සුදු ඇටකටු ඇති යක්ෂණියක්

 ඡායාරූපය:

සුදු ඇටකටු ඇති යක්ෂණියක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මම මිනී මරන්ට ඉගෙන ගනිමින් සිටිමි. නොසැලී සිටින්ට මම වැයම් කරමි. මැද තැනක් ඇත්තේ නැත. මම මටම කියාගනිමි. එක්කෝ මරන්ඩ. නැතිනම් මැරෙන්ඩ. 1967 පෙබරවාරි 10 වැනිදා කොං‍ග්‍රසයේ රැස්වීමක් පැවැත්වෙයි. විරුද්ධ පාර්ශ්වයන්ගේ ලණුව තද වී ඇත්තේය. අවධානය යොමුව තිබෙන නිමිත්ත නම් හමුදාව තුළ මගේ නායකත්වය පිළිගන්නවාද නැද්ද යන කාරණයයි. කුවායි ඩා-ෆුට සහ ඔහුගේ රතු මුරකා භටයන්ට හමුදාව තුළ ශාඛා සමිති ගොඩනැඟීමටත් මේ ශිෂ්‍යයන්ට මහජන රැලි අමතමින් හමුදා නායකයන් විවේචනය කරන්ටත් ඉඩ දෙනවාද කියන කාරණයයි. හැම රැස්වීමක්ම අවසන් වන්නේ දෙපාර්ශ්වයේම පිරිස මේසවලට තඩිබෑමෙනි. පසු අවස්ථාවකදී “පැරණි කොල්ලන්” විසින් අත්සන් කරන ලද පෙත්සමක් මාර්ෂල් ටෑන් ෂෙන්-ලින් විසින් මා ඕ වෙත බාර දෙනු ලබයි.

මේ ලියුම මටද කියවන්ට අවස්ථාවක් ලැබෙතැයි ටෑන් කිසි විටෙකත් අනුමාන නොකළ බව මට සහතිකය. නමුත් මම එය කියවමි. මා ඕ සිය කැමැත්තෙන්ම ඒ ලියුම මට පෙන්වයි. ලියුමෙහි මා හඳුන්වා ඇත්තේ ”සුදු ඇටකටු ඇති යක්ෂණියක” හැටියටය. ලේ උරා බොන්නියක හැටියටය. කොමියුනිස්ට් පක්ෂයේ අහස මත එල්බගෙන සිටින අඳුරු වලාකුළක් ලෙසටය. බිල්ලක් වශයෙන් ඉල්ලා සිටිනු ලබන්නේ මාය.

ඔබට තෝරාගන්ඩ දෙයක් ඉතුරු වෙලා ඇත්තෙ නෑ. ගෙතුළ ඇති නාන තටාකයෙහි ගිලී සෙමෙන් උඩට මතු වෙමින් මා ඕ පවසයි. ඔහු දර්ශනය වන්නේ දිය බල්ලකු සේය. සීනියි සෝයා සෝසුයි දමල ඕනැවට වඩා ඌරුමස් කෑම. මම සිතන්ට වෙමි.

ඔබ මොකද කරන්ඩ යන්නෙ? දියෙහි පා වෙමින් ඔහු අසයි. මාර්ෂල් ටෑන් කියනව මිනිහා කවදාවත්ම අඬල නෑ කියල. එයා දැන් පක්ෂය ගැන අඬනවා.

හිඳගන්ට තැනක් ඇත්දැයි මම වටපිට බලමි. පුටු ඇත්තේ නැත. මෙය අලුත්වැඩියා කළායින් පසුව මම මේ නාන තටාකයට බැස නැත්තෙමි. ටෑන් අදහස් කරන්නෙ මොකක්ද කියල මං දන්නෙ නැහැ. මම කියමි.

මා ඕ වතුර යටට කිමිදී යළිත් මතු වෙයි. අපි එයාගෙ ලියුම ආයෙත් වතාවක් නොකියවන්නෙ ඇයි?

එයා පක්ෂ සාමාජිකත්වයෙන් අයින් වෙන්ඩ යනව. තමාට ජීවිතයේදී පසුතැවෙන්ට සිදු වන දේවල් තුනක් එයා කරල තියෙනව.

එක?

එයා අද ජීවත්ව සිටීම...

එයා ඒ ගැන ලජ්ජා වෙනවා.

දෙක, එයා පසුතැවෙනවා ඔබතුමා අනුගමනය කරන්ට සිදු වීම ගැනත් විප්ලවවාදියෙක් වීම ගැනත්. එතකොට තුන...

එයා පසුතැවෙනවා, කොමියුනිස්ට් පක්ෂයට බැඳීම ගැන.

හරියටම හරි සභාපතිතුමනි.

මා ඕ රෝල් වී ගොස් බඩ උඩට දමාගෙන පිහිනන්ට වෙයි. හරියට පෙනෙන්නේ ඔහු ලොකු බෝලයක් අල්ලාගෙන සිටින්නාක් මෙනි. ඔහු දෑස් පියාගෙන පා වෙන්ට පටන්ගනියි. මඳ වේලාවකින් පසුව ඔහු තටාකයේ නෙත්තිය දෙසට පීනාගෙන එයි.

ඔහු උඩට නඟිනු මම බලා සිටිමි. රිදී දහරා මෙන් ඔහුගේ සිරුරෙන් වතුර වැක්කෙරෙයි. ඔහු හොඳටම මහතය. විශාල වශයෙන් බර වැඩි වී ඇත්තේය. පපුවේත් බාහු යුවළේත් මස්පිඩු පිම්බී ඇත. මහත් වෙන ඔහුගේ බඩගෙඩිය යටින් කකුල් දෙක පෙනෙන්නේ ඉතා හීනියටය. තුවායක් අතට ගන්නා ඔහු අළු පැහැති කොට කලිසමකට බසියි.

රැස්වීමක් යොදාගන්ඩ අගමැති ෂවුට කතා කරන්ඩ. දහඅටවැනිදා, මම පරණ කොල්ලන්ට කතා කරන්නම්. ඒ අතර ඔබත් මට එකතු වෙන්ඩ ඕනෑ. ලින් බියා ඕටත් කියන්ඩ එයාගෙ බිරිඳත් එක්ක එන්ඩ කියල.

මගේ ආකාස තලය දීප්තිමත් වෙයි. මා ඕ තෙමේම තුවක්කුව අතට ගන්නවා ඇත.

මම මේ ආරංචිය ගැන උත්සවයක් පවත්වන්ට කෑන් ෂෙන් සහ චුන් කුවියා ඕට එන්ට කියමි.

ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා වූ රැස්වීම ආරම්භ වන්නේ 1967 පෙබරවාරි 18 වැනිදාය. සත්කාරකයා අගමැති ෂවුය. කෑන් ෂෙන් චුන්-කුවියා ඕ සහ ඔහුගේ ශ්‍රාවකයා වන යිආ ඕ වෙන්-යුවාන්ද කැටුව ලින්ගේ බිරිඳ යේත් මමත් කලින් පැමිණෙමු. අප දිග මේසයක වම් පැත්තේ හිඳගනිමු. දෙකෙළවරේ මා ඕ සහ අගමැති ෂවුය. අප සියලුදෙනාම සැරසී සිටින්නේ මහජන විමුක්ති හමුදා නිල ඇඳුමෙනි.

මම කලබලයට පත්වද මඳ තැතිගැන්මකින් යුතුවද සිටිමි. අවශ්‍ය තරමට දැඩි නොවීම ගැන මම තැවුල් ගනිමි. ඒ අතින් යේ වඩාත් හොඳය. ඇය වනාහි. නියම මිලිටරි බිරිඳකි. තම ස්වාමිපුරුෂයාට ඉහළින් මේසයට තඩි බාන්ඩ ඇය සමත්ය. මා ඕට අවශ්‍යව ඇත්තේ ලින් තමාගේ අනුප්‍රාප්තිකයා බවට පත් කරන්ට හෙයින් යේ කටයුතු කරන්නී, දෙවැනි ආර්යාවක සේය. ඒ වුණත් මා සම්බන්ධයෙන් ඇය ප්‍රවේසම් සහිතය. ඇය වැන් ගුවාන් - මෙයිගේ පාඩම ඉගෙන ඇත්තීය. හැම අවස්ථාවකදීම ඇය මට ප්‍රශංසා කරන්නීය. ජනතා විමුක්ති හමුදා ආයතනයේ කථාවක් කරන්නැයි ඇය මට ආරාධනා කරයි. ඇය මා සම්බන්ධයෙන් තමාගේ අගය කිරීම නොමඳව පුද කර ඇත.

යේ මට සිහි ගන්වන්නේ. මගේ ගමෙහි සිටි වින්නඹු කාන්තාවකි. තමා මලානික සමක් ඇති නගරයේ ගැහැනියක බව අඟවනු සඳහා ඇය සිය මුළු සිරුර පුරාම පිටි තවරාගන්ට පුරුදුව සිටියාය. යේ, තමාගේ පසුබිම ගැන මට කිසිවක් නොපවසයි. මා ඒ ගැන විමසන විට ඇය ඒ විෂය මඟහරින්නීය. ස්වකීය ආරම්භය ගැන ඇය ආඩම්බර වන්නේ නැත. ඇයගේ මුල පහළ බැව් මට හොඳටම සහතිකය. ඇය විදේශ බසක් කතා නොකිරීම ගැනත් පොතපත කියවන්ට උනන්දුවක් නොදැක්වීම ගැනත් මම සතුටට පත්ව සිටිමි. ජනතාව ඉදිරිපිට කතා කරද්දී ඇය හැසිරෙන්නේ මෝඩියක සේය. මම ඉතාම ආත්මාර්ථකාමී ලෙස ඒ ගැන සතුටට පත්ව සිටිමි. ඇය දුර්වල කථිකාවකි. වේදිකාව මතට ගොඩ වන හැම දිනකම රැස්වීමෙන් පසුව තමාට අතීසාරය වැලඳෙන බැව් වරක් ඇය මා සමඟ පැවසුවාය.

මා මගේ ක්‍රීඩාව නිවැරදිව කළොත් යේ ඉතාම හොඳ සහායක නිළියක කරගත හැකි බැව් මට සිතෙයි. ඇගේ මෝඩ තකතීරුකම මගේ බුද්ධි මහිමය හුවා තබන ආධාරකයකි. ඒ කාරණය නිසාම ඇයට උදවු කිරීමට මා සූදානම්ය. එසේම ඇය ගැන දැන හැඳිනගැනීම අනාගතයේදී අවශ්‍යතාවක් පැන නැගුණොත් ඇය විනාශ කිරීමටද පහසුවක් වනු ඇත්තේය. අනිත් අතට මා ඕ අභාවයට පත් වුණාට පසුව ලින්ලා මට මොන ආකාරයකට සලකනු ඇත්දැයි මට කියන්ට බැරිය. මගෙන් නිදහස් වන්නට කුමන හෝ නිදහසට කාරණයක් සොයාගැනීම ඔවුන්ට අපහසු නොවන්නේය. මම කිසිවකු කෙරෙහි විශ්වාසය නොතබමි.

මේ මොහොතේදී වෑන් ගුවාන්-මෙයි සිටි තැන පුරවන්ට සුදුසුම ගැහැනිය යේය. යේ ඕපාදුපවල ගැලී සිටින්නීය. ඒවා එකතු කරගැනීම සඳහා ඇය දොරෙන් දොරට යන්නීය. කුණු කන්දල් හාරන ඇය තමා එකතු කරගත් දේ මිශ්‍ර කර බලන්නේ හරියට නිවසට පිටිපස සිටින මීයකු සේය.

මාතෘකා