කිකිළියන් අතර මොනරකුව

 ඡායාරූපය:

කිකිළියන් අතර මොනරකුව

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

රංගනය සාර්ථකය. ඒ නම් මට බලාපොරොත්තු වන්ට තිබුණු හොඳම අවස්ථාව නොවෙයිද? ෂාඕ තායිමෝ මහතාත් ඔහු විසින්ම නාට්‍ය දර්ශනයේ ගුණදොස් සොයන්ට කැඳවන ලද විචාරක පිරිසකුත් එදින ප්‍රේක්ෂක සමූහය අතර සිට ඇත. ආසන වෙන් කරනු සඳහා ඔහු විසින් කල් තියා ඉල්ලීමක් කර නොතිබුණි. මන්ද යත්, ඒ වන විට දර්ශනය දුර්වල වෙමින්ද ප්‍රේක්ෂක සංඛ්‍යාව අඩු වෙමින්ද පැවති නිසාය. එසේ හෙයින් ආසන ලබාගැනීමේ ගැටලුවක් ඔවුන්ට තිබී නැත්තේය.

යුන්හේගේ දෙනෙතින් කඳුළු කඩා හැළෙයි. ඒ කඳුළු දහරා මැඬලනු නොහැක්කේය. වීරවරිය අන්තිමේදී සිය ප්‍රේමවන්තයාගේ ආදරය දිනාගන්නීය. නමුත් ඇගේ කඳුළු ඇගේ සැබෑම චරිතය උදෙසාය. ඇයගේ ජයග්‍රහණය උදෙසාය. සිය ප්‍රතිවාදීන්ට ඉහළින් යන්ට තමන් සමත් වූ නිසාය. දැන් ඉතින් තමා නොතකා සිටින්ට ඔවුන්ට බැරි වන නිසාය.

වේදිකාව පිටුපස ඇයගේ වේෂ නිරූපණය ඉවත් කරන අවස්ථාවේදී යුන්හේ යළිත් හඬා වැටෙන්නීය. ඉකිගැසීම එන්නේ කොතරම් සැණින්ද යත් ඇයටම එය පාලනය කරගන්ට බැරිය. එක සැණින් දොර ඇදගන්නා ඕ එතැනින් පිටව යන්නීය.

1930 අවුරුද්ද. වේදිකාව මත ඇගේ මුල්ම පෙනී සිටීමත් සමඟම රඟහල නවතියි. ඉනික්බිතිව නාට්‍ය කණ්ඩායම සහ පාසලද නවතියි. හේතු දෙකකි. අරමුදල් නැතිකමත් දේශපාලන අස්ථාවරභාවයත්ය.

ණය ගෙවන්ට බැරිකම නිසා චීනය ගැඹුරටත් පුළුලටත් විදේශීය මැදිහත්වීම් තුළ ගැලෙන්ට වෙයි. යුද නායකයන්ගේ අභ්‍යන්තර ගැටුම්වලින් ගොවි ජනතාව අපමණ පීඩනයකට පත්ව සිටිති. මාස ගණනාවක් මුළු භූමියම වෙළාගත් දරුණු නියඟයකි. බඩු බැඳගෙන යන්ට යුන්හේ තීරණය කරන විට සෙසු හැමදෙනාමත් වෙන් වී ගොසින්ය. ඒ නම්, සියලුම සතුන් සිවුපාවුන් ජීවිතය බේරාගැනීම සඳහා අතහැර පළා යන වනාන්තරයක් වැන්න.

