විප්ලවය ඉහළට ගෙනියන්න

 ඡායාරූපය:

විප්ලවය ඉහළට ගෙනියන්න

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මේ වන විට මුළු රටේම පාසල් වසා දමා ඇත්තේය. තම වීරයා වන කුවායි ඩා-ෆු අනුකරණය කරන ශිෂ්‍යයෝ ලොකු අකුරු ලියූ පෝස්ටර උඩට ඔසොවාගෙන වීදිවල රංචු ගැසෙති. "විප්ලවය ඉහළට ගෙනියන්න" යනු ඔවුන්ගේ වඩාත්ම උණුසුම් සටන් පාඨයයි. එකිනෙකා උඩින් යනු සඳහා මේ ශිෂ්‍යයෝ ඉහළ පන්තියට අයත් යයි තමන් සලකන මගීන්ට පහර දෙන්ට පටන්ගනිති. මේ මගී ජනතාව ඇඳගෙන සිටින සේද රෙදි ගලවති. පහටිය පටු කලිසම් ඉරා දමති. උල් සපත්තු කපා දමති. ”ප්‍රතිගාමී යන්ත්‍රණයක්” වශයෙන් හඳුන්වා පොලිසියට ප්‍රහාර එල්ල කරති. පොලිස් සේවාව අකර්මණ්‍යව ඇත්තේය. ශිෂ්‍යයෝත් කම්කරුවෝත් කණ්ඩායම් හදාගෙන ප්‍රාදේශීය පාලනය සියතට ගැනීම සඳහා එකිනෙක කණ්ඩායම් අතර ඇන කොටාගනිති. රටේ ආර්ථිකය නැවතුමකට පැමිණ ඇත්තේය.

බීජින්හි පැවැත්වෙන දේශපාලන මණ්ඩල රැස්වීමේදී උපසභාපති ලියුගේ කටහඬ ගොරෝසුය. මුළු කැබිනට් මණ්ඩලයම ඉදිරිපිට තබාගෙන ඔහු යළිත් වතාවක් මා ඕට දුරකථන ඇමතුමක් ගනියි. හේ අවුල්ජාලය වහාම නවත්වන්ඩ ඕනෑ සභාපතිතුමනි.

මා ඕගෙන් ලැබෙන්නේ ඇල්මැරුණු සීතල ප්‍රතිචාරයකි. බීජින්වලට එන්ඩ මගෙ සූදානමක් නෑ. ඉතින් ඔබ, ඔබේ සැලසුම් අනුව කටයුතු කරගෙන යන්නෙ නැත්තෙ මොකද?

මට ඔබේ අවසරය දෙනවද?

රට කරගෙන ගියෙ ඔබනෙ. එහෙම නෙමෙයිද?

ඉනික්බිතිව ලියු ආපසු වැඩට බසියි. වැඩ කණ්ඩායම් සිය ගණනක් යොදවනු ලැබෙති. මාස දෙකක් ඇතුළත ළැව්ගිනි සියල්ල නිවා දමන්ට හේ සමත් වෙයි.

1966 ජූලි 8. මා ඕ මට ලියයි. ලියුම එවා ඇත්තේ හුනාන් පළාතේ පිහිටි ඔහුගේ උපන් නගරය වන ශා ඕ ශාන් සිටය. එහිලා ඔහු ෂොන්ග් කුයි නමැති පුරාණ චරිතයක් පිළිබඳ කථාන්තරයක්ද ලියා දක්වයි. මේ තැනැත්තා නපුරු - භූතයන් ඇල්ලීම සම්බන්ධයෙන් නම් දරාපු වීරයෙකි.

හැට ගණන්වලට පස්සෙ මම තමයි කොමියුනිස්ට් ෂොන්ග් කුයි. ඔහු තමා ජාත්‍යන්තර තලයේ කැරලිකාරයකු බැව් කියාගෙන යයි. කැරලිකාරයන් හා දාමරිකයන් කෙරෙහි මා තුළ ආදරයක් ඇති බැව් ඔහු දන්නේය. යම් යම් දේට සීමාවන් තියෙනව. මුදුනටම නැ‍ඟීමෙන් ඔබ අදහස් කරන්නෙ මොකක්ද? එතන ඉඳල පහළට බැසගෙන එන්ඩද? මගේ ඇට කටු ටික දූවිලි බවට පත් වන තුරු සටන් කරන්ට මම සූදානමිනුයි ඉන්නෙ. මුළු ලෝකෙම කොමියුනිස්ට් පක්ෂ සීයකට වැඩිය තියෙනව. ඒවායින් වැඩි හරියක් ධනවාදය වැලඳ ගැනීම සඳහා මාක්ස්වාදයත් ලෙනින්වාදයත් අතහැර දමා තියෙනව. අපි විතරයි ඉතුරු වෙලා තියෙන පක්ෂය. ඒ යථාර්ථයේ තියෙන කෲරත්වයට විරුද්ධව අපි සටන් කරන්ඩ ඕනෑ. අපේ සතුරන් කරන්ට යන දේවල් අපි එළිදරවු කරගන්ඩ ඕනෑ. තවත් දිගටම පවතින්ඩ නම් අපි කල්තියා ක්‍රියා කරන්ඩ ඕනෑ.

මගේ ස්වාමිපුරුෂයාගේ දර්ශන පථය මම දකිමි. අනතුරෙහි ඇත්තේ කුමක්ද යනුත් සිය සතුරා විනාශ කරන්ට ඔහු තුළ ඇති අධිෂ්ඨානයත් මම තේරුම් ගනිමි. මා ඉන්නේ කොතැනදැයි මම දනිමි. යළිත් වරක් මා සටන් සගයකු බවට පත්ව ඇත්තේය. දිවා කාලයෙහිදී මම මුළු මහත් බීජින් නගරය පුරාම සිටිමි. මවිසින් ව්‍යාපෘති සිය ගණනක් නිර්මාණය කර ඇත. ඒ සියල්ල එක විටම කෙරීගෙන යන්නේද වෙයි. ඉඳහිට මේ සියල්ල මගේ සිරුරට ඔරොත්තු නොදෙන ගතියක්ද මට දැනෙයි. මට උණ ගැනෙන්ට එනවා වගේය. එවැනි අවස්ථාවල දී මම නාහ්ට පණිවිඩ යවමි. ඇය පැමිණ මගේ ඇඳ ළඟ සිටින්නීය.

නාහ් වෑයම් කරන්නේ මා නවතාලන්නටය. මා මගේ සෞඛ්‍යය අනතුරේ හෙළා කටයුතු කරන්නේ ඇයිදැයි ඇයට වැටහෙන්නේ නැත. ඇය මූලික කාරණය නොදකියි. මට කළ හැක්කේ එය යාන්තමට ප්‍රකාශ කිරීම පමණි. මා වැනි ගැහැනියක ජීවිතයේ සාඵල්‍යය ලබන්නේ ඒ ජීවිතය පූර්ණ වශයෙන් ජීවත් වීමෙන් පමණි. මම මගේ ඉරණම රඳවා තබන්නේ ඇයගේ පියා මතය. ඔහුගේ සිහින ඔහුගේ ආදරය සහ ඔහුගේ ජීවිතය. යළිත් වරක් නම් මා අතහැර දමනු ලැබීමේ ඉරණමට ගොදුරු වන්ට මා සූදානම් නැත. ඒ හැඟීම මට දරාගන්ටවත් බැරිය. ඒ කාරණය පිටිපස කිසිම තර්කයක් ඇත්තේ නැත. මා ඕ යනු හුදෙක්ම මගේ සාපයයි. මගේ දියණියට ඒ වැනි ප්‍රේමයක් නම් උරුම කර දෙන්ට සිතනු පවා අපහසු දෙයකි. එය ඉතාම කටුකය. මා මෙහෙයවනු ලැබ ඇත්තේ මාරාන්තික ආවේගයක් විසිනි. තුවාල වුණු සැමන් මත්ස්‍යයකු මෙන් මම මගේ උත්පත්තියේ ගංගාව සොයා රළ පහර උඩට පිහිනමි. ඒ පිහිනීම එකද තත්පරයක්වත් මා නැවැත්වුවහොත් මා ඕ මගෙන් ඉවතට ඇදී යනු ඇත්තේය. එවිට මගේ ජීවිතය යළිත් වරක් දෙබෑ වනු වළක්වනු නොහැක්කේය. මම ඒ ගැන බියෙන් සිටිමි.

චුන් - කුවියා ඕ සහ කෑන් ෂෙන්ගේ ආධාර ඇතිව මම පුවත්පත් දැනුවත් කරමි. ඒවා අවදියෙන් තබමි. පුවත්පත් ප්‍රධානීන්ට මා කියා සිටින්නේ ඕනෑම මොහොතකදී තත්ත්වය වෙනස් වන්ට ඉඩ ඇති බවය. සභාපති මා ඕ සිය අවසාන තීරණය ගැන මෙනෙහි කරමින් සිටියි. ජූලි 17 වැනිදා මම මා ඕගේ දුරකථනයට කතා කොට ඔහුට පණිවිඩයක් තබමි. බීජින්හි තත්ත්වය මෝරා ඇත්තේ. පසුදින මා ඕ දුම්රියෙන් ආපසු බීජින් වෙත පැමිණෙයි. හැම දෙනාම මවිතයට පත් වෙති.

එදිනම රාත්‍රියේ උපසභාපති ලියු විගස මා ඕ හමුවන්ට යන්නේය. එහෙත් මා ඕගේ ශරීර - ආරක්ෂකයා ලියුගේ ගමන නවත්වයි. මා ඕ ඒ සන්ධ්‍යාවේ විවේක ගනිමින් සිටියි. එහෙත් වාහන මාර්ගයෙහි කාර් රථ නවතා තිබෙනු ලියු දකියි. පැහැදිලිවම එහි අමුත්තෝ සිටිති.

මාතෘකා