ඒ තෘප්තිය.. ඒ එකමුතු බව

 ඡායාරූපය:

ඒ තෘප්තිය.. ඒ එකමුතු බව

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මගේ කතාවෙන් අනතුරුව බින්ගේ මූලස්ථානය විසින් පොත් පිංචක් නිෂ්පාදනය කර ඇත. එය නම්කර ඇත්තේ මෙම සිරස්තලයෙනි. ලින් බියා ඕ සහෝදරයාගේ අනුග්‍රහය ඇතිව ජියෑන් චින් සහෝදරිය විසින් පවත්වන ලද සාකච්ඡාවල සාරාංශය. ඒ මගේ කතාවේ පිටපතය. එහි උපසිරස වශයෙන් යොදා ගැනුණේ හමුදාව තුළ කලාවේ භූමිකාව අරබයා යන්නය. දළ වශයෙන් සාරාංශයකි.

ජියෑන් චින් සහෝදරිය අප පක්ෂයේ සාමාජික ආදර්ශයයි. පිට කවරයෙහි මාර්ෂල් බින්ගේ අත්අකුරු මුද්‍රණයෙන් ලියා ඇත්තේය. ඇය අප පක්ෂයට ඉමහත් සම්ප්‍රදානයක්ද පරිත්‍යාගයක්ද කර ඇත්තීය. සංස්කෘති විප්ලවය මඟින් ස්වකීය නායකත්වය ප්‍රදර්ශනය කරනු සඳහා ඇයට අවස්ථාවන් උදා වී ඇත. ඕතොමෝ දේශපාලන හැකියාවන්ගෙන් බබළන්නීය.

මෙම ‘සාරාංශය’ ගැන මා ඕ සතුටට පත් වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයට ඇති ශ්‍රේෂ්ඨතම සහ එකම න්‍යායය නම් මා ඕවාදය වෙතැයි මවිසින් ප්‍රකාශ කර ඇත.

ඊළඟට එළැඹෙන සති හතර තුළ හතර වතාවක්ම මා ඕ විසින් මම කැඳවනු ලැබීමි. පෞද්ගලිකව එකී සාරාංශය සංශෝධනය කරනු සඳහාය. මෙකී ‘සාරාංශය’ කොමියුනිස්ට් පක්ෂයේ හැම සාමාජිකයකුගේම අත්පොතක් කළ යුතුයයි අප්‍රේල් මාසයේදී මා ඕ විසින් නියෝගයක් නිකුත් කරන්ට යෙදිණි.

මේ අත්වලින් මම ඔබ ස්පර්ශ කරමි. මම ඒ අත් ඔබේ දැවෙන දෙකොපුල් මත තබමි. ඒ කොපුල්තල සිහිල් වන්නටය.

මම කැඩපත දෙස බලා මා වැලඳ ගනිමි. ඒ මා විඳි වේදනාව නිසාවෙනි. උපැස් යුවල ගලවා බලමි. මා දකින්නේ ඉදිමුණු නෙත් යුවලකි.

මම ඔබ හැඬෙව්වෙමි. මට ආදරය කරන්ට මම ඔබ සැලැස්වූයෙමි. පිහි තුඩ මත දිවෙන කරත්ත රෝදබවට මම ඔබ පත් කෙළෙමි. ඔබ සීත ඍතුවේ පවන්පතකි. ගිම්හානයේ උදුනකි. කිසිවකු විසින් ඔබ නොපතන නමුත් දැන් ඔබේ කාලය පැමිණ ඇත්තේය.

මගේ නව භූමිකාව ජීවිතයේ ප්‍රීතිය වෙනස් ආලෝකයක් තුළින් වටහාගන්නට - මට උපකාරී වෙයි. එය ඇත්තේ රාගයටත් මිත්‍රත්වයටත් දුරිනි. ආදරය පිළිබඳ පොදු හැඟීමටත් දුරිනි. මම මහපොළොව නමැති වනාන්තරය තුළ දිව ඇත්තෙමි. හරය වශයෙන් ගත් කල හැම මනුෂ්‍ය ප්‍රාණියකුම සිටින්නේ හුදකලාවය. නිශ්චලත්වය පළවා හැර ජීවිතයේ සංගීතයට ප්‍රතිචාර දක්වන්ට මම තීරණය කර ඇත්තෙමි. මම උතුරා යන උල්පතක් බවට පත්ව සිටමි.

