මතක පියසටහන් අතර මොහොතක්

 ඡායාරූපය:

මතක පියසටහන් අතර මොහොතක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

අපි ගිම්හාන මාළිගාව පැත්තෙ ටිකක් ඇවිදින්ඩ යමු. එසේ පවසමින් ඔහු හදිසියේම නැඟී සිටියි.

වචනයක්වත් කතා නැතිව ඇය ඔහු පසුපස ගමන් කරයි. ඔහු අලුත් හම් සපත්තු කුට්ටමක් පැලඳ සිටින බැව් ඇය දකියි. අලුත් සපත්තුවලට ඔහු මනාප නැති බැව් ඇයට සිහි වෙයි. කපු මිරිවැඬි යුගලයකට මාරුවෙන්ට අවශ්‍යදැයි ඇය ඔහුගෙන් විමසයි.

ඒවා රිදෙන්නෙ නෑ, ඔහු පැහැදිලි කරයි. පොඩි මකරා තමයි මගෙ ඇවිදින සපත්තු ගිලන් මැස්සට හිටියෙ.

දේවදාර ශාලා බිමෙහි ඉතා පැරණි ගස්වලින් සෙවණ වුණු අතිවිශාල මිදුලක් තිබී ඇත. එහි නැඟෙනහිරටත් බටහිරට සහ උතුරටත් ආරුක්කු යටින් වැටුණු මං දක්නා ලැබෙයි. එසේම උත්කෘෂ්ට ආකාරයෙන් කැටයම් කපන ලද ගල් කුලුනුය. දැන් ඔවුන් සිටින්නේ විලට සමාන්තරව දිවෙන මධ්‍යම අධිරාජ මාර්ගයේය. ඒ වනාහි ශියෙන් ෆෙන් අධිරාජයා සහ සූ සී අධිරාජිනිය සක්මන් කරන්ට යොදා ගත් පාරය. උසකිහිරි ගස්වල හෙවණ යටින් ඇදෙන ඒ පාර පටුය.

ඕ, ඔහුගේ පියසටහන් අනුව ගමන් කරයි. සැතපුමකින් පසුව ඔවුන් ඉදිරියෙහි දර්ශනය වන්නේ ධන රාශියේ මැදපු උළු පැගෝඩාවය. මෙම චෛත්‍යය හෙවත් පැගෝඩාව සත් මහලකින් යුතු අටපට්ටම් ගොඩනැඟිල්ලකි. එය උසින් අඩි පනහකට වැඩිය. එහි මුදුනේ සිට පහළට අල්ලා ඇත්තේ නිල්ල හරිත කහ පැහැයෙන් යුතු මැදපු ගඩොල්ය. බුදුන්වහන්සේ නිරූපණය කරන විවිධ කැටයමින් එකී ගඩොල් බිත්ති සමලංකෘතය. මෙම පැගෝඩාව දරා සිටින ධවල ගල් වේදිකාවකි. පැඩෝගාව මුදුනේ ස්වර්ණාලේපිත කොත්කැරැල්ලකි.

සුළගෙහි ඇත්තේ සොඳුරු ගීතවත් හඬකි. මා ඕ උඩ බලයි. පැගෝඩාවේ මුදුනෙහි සිට එල්ලෙන ලෝහ ඝණ්ඨාවකි. ඇය ඔහුගේ පසෙකට පැමිණෙයි. තමාගේ තෙත් වුණු නළල පිස දමමින් ඇය ඔහුගේ හොඳ සෞඛ්‍යය ගැන ප්‍රශංසා කරයි. ඒ ගැන කිසිවක් නොකියාම ඔහු පැගෝඩාව තුළට වදියි. ඔහු නැවතීමක් නැතිව ගල් ඵලකයක් පසුකරගෙන යයි. ගල් ඵලකය මත මේ වචන කොටා ඇත්තේය. දීර්ඝ ජීවන කන්ද මත අධිරාජයා විසින් ගොඩනඟන ලද ධන රාශි පැගෝඩාව. ඒ අකුරු කැටයම් කර ඇත්තේ චීන මන්චු, මොන්ගෝලියානු සහ තිබ්බත භාෂාවලිනි. මා ඕ බුද්ධ ප්‍රතිමා ඉදිරිපිට තැනකට ඇවිත් නවතියි.

මේ මාසෙදිම මම දෙවතාවක් මෙතෙන්ට ආවා ඔහු හදිසියේම තෙපලයි. මං ආවෙ මේ පැගෝඩාව හදපු ශිල්පියාත් මාත් අතර අවබෝධතා මාර්ගයක් හදාගන්ඩ පුළුවන්ද කියා බලන්ඩ.

