විප්ලවයේ දිනුම් කණුව නම් දිව්‍ය ෙලා්කයයි

 ඡායාරූපය:

විප්ලවයේ දිනුම් කණුව නම් දිව්‍ය ෙලා්කයයි

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

අනාගතයේදී ස්වකීය යහපත් ක්‍රියාවන් සම්බන්ධයෙන් මා ඕ අනුස්මරණය කරනු ඇත්තේය. නිදසුනක් හැටියට 1975 වසරේදී මාර්ෂල් චෙන් යීගේ අවමගුල් උත්සවයට සහභාගි වීම පිළිබඳව බෙහෙවින් පැතිර ඇති කතාවය. ඔහු පැමිණ ඇත්තේ පිජාමාව පිටිනි. එතැනට එන්නට ඔහුට තිබුණු හදිස්සිය ඉන් ප්‍රකාශ වන්නේය. මා ඕගේ ශෝකය අවංක එකකැයි බලා සිටි අය විශ්වාස කරන්ට වන්හ. සත්‍යය නම් ඊට ප්‍රතිවිරුද්ධ තත්ත්වයයි. රතු මුරකා භටයන් ඔහු මරණයට පත් කරනු සඳහා ඔහුට වද දුන් අවස්ථාවේදී ”එපා” යන එක වචනය මා ඕගේ කටින් පිට වූයේ නම් මාර්ෂල්ගේ ජීවිතය බේරාගත හැකිව තිබුණි.

මගේ ස්වාමිපුරුෂයාගේ උපායන් ගැන මා තුළ මගේම සීමාවන් ඇති බවක් ඉන් අදහස් වන්නේ නැත. මා ඔහු සමඟය. හේ තෙමේ ශ්‍රේෂ්ඨ මිනිහෙකි. තම ජාතිය උදෙසා අතිවිශාල සිහිනයක් දකින මහා පුරුෂයෙකි. අනාගතය දකින්නෙකි. විප්ලවයේ දිනුම් කණුව නම් දිව්‍ය ලෝකයයි. ”විප්ලවය යනු එක් පන්තියක් විසින් ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ග මගින් අතින් පන්තිය පෙරළා දැමීමයි. ” එකරුණ මම හැමවිටම අවබෝධ කරගෙන සිටිමි. අප සියලු දෙනා අපගේ ජීවිත කැප කර ඇත්තේ ඒ අරමුණ දිනාගන්නටය.

ක්‍රීඩාව ආරම්භ වන්නේය. තමාගේ විරුද්ධවාදීන් සමූහය අතුගා දමන්ට මා ඕ සූදානම්ය. ඔහු පක්ෂ හමුවලදී ලියු හා ඩෙන් සමඟ සිනා වෙයි. කතාබහ කරයි. ඔවුන්ගේ පවුල් ගැන තොරතුරු විමසන ඔහු ඩෙන්ගේ පෝකර් ක්‍රීඩා පුරුද්ද ගැන විහිළු කරයි. සිය වින්දිතයන් වචනවලින් නිරායුධ කිරීමේ හැකියාව මා ඕ සතු විය. ඔවුන් තමා වෙත වසී කරගෙන ඔවුන් තුළ වන සැක මුසුබව තුරන් කොට ඔවුන් විවෘතව තැබීමේ කලාව ඔහු දැන සිටියි. ඉනික්බිතිව ඔහු පහර දෙන්නේ.

”වාර්තාව” ගැන සභාපති මා ඕගේ කිසිම විවේචනයක් නැති වීම ගැන බීජින්හි නගරාධිපති පෙන් ෂෙන් බලවත් ප්‍රීතියෙන් සිටියි. ඔහු සිතන්නේ තමාට මා ඕ ගේ සහයෝගය ඇති බවකි. ඒ ආරංචිය උපසභාපති ලියුට සහ ඩෙන් සියා ඕ-පින්ට සහනයකි.

