ සුව කරන්ඩ. වෛරසය පැතිරීම වළක්වන්ඩ... මොනවා? ඔබ දන්නෙ නෑ? ඔබට පේනවනෙ දැන් ඔබ මා ඉන්න තත්ත්වය තේරුම් ගත්තනෙ. ඔබට තියෙන්නෙත් මට තියෙන අත්දැකීමමයි. ඒකට තමයි ශිෂ්ට පුද්ගලයෙක් තමාගෙ ආත්ම ගෞරවයෙන් නිරුවත්වෙලා ඉන්නවා කියල කියන්නෙ.

මාතෘකා