පළා යනු සඳහා යුවතිය වෙත මිල මුදල් නැත. අත්තලා සහ අත්තම්මලා වෙත යන්ටත් ඇගේ සූදානමක් නැත. ඇගේ මව මේ දුව සොයාගන්ට කිසිවිටෙකත් වෑයම් නොකළාය. මේ වනාහි ඇයට අම්මා කෙනෙකු අවශ්‍ය වන වෙලාවය. ඉන්න තැනකුත් දන්න හඳුනන මුහුණකුත් ඇයට ඕනෑය. එහෙත් අම්මා නම් ඇය වෙත නොඑනු ඇත්තේය. සැබැවින්ම අසරණ වන විට අම්මා විසින් සිය දියණිය සඳහටම අතහැර ඇත්තේය. උදවු ඉල්ලා තමා තුළ හඬන වැලපෙන දැරිය මව විසින් කොනිත්තා ගලවා ඉවත දමා ඇත්තේය. හරියට තමාගේ සතුරකු වැන්න. ඉකිබිඳුම නවතින තුරුම අම්මා තමා තුළ හඬන දැරිය කොනිත්තමින් සිටින්නීය. අන්තිමේදී ඒ ඉකිබිඳුම නවතියි. හිමකැටි බවට පත් වන ඒ ඉකිබිඳුම ගල් වෙයි. ආයෙත් දිය නොවන්නටම ගල් වෙයි.

මම මගේ බඩු මුට්ටු සියල්ල විකුණා බීජින්වලට දුම්රිය ටිකට්පතක් මිලට ගතිමි. රඟපාන රස්සාවක් සොයමින් මම ඇවිදිමි. මා වෑයම් කළ යුත්තේය. නගරය මා ගැන තැකීමක් නොදක්වයි. මා කොහේ ගියත් මගේ මැන්ඩරින් බසේ ශාන් - ඩොන් උච්චාරණය හාස්‍යයට ලක් වෙයි. ශබ්ද පරීක්ෂණවලට මම යමි. එහෙත් ආපසු කැඳවීමක් නැත්තේය. මාස දෙකක් ගත වන විට මම අන්තිම තුට්ටුවට වැටී සිටිමි. ණයට මුදලක් දෙන කෙනෙක්ද නැත. නිළියක් හැටියට මට අනාගතයක් ඇතැයි කියන කාරණය පිළිගන්නා කිසිවෙකුත් නැත. මුලදී නම් එය මට ප්‍රශ්නයක් නොවේ. නමුත් සීතල දැනෙන විට කුසගිනි දැනෙන විට මට මා ගැනම සැක සාංකා ඇති වෙයි.

බීජින් නුවර සිට සිය අත්තලා අත්තම්මලා වෙත ආපසු පැමිණෙන යුවතිය ඔවුන්ගේ අභිලාෂයට ඉඩ දෙයි. ඒ කියන්නේ විවාහයක් කරගන්ටය.

ෆෙයි, ඇගේ සැමියාගේ නමයි. විල්තෙරේ සිද්ධිය නාටකයේ රඟපෑ දවස්වල ඇගේ රසිකයෙකි. ඔහු සතුව පුංචි ව්‍යාපාරයක් තිබුණි. සිය ජීවිතයේ පසු කාලයේදී ෆෙයි මහතා සමඟ කරගත් මේ විවාහය ගැන ඇය සඳහනක්වත් කරන්නේ නැත. මිනිහාගේ මුහුණ මතකයට කැඳවන්ටද ඇගේ කැමැත්තක් නැත. ඔහු නම් තමන් ගිලෙන්ට යන ගංගාව මැදදී ඇයට හමු වුණු ගල් කුළක් පමණි. ගල් කුළට සමීප වුණු ඇය සිය දිවි බේරාගත්තාය.

එහෙත් විවාහ උත්සවයේදී ඇය කීකරුව සුවචව සිටින්නීය. අලුත් අවුරුදු තෑග්ගක් මෙන් රතුපාට සේද රෙද්දෙන් ඔතා ඇය ගෙන යනු ලබන්නේ පල්ලැක්කියකිනි. ඒ නැන්දලා මාමලා සතුටු කරන්ටය. තමා බැඳගන්ට කැමැත්ත ලබාගනු සඳහා අත්තා ෆෙයි මහතාට මුදල් ගෙවන්ට ඇතැයි යුන්හේ තුළ සැකයක්ද පහළ වෙයි.