මගේ හදවත නමැති භූමිතලයෙහි ස්වර්ණමය ගිම්හානයේ දැඩි සූර්ය රශ්මිය තුරුපත් අතරින් පෙරී යනු පෙනෙයි.

ලිලී මල් හරිත පැහැයෙන් උසට නැෙඟන අයුරු ඔබට නොපෙනේද? ඉවරයක් නොපෙනන බිඟු දැල්විත් රොන් උරනු ඔබට නොපෙනේද?

මාර්තු 28 වැනිදා මා ඕ සිය කන්තෝරු කාමරය තුළ රහසිගත රැස්වීමක් පවත්වයි. පැමිණ සිටින්නාහු ජියෑන් චින් කෑන් ෂෙන් සහ චුන් කුවියා ඕ පමණි.

මා ඕ විසින් එය හඳුන්වනු ලබන්නේ දේශපාලන මණ්ඩල රැස්වීමක් හැටියටය. එහි නිල සාමාජිකයන් වන උපසභාපති ලියු අගමැති ෂවුල සේනාධිනායක ෂූඬේ උපඅගමැති චෙන් යුන් සහ ඩෙන් අතහැර ඇති නමුත්....

මේ රැස්වීම සම්පූර්ණ දින තුනක්ම පැවැත්වෙයි. නගරාධිපති පෙන්ගේ වාර්තාවෙන් කොමියුනිස්ට්වාදයේ මූලධර්ම ගෙනහැර දක්වන්ට අසමත්ව ඇතැයි මා ඕ පෙන්වා දෙයි. මේ කැරලි ගසන්ට කාලය මා ඕ උපදෙස් දෙයි. පැරණි දේශපාලන මණ්ඩලය තවදුරටත් විප්ලවය වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. සංස්කෘති බියුරෝවත් නගරාධිපතිගේ බීජින් කොමිටියත් භංග වේවා... මේ යක්ෂයො අපායට ඇරල අවතාර ටික ගලවා ගනිමු.

චුන් - කුවියා ඕ දෙසට හැරෙන මා ඕ අසා සිටින්නේ ‘වාර්තාවට’ විරුද්ධ ලිපි සකස් කරගන්ට කොතරම් කාලයක් ගත වේද කියාය.

අප්‍රේල් 2 සහ 5. චුන් - කුවියා ඕ පිළිතුරු දෙයි.

‘ජනතාවගේ දිනපතා පත්‍රය’ සහ ‘රතු ධජය’ පත්තරවල නේද?

ඔව්ග ඒ මඟින් රට පුරාම පැතිරෙන ප්‍රහාරයක් දියත් කළ හැකියි.

යුද්ධයේදී කළාක් මෙන්ම ඔහු පසු බලඇණියක කටයුතු පවරන්නේ කෑන් ෂෙන්ටය. අපේ මාර්ගයට බාධා කරන්ට එන ඕනෑම බල්ලෙක් ඉවර කරල දාන්ඩ වගබලාගන්ඩ.

රැස්වීම අවසන් වන විට ඔවුන් වෙහෙස පත් වෙලාය. ඇය නිහඬව ඔහු දෙස බලා සිටින්නීය. මාවේවැල් පුටුවේ හිඳගෙන සිටින ඔහු එහි ඇන්ද මත හිස රුවාගනියි. ඇගේ දෑසට කඳුළු උනයි. කාලයේ පිම්ම ඇයට දැනෙන්ට වෙයි. චීනය අත්පත් කරගනු සඳහා කල්පනාභරිතව ඔහු ඒ ඉරියව්වෙන්ම හිඳගෙන සිටි අයුරු ඇයට සිහි වෙයි. ඇය ඔහු කෙරේ කොතරම් ෙප්‍ර්මයෙන් සිටින්නේදැයි කිවහොත් ඇය හුස්ම ගන්නේද සීරුවෙනි. ඔහුගේ සිතිවිලිවලට බාධා වේය යන බියෙනි.

ඇය රැස්වීමේ සටහන් හෙමින් සැරේ බලාගෙන යයි. කාමරය තුළ ඇති නිහැඬියාව ඇයට සතුට ගෙනදෙයි. තමා සමඟ ඔහු සුවපහසුවෙනැයි ඇය දන්නීය. ඔවුන් යෙනාන්හිදී එකට සිටි අයුරු.

මාතෘකා