පිස්සු ගෑනියකුගෙ ඇටසැකිල්ලක්...

 ඡායාරූපය:

පිස්සු ගෑනියකුගෙ ඇටසැකිල්ලක්...

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ඔබේ විප්ලවයේ බිජු රකින්ට උදවු කෙළේ මාය. තමා සමඟම අඳෝනා නඟනු ඇයට ඇසෙයි. රාත්‍රියේදී අවදි වන ඕ අන්ධකාරයෙහිම හිඳගෙන සිටින්නීය. සීතල දහදිය ඇගේ ගෙල වටා ගලන්ට වෙයි. ඇගේ සිරුරේ පිටුපස තෙත් වෙලාය. ඇගේ හැඬුම බිම දිගේ ගලා ගොස් බිත්තිය මත ඇලෙයි. මා ඕ තවදුරටත් තමා ඉන්නා තැන් හෝ තමාගේ යන එන ගමන් ගැන හෝ කිසිවක් ඇයට දන්වන්නේ නැත. ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෝ ඇය මඟහරිති. හරියට තමන් ප්‍රාණ ඇපයට ගන්නා කලෙක මෙන් ඔවුහු නොඉවසිලිමත් වෙති.

එක් රැයෙක ඇය පාර දිගේම ඇවිත් හදිසියෙන්ම මා ඕගේ නිදන කාමරයට කඩාවදියි. ඔහුට සමීප වන ඇය දණින් හිටගෙන ඉකිගසන්ට වන්නීය. මගේ ඔලුවට කුණාටුවක් වැදිල වාගෙ. මගේ කාමරයේ තියෙන කැඩපත තුළින් මට පෙනෙන්නෙ පිස්සු ගෑනියෙකුගෙ ඇටසැකිල්ලක්... ඇය අයැද සිටින්නීය. අපේ දරුවන් වෙනුවෙන්වත් මේක ගෙදරක් බවට පත් කරන්ඩ.

මා ඕ කියවමින් සිටි පොත පසෙකින් තබයි. අපි දැන් ඉන්න ස්ථානයේ තියෙන වැරැද්ද මොකක්ද? අන්යින් තාක්ෂණය පිළිබඳ හමුදා පාසලේ සතුටින් ඉගෙන ගන්නව. අන්කුවින් මොස්කව් විශ්වවිද්‍යාලයෙ හොඳින් ඉගෙන ගන්නව. මින්, නාහ් දෙන්නා පක්ෂයේ බෝඩින් ඉස්කෝලේ හොඳින් කල් ගතකරනව. ඉතින් මීටත් වඩා මොනවද ඔයාට අවශ්‍ය වෙන්නෙ?

ඇය දිගටම ඉකිගසයි.

ඔහු ඇයට ළං වී බ්ලැන්කේට්ටුවෙන් ඇගේ සිරුර ආවරණය කරයි. උයන ස්ථානය බෙදා ගන්ඩ කියල මම අපේ කෝකියන්ට කියන්ඩද?

ඒ රාත්‍රියේදී ඇය නිශ්චලය. තමන් මේ නිදන්නේ තමාගේ අන්තිම නින්ද යයි ඇය සිහිනෙන් දකින්නීය. සිය හදගැස්ම නවතිනුද ඔහුගේ පපුවට හේත්තු වී තිබෙන ඇගේ කොපුල්තල සීතල වනුද ඇයට එම සිහිනයේදීම පෙනෙයි.

සමාව අයැද මම රාත්‍රී කෑම මේසයෙන් ඉවත්ව යමි. මා ඕ ඒ ගැන කිසිදු අවධානයක් දක්වන්නේ නැත. මම ඔහුගේ නිදන කාමරයට ඇතුළුව විදුලි පහන නිවා දමා පාවහන් ගලවා විසි කරමි. මම ඔහුගේ ඇඳෙහි දිගා වෙමි. එවිටම ඔහු අහර බුදින කෝටු ඉවත තබනු ඇසෙයි. ඉන් අනතුරුව සිගරැට්ටුවක් දල්වාගන්ට ගිනිකූරක් ගසන හඬකි. ඔහු නවීන ලයිටර්වලට කැමති නැත. ඔහු කැමති ලොකු ලී ගිනිකූරුවලටය. ගිනිකූර තම ඇඟිල්ල ළඟටම දැල්වෙනු දකින්ට ඔහු කැමතිය. ගිනිකූර කෙළවර දක්වාම පිලිස්සෙනු දැකීමෙන් ඔහු සතුටක් ලබයි. ඔහුගේ මෙවන් සුළු හැසිරීම් රටාවන් සිහි කරන කල, මා තුළ ඇති වන්නේ දුකකි.

දුම පැතිර යයි. අද රාත්‍රියේ සුදුලූනු ගඳ තදින් දැනෙන්ට වෙයි. ඔහු සිය මේසය වෙත ගොස් පුටුව අදිනු මට ඇසෙයි. ඔහු කිසියම් ලේඛනයක පිටුවක් පෙරළනුද මට ඇසෙයි. ඔහු ඒ ලේඛනයේ තමාගේ අදහස් සටහන් කරන ආකාරය මම සිතින් දකිමි. රවුම් සහ කතිර අප එක්ව කළ දේ. එවිට ඔහු මා අතට පෑන දී ඒ කාරිය මට පවරා සිගරැට්ටුවේ රසවිඳියි. අපගේ සම්බන්ධය වැරදී ගියේ කොතැනදැයි සොයා බලනු උදෙසා අප අතර මේ දක්වා සාකච්චාවක් සිදුව ඇත්තේ නෑ. මේ උභතෝකෝටිකය පෝෂණය කර ඇත්තේ ඉතා සුළු නොවැදගත් කරුණුවලිනි.

ඔහු රතු බුරුසුවකින් ඔහුගේ නම අත්සන් කරයි. අලුත් අධිරාජයා. අතීතය තවමත් ඉතා පැහැදිලිය. මේ දාමරිකයා සමඟ මා පෙමින් බැඳුණු මොහොත මට අමතක කරනු බැරිය. ඒ රූ සටහන් මගේ මතකය නමැති වෙරළ තීරයේ සුරතල් වන අයුරු මම දකිමි.

සති ගණන් මාස ගණන් මගේ කාමරයේ තනි වන මම ස්වකීය හිරු එළිය තම හිස මතම දරාගෙන ගමන් කළ ඒ තරුණිය ගැන දවල් සිහින දකිමින් පසු වෙමි. ඒ තරුණිය සතුව පැවති ජීවය දැන් මා තුළ දක්නට නොවෙයි. මගේ ජනේලයෙන් එපිට භූමි දර්ශනය දෙස බැලුව මැනවි. අභිරමණීය ලෙස බැස යන හිරු... සිය කුටියේ සිට ඔහු සුවිශාල සටන් මෙහෙයවද්දී මා ඔහුගේ ඔඩොක්කුවෙහි හිඳගෙන සිටි සඳ දැනුණු හැඟීම් දැන් සිහියට නැඟෙයි. ඔහුගේ යසෝකීර්තිය වෙනුවෙන් සටන් පාඨ කියමින් සොල්දාදුවන් ඉදිරියට ඇදී යන අතර ඔහුගේ දෑත තිබුණේ මගේ කමිසය අස්සේය. මගේ ළය මඬල මතය.

මැඩම් ඔබේ කටේ තියෙන්නෙ රත්රන් ගාපු කොක්කක් යයි සාස්තරකාරයකු අනුකරණය කරමින් කිසියම් කටහඬක් මට පවසයි.

ගන මීදුම හාරාගෙන දුම්රිය ඇදී යෙයි. උතුරුදිග හිම තුරුද මුඵ මහත් පරිසරයේම ඇති සුධා ධවල ස්වරූපයද ඇගේ සිත මෝහනයට පත් කරයි. ඇය යන්නේ දොස්තරවරයකු හමු වන්නටය. රුසියානු දොස්තර කෙනෙක්. වැඩෙමින් ගැහෙමින් පවතින තමාගේ වේදනාව කිමැයි ඇය විසින් පරීක්ෂා කර ගෙන ඇත්තේය. ඇගේ ගැබ්ගෙලෙහි විසප්පුවකි. තමාට රුසියාවට එන්ට ඕනෑ කෙළේ ඇයිදැයි ඇය දන්නේ නැත. කුමකින් ගැලවෙන්ටද? ඇගේ විසප්පුවද? නැතිනම් යථාර්ථයද?

මාතෘකා