කළු සුදු පිළිතුරු

 ඡායාරූපය:

කළු සුදු පිළිතුරු

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

 

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

වැන්දඹු අධිරාජිනිය විසින් ගුවාන් - සු අධිරාජයා ප්‍රාණ ඇපයට ගන්නා ලද්දේ මෙතැන්හිදීය. වෙනදා කරන්නාක් මෙන් මා ඕ හදිසියේම කතා කරන්ට වෙයි. චීන ජනරජයේ පළමු වැනි උපසභාපති ලී හොන් යුවාන් නිවාස අඩස්සියේ තැබුවේත් ඒ ස්ථානයේමයි. ඔබ හිතනවද ඒ අය අභියෝග කරයි කියලා.

ඉදිරියට යන්ට සියලුම කටයුතු සූදානම් සභාපතිතුමනි ඔබතුමාගෙ සෞඛ්‍යසම්පන්නභාවය තමයි ජනතාවගෙ භාග්‍යය.

ඔබ මේ ලිපිය අත්පොතක් හැටියට මුද්‍රණය කෙරෙව්වද? මා ඕ විමසයි.

ඔව්, එහෙම කරලයි තියෙන්නෙ. නමුත් බීජින්වල පොත් සාප්පු ඒ ගැන උනන්දුවක් දක්වන්නෙ නෑ. යාන්තම් බොහොම අමාරුවෙන් පිටපත් තුන්දාහක් විතරයි ගබඩා කරගෙන තියෙන්නෙත්. “උපසභාපති ලියුගෙ කොමියුනිස්ට්වාදියකුගේ ස්වයං වගාකරණය” පොත මේ වෙන කොට මිලියන හයක් විකිණිලා.

සංස්කෘති බියුරෝවේ සභාපති ලූ ඩින්-යී එක්ක මේ තත්ත්වය ගැන කතා කළාද?

ඔව් එයා නම් කියන්නෙ “ඒක ශාස්ත්‍රිය කාරණයක්” කියල.

මා ඕ නැඟී සිටියි. කටින් තේ කොළ එළියට දමමින් කෙළ ගසයි. සංස්කෘති බියුරෝවත් බීජින් නගර කොමිටියත් භංග වේවා, අපි මේ රට කලඹමු. ජනතාවට කියන්ඩ සතුරන්ගෙ බෝට්ටු හොළවන්ඩ කියල. විප්ලවය අලුත් කරන්ඩ ඕනෑ.

ඔබතුමාගෙ නියෝගය දන්නලයි තියෙන්නෙ.

චීනයේ පළමු වැනි යුවළ ස්වකීය බලය උපරිම ආකාරයෙන් භාවිතයට ගනියි. මාධ්‍ය මඟින් මා ඕ ස්වකීය ව්‍යාපාරය දියත් කරයි. සංස්කෘති විප්ලවය ආත්මය පවිත්‍ර කරන ක්‍රියාවලියක් විය යුතුයි, මා ඕ උපුටා දක්වන පුවත්පත ප්‍රකාශ කරයි. පැරණි ක්‍රමය අතහැර දැමිය යුත්තේය. සපත්තු මහන කම්කරුවකුට අවසරපතක මිලෙන් බාගයක් ගෙවලා ඔපෙරා හලකට ඇතුළු වන්ට හැකිවිය යුත්තේය. ගොවියකුගේ රෝගාතුර වුණු පුතකුට ප්‍රාදේශීය ආණ්ඩුකාරයන්ට ලැබෙන සෞඛ්‍ය රැකවරණයම ලැබිය යුත්තේය. අනාථ දරුවකුටත් ඉහළම අධ්‍යාපනය ලබාගන්ට අයිතිය තිබිය යුත්තේය. ඒ වගේම වැඩිහිටි ජනතාවත්, ආබාධිත ජනතාවත් අසාධාරණයට ගොදුරු වූ ජනතාවත් පොදු සෞඛ්‍ය රැකවරණයට අයිතිවාසිකම් ලැබිය යුත්තාහ.

මාස කිහිපයක් තුළදී ව්‍යාකූලභාවයක් නිර්මාණය කිරීම ජන ජීවිතයේ සම්ප්‍රදාය බවට පත් වෙයි. කොල්ලකෑමට දිරි දෙනවා පමණක් නොවෙයි. එය නපුරට පෙලඹවීමෙන් මිදෙන මඟක් හැටියටද විවරණය කෙරෙයි. මා ඕගේ ඉගැන්වීම් අනුගමනය කිරීම චාරිත්‍ර විධියක් බවට - අලුත් ආගමක් බවට - පත් වෙය. මා ඕ මැතිනියගේ විසිහතර පැයේ ප්‍රචාරක ව්‍යායාමය තුළ මා ඕගේ ජීවිතය සම්බන්ධ කිසිවක්ම ඉතිරි කර ඇත්තේ නැත. අත හැරෙන්නේ බුදුන්වහන්සේ පමණි.