දැන් ඕ, බිරිඳකි. ලේලියකි. ඇයට අමුත්තක් දැනෙයි. මේ භූමිකාවට තමා සූදානම් නැතැයි හැඟෙයි. මුල්ම රාත්‍රිය අතිශයින්ම ඝෝර රාත්‍රියකි. මිනිහා තමන්ගේ විජිතය ඉල්ලා සිටියි. තමා ඝාතන මේසයක් මත දැමූ සතකු වැනි යයි ඇයට සිතෙයි. ඔහුගේ පෙනුම ඇයට සිහිපත් කරන්නේ තණ උලා කා තෘප්තියට පත් වුණු එළුවෙකි. ඇයගේ දෙවටොර අතරින් රුධිරය ගලා යයි. ඇය තුළ ඇත්තේ නොරිස්සුමකි. පිළිකුලකි.

ඔපෙරාවල සිදු වන්නාක් මෙන් ප්‍රේමයෙන් බැඳෙන්නට මම සිහින දකිමින් සිටියෙමි. මගේ අලුත් සැමියා බුද්ධිමත් වගේම මගේ දුක සැප බලන කෙනෙකු වෙතැයිද මම බලාපොරොත්තුව සිටියෙමි. වසන්තයේ සමනලුන් මෙන් අපට ජීවත් වන්ට හැකි වෙතැයිද මම බලාපොරොත්තු වුණෙමි. ඔහු වෙනුවෙන් හඟින්නට - හැඟුම්බරව සිටින්නට - මම සිතා සිටියෙමි. එහෙත් මගේ බලාපොරොත්තු - අවස්ථාවන් - සියල්ලම මගෙන් උදුරාගනු ලැබුවේ මගෙන් නොඅසාමය. හැම රාත්‍රියකදීම මට ෆෙයි මහතා පෙනෙන්නේ මනෝරම්‍ය විලාසයෙන් ගෙත්තම් කරන ලද මගේ සිහිනයේ එකිනෙක හුය පට ගලවා ඉවත් කරන තැනැත්තෙකු ලෙසිනි.

ඔහුගේ කාරිය මැදදී මම හඬා වැලපෙමි. මා වීදියේ සිටින වෛශ්‍යාවන්ගෙන් කොතරම් නම් වෙනස්ද? ඒ හැමවිටම සිතෙන්නේ මා අම්මාට වරදක් කර ඇති බවය. මා හැමදාමත් සිතා සිට ඇත්තේ ඇය මගේ ජීවිතය එකම අවුල් ජාලයක් කරන්නට කටයුතු කළ බවකි. මට දැන් වැටහෙන කාරණයක් ඇත්තේය. එනම් තරුණියකට තමන් කැමති හැම දෙයක්ම කළ හැක්කේය. ඒ අතරම තම ජීවිතය එකම අවුල් ජාලයක් බවටද පත් කර ගත හැක්කේය.

දැන් යුවතියට ඉන්ට හිටින්ට තැනක් ඇත. තමාගේ බිල්පත් ගෙවන්ටත් මිනිහෙක් සිටියි. ඇයගේ ශක්ති වේගය යළිත් පණ උපදියි. තමාගේ ජීවිතය තමාගේම පාලනය යටතට ගන්ට ඇය දැන් සූදානම්ය. ඇය කිසිවක් ගැන සිය සැමියාගෙන් විමසන්නේ නැත. ඔහුගේ උපදෙස් පතන්නේ නැත. ඇයට හිතෙන්නේ මේ මිනිහා තමාගේ සැබෑ ජීවිත දර්ශනයේ කරුවක් - රුකුලක් - හැටියට පමණි.

තම නිදහසට ඇති කරුණු හැටියට ඇය දක්වන්නේ නැන්ද මාමලාගේ මැසිවිලිය. ඔවුන් කියන තාලයටම තමාට ජීවත් වන්ට බැරිය. ආයෙත් මගේ දෙපා බැඳ තබන්ට ඔහේගෙ අම්මාට ඕනෑ වී ඇත. ඒ වාගෙ තැනක ජීවත් වන්ට මා කැමති නැත. ඇය සැමියාට කියන්නීය. දෙපස අතරට පැමිණෙන ස්වාමිපුරුෂයා සමථයකට උත්සාහ කරයි. නමුත් ඒ ගනුදෙනුව හරියන්නේ නැත. දිකකසාදය සිදු වන තෙක් ඔහුගේ බිරිඳට නැවතී බලා සිටින්ට බැරිය. මිනිහාට ඇය අභිබවන්ටත් බැරිය. ඇය නිදහස් කර හරින්ට සිදු වනු ඇත්තේය. ඉන් මෙහා නම් විසඳුමක් ඇත්තේම නැත.

ෆෙයි මහතා වාඩිවීගෙන ඇබකසය - ගණන් කරන බෝල රාමුව - අතට ගනියි. ඔහු ගණන් හදා බලයි. අන්තිමේදී තීරණයක්ද ගනියි. ලාබ නොලැබෙන ව්‍යාපාරයක තමාට තවදුරටත් ආයෝජනය කළ නොහැක්කේය.

තම සාක්කුවේ මුදල් ප්‍රමාණයක්ද ඇතිව යුවතිය යළිත් ගමනේය. සැමියා පිළිබඳව ඇය කිසිවකු සමඟ කතා කරන්නේ නැත. ඇය පසු කලෙකදී තමා මෙවැනි විවාහයක් කරගෙන තිබුණු බැව් කිසිසේත්ම පිළිගන්නේ නැත. මාවෝට පසුව චීනයට නායකත්වය දෙන කාන්තාව දේවතාවියක විය යුත්තේය. තමාට ස්වාමි පුරුෂයන් වැඩි සංඛ්‍යාවක් සිටියේ යයි හෙළිදරවු වීම බලය දෙසට යන ගමනට බලවත් බාධකයකි.

තමා කිකිළියන් අතර මොනරකු වෙතැයි ඇය සිතන්ට පටන්ගන්නේ 1930දීය. එය ඔප්පු කරන්ට ඇති හොඳම සාක්ෂිය ඇගේ ජීවිතයයි. ඇතැම් විට කෙනෙකු මැනගන්ට සසඳන්ට සහ පිළිගන්ට නම් කුකුල් කොටුවකට දැමිය යුතු යයි ඇය තමාටම පවසන්නීය.

මම මගේ විවාහයෙන් පළා යමින් සිටිමි. අවුරුදු දහඅටක යුවතියක්. හොඳට අධ්‍යාපනය ලබාද නැතිව ලෝකයේ තනි වන කාන්තාවක්. තැනින් තැනට මා ඇවිද්ද වාර ගණන මට මතක නැත. මගේ කෙස් කලඹෙහි උකුණන්ය. මගේ යට ඇඳුම් ගඳ ගසයි. සියල්ල අතහැර දමන්ට මම සිතමි. මා දැනටමත් කර ඇත්තේද එයයි.

අන්තිමේදී ශාඕ තායිමෝ ඉන්නේ කොහිදැයි සොයාගන්ට මම සමත් වෙමි. දැන් ඔහු ශාන් - ඩොන් විශ්ව විද්‍යාලයේ සභාපතිය. ඔහුට මා මතක ඇතුවාට සැකයක් නැත. මට අත දෙන්ට මගක් ඔහු සොයනු ඇතැයිද මට විශ්වාසය. එහෙත් මගේ බලාපොරොත්තු සුන් වෙයි. ශාඕ මහතා කියා සිටින්නේ තමාට වැඩ අධික බවකි. ශිෂ්‍යාවක වන්ට අවශ්‍ය නම් මා ඇතුළත් වීමේ කාර්යාලය හරහා ඉල්ලුම් කළ යුත්තේය. එසේ කරන්නේ කෙසේද?මට ඩිප්ලෝමාවක් ඇත්තේ නැත. මා ප්‍රාථමික පාසලේ අධ්‍යාපනයද අවසන් කර නොමැත. එහෙත් අධෛර්යට පත් නොවන්ට මම උත්සාහ කරමි. මම ශාඕ මහතාගේ බිරිඳ යූ ශාන් වෙත ගොස් ආයාචනා කරමි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ඉතිරි කොටස හෙට පත්තරය සමඟ....

මාතෘකා