එතැන් සිට චීනය ඉදිරියට ගෙන යන්නේ මා ඕ ජියෑන් චින් මැතිනියයි

 ඡායාරූපය:

එතැන් සිට චීනය ඉදිරියට ගෙන යන්නේ මා ඕ ජියෑන් චින් මැතිනියයි

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

සමාව දිය යුතු තරමටම මා ඔහු හැඳිනගෙන ඇතැයි ඇතැම් විට මට සිතෙයි. ඔහු මෙහෙය වෙන්නේ අනුරාගයෙන් නොවේ. කාමයෙන්ද නොවේ. තමා තුළ රට කෙරෙහි ඇති විසල් ආදරයෙන්ද නොවේ. ඔහු මෙහෙය වෙන්නේ භීතියෙනි. තවත් වතාවලදී මට සිතෙන්නේ ඔහු මට මුළුමනින්ම අමුත්තකුව සිටි බවය. නොසැලකිලිවන්තව සිටින භාවාත්මක වශයෙන් අසම්පූර්ණ මනුෂ්‍ය ප්‍රාණියකු වන මා සමඟ. ඔහු තමාගේ කලින් සිටි බිරිඳ වන සී - ෂෙන් බලන්ට එක දවසක්වත් ගොස් නැත. ඒ වගේම මානසික රෝගී තත්ත්වයෙන් ඉස්පිරිතාලයෙහි සිටින ඔහුගේ දෙවැනි පුතු අන් කුවින් බලන්නටද ගොස් නැත. හරියට මා වගේය. මමද මගේ මවට කුමක් වීදැයි සොයන්නට කිසි විටෙක උත්සාහ ගත්තේ නැත.

කොරියන් යුද්ධය ගැන මා ඕ කතා කරන්නේ නැත. ඒ ඔහුගේ වැඩිමල් පුතු අන්යින් ඇමරිකානු බෝම්බයකින් නැතිවීම පිළිබඳ වේදනාව අමතක කරන්නටය. අන්යින්ගේ මරණය ඔහුට කිසි විටෙක අමතක කරන්ට බැරිය. හැම උත්සවයකදීම විශේෂයෙන්ම චීන නව අවුරුදු උත්සවයේදී අන්යින් ඔහුගේ මතකයට නැඟෙන බැව් මා ඕ ජියෑන් චින් මැතිනිය හොඳාකාර දන්නීය. සිය මිතුරන්ගේ හෝ ආශ්‍රය කරන්නවුන්ගේ හෝ නිවෙස්වලට සැපත් වන්නැයි කෙරෙන ආරාධනා කිසිවක් ඔහු පිළිගන්නේ නැත. ඒ එකී පවුල්වල උණුසුම් සංග්‍රහාදිය ඔහුට දරන්ට අසීරු නිසාය. ඔහු පවසන්නේ තමා සම්ප්‍රදාය විරෝධී මිනිහෙකැයි කියාය. ඒ මන්ද යත් සාම්ප්‍රදායික හැම දෙයක්ම ගෙතී ඇත්තේ පවුල වටා වන හෙයිනි.

තමා ඒ තරම්ම අනුරාගයෙන් යුතු කවියකුව සිටියදීත් මා ඕට වේදනාවේදීත් වියෝගයේදීත් අනුකම්පාව නොදැනෙන්නේ මන්ද? කෙනෙකුට අනුමාන කළ හැක්කේ දීර්ඝ කාලයක් පුරා ඔහු වෙනස්වීම්වලට භාජන වී ඇති නිසා හෝ කෙටියෙන්ම එක වචනයකින් කියනවා නම් ඔහුගේ චරිතය විකෘති වී ඇති නිසාය. තමාගේ අහිමිවීම් පිළිබඳ ඔහු තුළ වන දැඩි ආශාව ක්‍රමයෙන් පරිවර්තනය වන්නේ අනුන්ගේ ලාභයේදී ඊර්ෂ්‍යා කරන්නටය. තමාට නැති තමාට අහිමි හැම දෙයක්ම උපසභාපති ලියු සතු වන්නේ ඇයි? තමා ස්වභාවයෙන්ම බිඳෙනසුලු බැව් මා ඕ දන්නේය. පාෂාණයෙහි බුදුවරයකු බවට පත්වීම සිය පැවැත්මේ එකම මඟ බැව් ඔහු උගෙන ඇත්තේය. ජීවිතයේ ඛේදාන්තය ඔහු සලකන්නේ තම සිරුර තුළ ඇති වණයක් හැටියටය. එයත් එක්කම ඔහු ජීවත් විය යුත්තේය. එහෙත් තමාගේ වේදනාව සුව කරගන්ට බැරිවීම ගැන ඔහු බලාපොරොත්තු සුන්ව සිටියි. තමා විසින් සෙසු ප්‍රාණීන්ට මෛත්‍රිය දැක්විය යුතුව ඇතැයි ඔහු වටහාගන්නේ නැත. එවන් වදනක් සිය භාවික වදන් කෝෂයේ නැති බැව් සිතන්නටය ඔහු උගෙන ඇත්තේය.

රාත්‍රි කෑමෙන් පසුවය. අපි මේසය වටා හිඳගෙන තේ පානය කරමින් නිස්කලංකව සිටිමු. වැඩකටයුතු ගැන කතා නොකරන්නැයි නාහ් ඉල්ලා සිටියි. නමුත් ඒ ඉල්ලීම ඉවත දමන්නට මට සිදුව ඇත. මා ඕ සමඟ මා ගත කරන කාලය ගැන මම සැලකිලිමත් වෙමි. මන්ද යත් හෙට දවසේ ඔහු අදහස් වෙනස් කරගන්ට ඉඩ තිබෙන නිසාය. හැම විටම නරකම දේ බලාපොරොත්තුව සිටින්ට මම පුරුදුව සිටිමි.

නාහ් කාමරයෙන් පිටව යන්නීය. ඔයා කොහෙද යන්නෙ? මම බෙරිහන් දෙමි. මට කියන්ඩ එපා ගොතන්ඩ කාලෙ නාස්ති කරනව කියල. කතා කරන්ඩ කියල මං කියපු අයට ඔයා කතා කළාද? මට උත්තර දෙන්ඩ. දැන් ඔයාට දාසයක්. හයක් නෙමෙයි. එයාට ඉන්ඩ දෙන්ඩ, ඇගේ තාත්තා පවසයි. ඔහු වයින් ටිකක් පානය කර ඇති හෙයින් සිටින්නේ හොඳ මනෝභාවයකය. ඔහු සිටින්නේ ඔහුගේ සුපුරුදු පිජාමාවෙනි. මේස් පැලඳ සිටින නමුත් දෙපාවල මිරිවැඩි නොමැත. කාමරය උණුසුම් කර ඇතද තවමත් සීතල දැනෙයි. කාමරය හිස්ය. එය නිවෙසක් සේ පෙනෙන්නේ නැත. එය යුද මූලස්ථානයක් බඳුය. පොත්පත් සිගරැට් කොට තුවාල ජෝගු ඉවක් බවක් නැතිව හැම තැනම විසුරුවා ඇත්තේය. මේ ගමනේ - යන පිළිවෙළ ඔහුට සුවයක් ගෙන දෙයි. බිත්ති හිස්ය. ඒවායේ මුල් පැහැය කවරේදැයි මට කිව නොහැක. දූවිලි පාට ගෙබිම තනා ඇත්තේ විශාල අළු - නිල් පැහැ ගඩොලිනි. දැවයෙන් ගෙබිම සකස් කරමුයි, වරක් මම යෝජනා කෙළෙමි. එහෙත් ඔහු එය ගණනකටවත් ගත්තේ නැත. ඔහු තවමත් ගිම්හානයේදී පාවිච්චි කරන්නේ මදුරු දැල්ය. ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් සර්කස් කූඩාරමකට සෑහෙන තරමේ මදුරු දැලක් තනාදී ඇත්තේය.

මට වැදගත් වැඩක් තියෙනව ඔබට පවරන්ඩ. එසේ කියමින් ඔහු තේ බඳුන පසෙකින් තබයි.

මගේ දෑස් ලොකු වෙයි. තැතිගැන්මෙන් තොල් සැලෙයි.

මම කෑන් ෂෙන් එක්ක සාකච්ඡා කරල තියෙනව අපේ කටයුතුවල න්‍යායාත්මක පැත්ත බාරගන්ඩ සුදුසු හොඳම අපේක්‍ෂකයා ඔබය කියල. මොකද ඒ ගැන හිතන්නෙ?

ඔබ වෙනුවෙන් මා ඕ සේතුං ඔබේ බෝම්බයේ ෆියුස් එකක් වැරදුණොත් මම එතන වැතිරෙන්නම්.

මැයි 16 වැනිදා. 5.16 දැනුම්දීම හත් වතාවක් සංශෝධනය කිරීමෙන් පසුව මා ඕ එයට සිය අත්සන යොදා ලේඛනය නීතිගත කරයි. ”සංස්කෘති විප්ලවයේ අත්පොත.” එය මුද්‍රණයට යන අතරවාරයේදී මා ඕ පවතින දේශපාලන මණ්ඩලයට අමතරව අලුත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවයි. ඔහු එය හඳුන්වන්නේ සංස්කෘති විප්ලවයේ මූලස්ථානය හැටියටය. මා ඕ එහි ප්‍රධානියා වන අතර ඔහුගේ දකුණු අත බවට පත්වන්නී ජියෑන්චින්ය. කෑන් ෂෙන් ඩෙන් බෝ - ඩා සහ චුන් කුවියා ඕ ඔහුගේ උපදේශකයෝ වන්නාහ.

එතැන් සිට චීනය ඉදිරියට ගෙන යනු ලබන්නේ, මා ඕ ජියෑන් චින් මැතිනිය විසිනි. ඇයගේ හැම ක්‍රියාවක් පිටුපසම මා ඕ සිටින්නේය.

මාතෘකා