මා ඕ තහනම් නගරයේ ඝන බිත්ති පිටුපස හිඳගෙන ජනතාව පොලඹවනු සඳහා සටන්පාඨ නිර්මාණය කරමින් සිටියි. අධිරාජයකු මෙන් ඔහු ආඥාවන් නිකුත් කරයි. අද “හැම දෙනාම සත්‍යය ඉදිරියේ සමානය.” හෙට “පාසල්වල නායකත්වය බාරගන්නා සොල්දාදුවන් පිළිගනිමු. ” ආණ්ඩුකාරවරු සහ නගරාධිපතිවරු - විශේෂයෙන්ම බීජින්හි නගරාධිපති පෙන් ෂෙන් සහ සංස්කෘති බියුරෝවේ ප්‍රධානි ලූ ඩින්-යි අන්දමන්ද වී සිටිති. එහෙත් දේශපාලන මණ්ඩලයේ නාමයෙන් නායකත්වය දෙන්නැයි මා ඕ ඔවුන්ට බල කරයි. මේ අතර නගරාධිපතිගේ කාර්යයන් අධීක්ෂණය කෑන් ෂෙන්ට පවරනු ලබයි.

ජියෑන් චින්ට පැවරී ඇත්තේ “වටේ ගිහින් ගිනි තියන්ටය. ”

ඔබ අතින් ඕනෑ තරම් අවුල් සිද්ධ වෙන්ඩ පුළුවනි, කෑන් ෂෙන් ඇයට කියයි. මොකක් හරි වැරදුණොත් ඔබ පිටිපස්සෙ මා ඕ ඉන්නව. මගෙ තත්ත්වය ඊට වෙනස්. මා ගැන බලාගන්ඩ කවුරුවත් නෑ. මං පරිස්සම් වෙන්ඩ ඕනෑ.

විරෝධයක් ඇත්තේය. එය එන්නේ උපසභාපති ලියුගෙන් සහ ඔහුගේ මිත්‍රයා වන උපඅගමැති ඩෙන්සියා ඕ - පින්ගෙනි. මා ඕ හැම විටම ලියු සලකා ඇත්තේ සතුරකු හැටියට නම් ඔහු ඩෙන් ගැන හිතන්නේ වටිනා දක්ෂකම් ඇත්තකු හැටියටය. මා ඕ වරක් පැවසුවේ ඩෙන්ගේ “පුංචි බෝතලය” පුදුම සහගත දේවලින් පිරීඇති බවකිග ප්‍රංසයේ අධ්‍යාපනය ලැබූ ඩෙන්ල ධනවාදයේ රස බලා ඇත්තේය. ඔහු එයට ආදරය කළේය. ඔහුගේ කතාව ටිකය. නමුත් වැඩ ලොකුයග ඔහු උපසභාපති ලියු ළඟින්ම සිට ඔහුගේ ධනවාදී සැලැස්මට සහයෝගය දෙමින් සිටියි. පෙබරවාරි 5 වැනිදා - එදින සීතල දවසකි - ඔහු සහ ලියු දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවන්ට තීරණය කරති. ඒල බීජින්හි නගරාධිපති පෙන් ෂෙන්ගේ හදිසි කඩදාසියක් වන ”වාර්තාව” සාකච්ඡා කරන්නටය.

”හයිරුයි තනතුරෙන් පහ කරයි - නාට්‍යය ගැන” යනුවෙන් නම් කර ඇති කෙටුම්පත නිසා සිදුව තිබෙන අවුල්සහගත තත්ත්වය සාකච්ඡා කිරීම එකී වාර්තාවේ මූලික අරමුණ වන්නේය. මේ සාකච්ඡාව ශාස්ත්‍රිය තලයකට සීමා කිරීම සිය අරමුණ බැව් පෙන් පෙන්වා දෙයි. රැස්වීම අවසානයේදී ලියුගෙන් සහ ඩෙන් සියා ඕ- පින්ගෙන් පෙන් ඉල්ලා සිටින්නේ මෙකී ”වාර්තාවට” සහයෝගය පළ කරමින් දෙදෙනා ලියුමකට අත්සන් තැබිය යුතු බවය. පසු දින ඒ ලියුමත් අර වාර්තාවත් යන දෙකම මා ඕ අතට පත් කරනු ලැබෙයි.

මගේ ස්වාමිපුරුෂයා “වාර්තාවට” විරෝධයක් දක්වන්නේ නැත. ඇත්ත වශයෙන්ම තමා විසින් කිසියම් කාරණයක් ගැන කෙළින්ම සුදු හෝ කළු හෝ පිළිතුරක් දෙන තැනකට තමා පත් වන්ට ඉඩ තියන්නේම නැත. ප්‍රතික්ෂේප කිරීමක් කරන්ට සිදු වුවහොත් එහි තේරුම තම කැබිනට් මණ්ඩලයේ සියයට අනූවක් දෙනා ප්‍රතික්ෂේප කිරීමක් බැව් ඔහු තේරුම්ගෙන ඇත. මා ඕ ජීවත් වන්නේ ඝාතකයා නොව ගැලවුම්කරුගේ භූමිකාව රඟ දක්වන්නටය.

මාතෘකා