මම මගේ ස්වාමිපුරුෂයා හඳුනමි. ඔහු අසනීප බවක් හෝ පසුබැස සිටින බවක් හෝ අඟවා ආපසු පැමිණ කුණාටුවක් පැමිණි කලෙක මෙන් එක පාර සතුරාට පහර දෙයි. ඔහු දැන් කරන්නේ එයයි. සටන සැලසුම් කිරීම. චෙස් බෝඩ් එක ආපසු සකස් කිරීම. චීනයේ අනාගතය අනතුරක බැව් ඔහුගේ විශ්වාසයයි. තමාගේ හමුදාව කැරලි ගසමින් සිටින බැව්ද තමා මේ කරන්නේ කුමන්ත්‍රණයකට මුහුණදීමක් බැව්ද ඔහු විශ්වාස කරයි. තමාට පක්ෂපාතී වන්නේ රෝගාතුරව සිටින මාර්ෂල් ලින් විසින් මෙහෙයවනු ලබන උතුරු ප්‍රාන්තයේ බල ඇණිය පමණක් බැව්ද ඔහු විශ්වාස කරයි.

අවුරුදු ගණනාවක්ම මා ඕගේ සිත දිනාගනු සඳහා ලින් විසින් හැම වර්ගයේම උපක්‍රම යොදාගනු ලැබීය. ඔහුගේ කටයුතු ගැන සිය සගයා වන මාර්ෂල් ලූ ඕ රෙයි - කුවින් පවා සිටින්නේ පිළිකුලෙනි. හෙතෙම ලින් විවේචනයට භාජන කරන්නේ නියම කුහකයකු හැටියටය.

මා, ලින් ගැන දැන සිටින්නේ කෑන් ෂෙන් මාර්ගයෙනි. කෑන් ෂෙන් පවසන්නේ ලින් බියා ඕ මුළු ජීවිතය පුරාම තමාගේ කසාද දිනය බලා සිටි මනමාලියක බවය. දැන් ඇයගේ අතෙහි මුදුව පලඳා ඇත්තේය.

මම ලින් පවුල බලන්ට යමි. මම මාර්ෂල් ලූ ඕ ගැන සඳහන් කරමි. මා පවසන්නේ ලූ ඕ දැන් අප දෙදෙනාගේම පොදු හතුරකු බවය.

ඔබේ කතාව මොකක්ද? ලින් විමසයි.

මම පක්ෂයේ නිල තත්ත්වයක් ලබන්ට කැමතියි. මා සිතා හිටියේ මාර්ෂල් ලූ ඕ මගේ ස්වාමිපුරුෂයාගේ සමීප මිත්‍රයකු කියා. ඔහු මට අත දෙන්ඩ කැමැත්තෙන් ඉන්නවාය කියා. මම කැමතියි සංස්කෘති විප්ලවයකට හමුදාවේ මැදිහත්වීමක් ලබාගන්ඩ.

ඉතින් මොකද වුණේ ?

මාර්ෂල් ලූ ඕ මගේ ඉල්ලීම ඉවත දැම්මා. විස්තර කියන්ඩ මට මහ මොකක්දෝ වගේ. මිනිහා මට නිල ඇඳුමක්වත් ගන්ඩ ඉඩ දුන්නෙ නෑ.

මා ඕ මැතිනිය, ඔබතුමිය ඒ ගැන දුර දිග යන්ඩ ඕනැ නැහැ. ඒ ගැන කරන්ඩ ඕනෑ මොකක්ද කියල මං දන්නව. ඇයි ඔබතුමිය මගේ මූලස්ථානෙට ඇවිල්ලා වැඩමුළුවක් පවත්වන්නෙ නැත්තෙ?

1966 පෙබරවාරි 20 වැනිදා, අලුත් නිල ඇඳුමක් ඇඳගෙන මා ඕ ජියැන් චින් මැතිනිය ”වාර්තාවට” විරුද්ධව කතාවක් පවත්වන්නීය. ඒ වූ කලී ඇය සිය ජීවිතයේ මුල්ම වරට රජයේ ප්‍රධානීන්ද හමුදාවේ නායකයන්ද ඉදිරියේ කතාවක් පවත්වන අවස්ථාවය. ඇයට සබකෝලය දැනෙන්ට වෙයි. එතෙකුදු ඇයට ආත්ම විශ්වාසය ඇත. පසුව තමා විසින් කරන ලද්දේ කුමක්දැයි, ඕ මා ඕට දැනුම් දෙයි. ඇය පසසන හෙතෙම ඇයට සුබපතයි.

එතැන් සිට ලින් බියා ඕ සහ මා ඕ ජියෑන් චින් මැතිනිය මිත්‍රශීලීව එකිනෙකා නිතර නිතර හමුවෙති. එකිනෙකාගේ සතුරන් තුරන් කරනු උදෙසා එකිනෙකාට උදවු කරන්නට දෙදෙනා එකඟතාවකට පැමිණෙති.

මාතෘකා