ඔහුගේ කටහඬ කොතරම් පහළද යත් ඇයට ඔහු ඇසෙන්නේ යාන්තමිනි. එහෙත් ඇය කිසිවක්ම තෙපලන්නේ නැත.

ඔහු කියාගෙන යයි. මගෙ ප්‍රශ්නය මේකයි. මේ කුඩා පන්සලේ මුහුණ මත බුදුන්ගේ ප්‍රතිමානව සියයක් සවි කෙළේ ඇයි? කුමකින්ද ඔහු පෙලඹුණේ? මොන වගේ පිස්සුවක්ද? එයා කුලප්පු වෙලා හිටියාවත්ද? එයා පිටිපස එළවමින් සිටියේ මොකක්ද? මේක වැඩ කරන්න අමාරු අනතුරුදායක තැනක්. එයා ඕනෑ වෙලාවක පෙරළිලා වැටෙන්ඩ ඉඩ තිබුණා. ඇයි නොවැටුණේ? මං හිතන්නෙ ඔහුට බුදුන්ගෙ ආරක්ෂාව තිබුණාය කියල. වැඩි වැඩියෙන් හදන තරමට වැඩි වැඩියෙන් ආරක්ෂාවත් ලැබෙනවා කියල ඔහු හිතන්ඩ ඇති. එයාව එළවනු ලැබුවෙ ඒ අදහසින් වෙන්ඩ ඕනෑ. මිනිහා තමා සමඟම දුවන්ට ඇත්තෙ හුස්මක් කටක් ගන්නෙ නැතුව.

දැන් මා ඕ කතා කරන්නේ තමා සමඟම බැව් ඇයට හැඟෙයි. දේශපාලන මණ්ඩලය තුළ ඔහුගේ ස්ථානය. ඔහු මුහුණ දෙන සතුරන්. ඔහු ඉන්නේ බියෙනි.

සභාපතිතුමනි, ඇය ඔහුට කතා කරයි. මං ඔබතුමන් එක්ක. දිව්‍ය ලෝකෙට ගියත් අපායට ගියත් මං ඔබතුමා එක්ක ඉන්නව.

ඔහු ඇය දෙසට හැරෙයි. ඔහුගේ නෙත් මෘදුභාවයෙන් පිරී ඇත්තේය.

මීට වසර තිහකට පෙර යෙනාන් ලෙනේදී ඔහු විසින් තමා පිළිගනු ලැබුවේ කවර ආකාරයටද ඒ ආකාරයටම දැන් තමා පිළිගැනී ඇතැයි ඇයට හැඟෙන්ට වෙයි. බෝම්බ වැටෙන අතර ඇය ඔහුට තම ෙප්‍ර්මය ප්‍රකාශ කළ වදන් දැන් ඇයට ඇසෙන්නට වෙයි.

ඇයගේ කැපවීම හේතුවෙන් තමා යළිත් වීරයකු බවට පැමිණ ඇතැයි ඔහුට සිතෙන්ට විය. හෙමින්සැරේ ඔහුගේ බැල්ම බොඳ වී යයි. ඔහුගේ කටහඬ පහත් වෙයි. ඒ සේරම මගෙ ඔළුවෙ තිබුණා කියලයි මට හිතෙන්නෙ. මං කල්පනා කෙළේ මගෙ දත් ටික වැටෙන එක ගැනද? මගෙ පෙනීමත් අඩු වේගන යනවා ජියෑන්චින්. දැන් කරුණාකරල කියන්ඩ මට හිතෙන දේ ඇත්ත නෙමෙයිද කියලා. මට දැන් වයසයි. මං යන්නෙත් අධිරාජයන් ගහගෙන ගිය කානුව දිගේම තමයි.

ඇයට ඔහු ගැන වේදනාවක් දැනෙයි. නමුදු ඇය දුක් වන්නේ නැත. ඇත්ත නම් තමා තුළ ඇති භීතිය හේතුකොටගෙන ඔහුට ඇය දකින්ට හැකි වී ඇති බවය. මේ අනතුර දිගටම තිබෙනු දකින්ට ඇය කැමතිය. මන්දයත් ඇයට තවදුරටත් ඔහුගේ දර්ශනයෙහිම රැඳී සිටින්ට හැකි වන නිසාය.

මා ගිනිගොඩට එක්ක යන්ඩ ඇය ඔහු අමතා කියන්නීය. මට ආදරය වෙනුවෙන් කොතරම් නම් දේවල් කරන්ට පුළුවන්ද කියල පෙන්නන්ඩ මට අවස්ථාවක් දෙන්ඩ.

ඔහු ඇය වෙතට ළං වෙයි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා