නහර වෙහෙසවන සාකච්ඡාවක්

 ඡායාරූපය:

නහර වෙහෙසවන සාකච්ඡාවක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ඇයට ලජ්ජාවක් දැනෙයි. එතෙකුදු හැඟීමෙන් ප්‍රමුදිතව සිටියි. එයාගෙ ශරීරය ශක්තිමත් නෑ. හරිම සියුමැලියි. ඒ වුණාට එයාට යෞවන ප්‍රතිමූර්තියක් හැටියට ආකර්ෂණයක් තියෙනව. එයා කතා කරන කොට එයාගෙ ඇස් බබළනව. මුහුණ ලජ්ජාවෙන් රතු වෙනව. එයාට අත්දැකීම් නැති වුණාට එයාගෙ උන්නතිකාමයත් අධිෂ්ඨානයත් බලවත්. ජයග්‍රහණය සිකුරුයි.

මා ඕ සිය කෑම භාජනය පැත්තකින් තබා පුටුවෙහි ඇල වෙයි. මේ තරුණයා මට සම්මුඛ වුණු ආකාරය දැනගැනීමට ඔහුට අවශ්‍යව ඇත.

ඒ තමයි 5.16 දැනුම්දීමට එයාගෙ ප්‍රතික්‍රියාව. මම ඔහුට පහදා දෙමි. ඒ තරුණයා විශාල පෝස්ටරයක් ඇඳලා වැඩ කණ්ඩායමේ නායකයට - යෙලින් කියන මිනිහෙකුට - පහර ගැහුවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට මේ තරුණයා පාසලෙන් අස් කරල දවස් දහඅටක් නිවාස අඩස්සියෙ තියල තියෙනව.

නමුත් මේ තරුණයා අපරාධයක් කරල නෑ. පිරිසක් අමතා කතා කරන්නාක් මෙන් මා ඕ හඬනඟා පවසයි.

කුආයි ඩා-ෆු වරද පිළිගත්තෙ නෑ මා ඕ මැතිනිය කියා සිටියි. ඒ වෙනුවට එයා ඒකපුද්ගල උපවාසයක් ආරම්භ කළා.

කොච්චර අපූරු කාරණයක්ද?

මටත් එහෙමයි කල්පනා වුණේ.

ඒ තරුණයා අනිත් අයට ආස්වාදයක්.

මොකක්ද මම කරන්ඩ ඕනෑ?

ගිහිල්ල එයාව හම්බ වෙන්ඩ.

ඒක තමයි මං කෙළෙත්. මම මගෙ ඒජන්තවරයා - ඩොන් සහෝදරයා - යැවුවා. ඔබතුමාට එයාව මතක නැතුව ඇති. මිනිහා කෑන් ෂෙන්ට වැඩ කළා. විශ්වාසවන්තයි. එයා හරිම සාමාන්‍යයි. නීරසයි. ඒ නිසා කාගේවත් සැකයට භාජන නොවන පරිදි පිරිසක් මැදට යවන්න පුළුවනි.

ඔව්, ඉතින්?

මං එයාට කිව්වා මගෙත් ඔබෙත් සහයෝගය තියෙනව කියල. මම කිව්වා ඒ හරියෙ ගැවසිලා මේ තරුණයා ජාතියේ තරුණයින්ට ආදර්ශයක් හැටියට ඉදිරිපත් කරන්ට අවස්ථාවක් සොයාගන්ඩ කියල.

මේ මොහොතේදීය මා ඕ මදෙසට නැවී ඔහුගේ අත මගේ උරහිස මත තැබුවේ. සෙමෙන් මා ස්පර්ශ කරමින් ඔහු කොඳුරා කියන්ට වන්නේය. මගේ පැත්තකින් ඔබ ඉන්න එකල මට ආශිර්වාදයක්. ඔබ වෙහෙසට පත් වෙලාද? මරණයට පත් වෙනකන් ඔබෙන් වැඩ ගන්ඩ මම ලෑස්ති නෑ. නිවාඩුවක් ගත්තොත් මොකද? මම හෙට පිටත් වෙනවා. මාත් එක්ක එන්ඩ කැමතිද?

මං නම් හොඳටම කැමතියි. නමුත් කවුරු හරි බීජින්වල රැඳෙන්ඩ ඕනැ නේද? තත්ත්වය පාලනය කරගන්ඩ ඔබට මා අවශ්‍ය වේවි.

මා ඕ උපසභාපති ලියුගේ ඇමතුම් මඟහැර සිටියේය. මේ වන විට හෙතෙම හුබෙයි පළාතේ වුහාන් දක්වා ගමන් කර ඇත. එහෙත් ලියුද ඔහු පසුපසම යයි. ඒ බීජින්හි ඇති කලබල තත්ත්වය ගැන වාර්තා කිරීම ගැන බල කරමිනි. ශිෂ්‍යයින්ගේ කැරලි කෝලාහල. ළැව් ගිනි. ඒවා නවත්වන්ට නියෝගයක් දෙන්නැයි ඔහු මා ඕට ආයාචනා කරයි. ඔහුගේ මනස තුළට ඇතුළු වී ඇත්තේ කුමක්දැයි ලියුට හැඟීමක් නැත.

ලියු වැනි අතිදක්ෂ මිනිහකු මේ තරම් අඥාන වන්නේ කෙසේදැයි ඉතිහාසඥයකුට තේරුම්ගත නොහැක. මා ඕ තුළ ඇති නොරිස්සීම - කෝපය - ඔහුට නොතේරෙන්නේ ඇයිද? ඒ සම්බන්ධයෙන් දිය හැක්කේ පැහැදිලි කිරීම් දෙකක් පමණි. එකක් නම් ඔහු කොතරම් නිහතමානීද යත් තමා මා ඕට තර්ජනයක් වන බැව් කිසි විටෙක ඔහුට නොවැටහීමය. අනෙක් කාරණය තමාගේ කටයුතුවලට මා ඕ විසින් කිසිම විරෝධයක් නොදක්වනු ඇතැයි ඔහු තුළ ඇති බලවත් විශ්වාසයයි. වෙනත් වචනවලින් කියනවා නම් තමා දැනුත් චීනය පාලනය කරගෙන යන බවත් ජනතාවත් පක්ෂ කොංග්‍ර‍සයත් මා ඕට ඉහළින් තමාට ඡන්දය දෙන බවත් ඔහුට පෙනී ගොස් තිබීමය.

උපසභාපති ලියුගේ වාර්තාව ගැන මා ඕ කිසිවක්ම කියන්නේ නැත. ඒ ගැන කිසිම විවරණයක් නැත. ආපසු බීජින් වෙත පැමිණෙන්නැයි ලියු කරන ආයාචනය මා ඕ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබෙයි. පිටත්ව යන්ට පෙර ලියු ඔහුගේ උපදෙස් ඉල්ලා සිටියි. ඔහුගේ ප්‍රකාශය කෙටිය. තමන්ට සුදුසු යයි කියල පෙනෙන දෙයක් කරන්ඩ.

ලියු ආපසු අගනුවරට පැමිණි විට ඔහුගේ පැමිනීම මහත් බලාපොරොත්තුවෙන් බලා සිටි කැබිනට් ඇමැතිවරු දුම්රිය ස්ථානයේ දී ඔහු පිළිගත්හ. මා ඕ සම්බන්ධයෙන් තමාගේ දුෂ්කර ප්‍රශ්නය ඔහු ඔවුන්ට පැහැදිලි කර දෙයි. තත්ත්වය විග්‍රහ කොට බලන්න කැබිනට් මණ්ඩලය වෑයම් කරයි. ලියු විසින් වෙන දෙයක් වෙන්ඩ ඇරියොත් එහි තේරුම මා ඕ ජියෑන් මැතිනියට සහ කෑන් ෂෙන්ට රට පීරාගෙන යන්ට ඉඩදීමකි. එසේ වුවහොත් මා ඕ ආපසු පැමිණ තම කාරිය හරියට ඉටු නොකිරීම සම්බන්ධයෙන් ලියු අයින් කරනු ඇත්තේය. එහෙත් ඔහු ඉදිරිපත් වී ජියෑන් චින්ගේ සහ කෑන් ෂෙන්ගේ කටයුතු නැවැත්වුවහොත් මා ඕ ඔවුන් දෙදෙනාගේ පැත්ත ගන්ට ඉඩ ඇත. මොනවා වුණත් ඇය ඔහුගේ බිරිඳය.

නහර වෙහෙසවන සාකච්ඡාවකින් පසුව ලියු සහ ඩෙන් තීරණය කරන්නේ රට යථාතත්ත්වයට ගෙනෙනු පිණිස තව තවත් වැඩ කණ්ඩායම් යොදවන්නටය. තම ක්‍රියාමාර්ගයේ නිරවද්‍යභාවය තහවුරු කරනු උදෙසා ලියු දුරකථනයෙන් මා ඕට කතා කරන්ට තැත් කරයි. එහෙත් නැවත වාරයක් ඔහුගෙන් ප්‍රතිචාරයක් නැත.

මාතෘකා