රඟමඩලෙන් මහ පොළොවට

 ඡායාරූපය:

රඟමඩලෙන් මහ පොළොවට

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

විදේශිකයන් විසින් රට අත්පත් කරගෙන ඇත්තේ අපේ ජාතියේ පරාජයේ ප්‍රතිඵලයක් හැටියට බැව් තමාට කිසිවකු කියා නොතිබිණැයි යුවතිය පවසන්නීය. මගේ පාසල් පොතේ තිබෙන හැටියට, චීනය හැමදාමත් කීර්තිමත්ය. ශ්‍රේෂ්ඨය. එහෙත් අපේ රටේ කර්මාන්තශාලාවල පාලකයින් හැටියටත්, දුම්රිය මාර්ග සහ පුද්ගලික මන්දිරවල අයිතිකාරයන් හැටියටත් විදේශිකයන් ඉන්නේ ඇයි? මගේ අත්තා වරක් ගැඹුරු සුසුමක්ද පිට කරමින් කී දෙයක් මට මතකය. ඉගෙන ගැනිල්ලත් පොතපත කියවිල්ලත් වැඩකට නැති දේවල්. අධ්‍යාපනය ලබන තරමට, ඉගෙනගන්නා තරමටම, කෙනෙකුට දැනෙන්නේ හැඟෙන්නේ තමන් ගැන ලජ්ජාවක් - නින්දාවක් - විතරයි. මගේ අත්තා ඔපෙරාවට කැමති මන්දැයි දැන් මට වැටහෙයි. ඒ තමන්ගේ ආත්මය හිරිවට්ටා ගන්නට විතරය. ඔපෙරාවේදී ඔහු දකින්නේ චීනයේ පුරාණ ශ්‍රී විභූතියයි. මිනිස්සු තමන්ම රවටාගෙන සිටිති.

තමා වැඩට ලැදි ශිෂ්‍යාවකැයි පාසලේදී යූන්හේ ඔප්පු කර ඇත්තීය. ඇගේ කමිසය හැම විටම දහදියෙන් තෙමී ඇත. ඇගේ දණහිස්වලත් වැලමිටිවලත් සිරීමේ තුවාලය. ඒ යුද ශිල්ප පුහුණුව ලබන්ට යාමේදීය. කටහඬ ප්‍රගුණතා පන්තිවලදී ඇය පැය ගණන් ගායන වෘන්ද ඉගෙනගන්නීය. පරිසමාප්ත තත්ත්වයට පත් වන තෙක් ඇය පන්තියෙන් පිටට යන්නේ නැත. ඇය තමා ගැනම තබා ඇත්තේ ඉහළම බලාපොරොත්තුය. ගුරුවරු ඒ ගැන බලවත් සේ පැහැදී සිටිති. ඒ නිසාම ඇය ආදර ගෞරවයටද පාත්‍ර වන්නීය. පන්ති අවසානයේදී යුන්හේගේ සිනාහඬ කාටත් ඇසෙයි. හරියට සීනු හඬක් සේය. පිරිමි ශිෂ්‍යයෝ ඒ හඬට වශී වෙති. ඔවුන්ට මේ කෙල්ලගෙන් සිය දෑස් ඉවතට ගන්නට බැරිය. කිසි සේත්ම මැඬලිය නොහැකි කිසිවක් ඇය කෙරෙහි ඇත්තේය. පිරිමි ළමයින් ඇය කෙරේ ආකර්ෂණය වන්නේ ඒ නිසාය. ඔවුන් තුළ ඇය සම්බන්ධයෙන් හටගැනෙන්නේ ගුප්ත හැඟීමකි.

යුවතිය නාට්‍යයට ආදරය කරනවා පමණක්ම නොවෙයි. ඕ සිය දෛනික ජීවිතයේදී නාට්‍ය නිර්මාණය කරන්නීද වෙයි. මුලින්ම එය ඇය උනන්දුව දැක්වූ විෂයයයි. අනතුරුව එය අවශ්‍යතාවකි. පීඩාවකි. අවසානයේදී ඇගේ මුළු පැවැත්ම රඳා පවතින්ට වන්නේ නාට්‍යය තුළය. ඇගේ මනඃකල්පිතය, අපූර්ව සිහිනය, ඇයට හඟින්ට වන්නේ නාට්‍යාකාරයෙනි. කිසියම් භූමිකාවක් ඇය නිරූපණය කළ යුතුමය. නැතිනම් ඇය චංචලය. ආතතියක් දැනෙන්නේය. සනීප නැතුවා වගේය. වෙනත් භූමිකාවකට තෝරාගන්නා තෙක්ම ඇයට සුවයක්ද දැනෙන්නේ නැත.

ඒ මධ්‍යම රාත්‍රියයි. දෙගොඩහරිය වන විට කොන්ෆියුසියස් විහාරස්ථානය අතහරිනු ලැබ සිටින අවතාරවලින් පිරී ඇති තැනකැයි කියති. මේ අවතාර තමන්ට හුස්ම ගන්ට හැකිව තිබුණු කාලයේදී සම්ප්‍රදායට අකීකරුවීම හේතුකොටගෙන දඬුවම් ලැබූ අයවලුන්ය. අනෙක් කිසිම පන්සලක් මොවුන් එකතු කරගන්නේ නැත. අඳුර වැටුණු පසුව හිස් මිදුලෙහි ඇති උස් තණ පඳුරු සෙලවෙන විට පියසි කෙළවර සිට ගඩොල් කැට වැටෙන්ට පටන්ගනියි. කොන්ෆියුසියස් සහ හැත්තෑදෙකක් වන ඔහුගේ සව්වන් ආපසු ජීවිතයට පැමිණෙන්නේ එවිටය. ඔවුහු මේ අවතාරවලට බණ කියති. දේශනා පවත්වති. එසේ කොට මේ අවතාරවලට ආපසු සිටි තැන්වලට යන්ට උදව් කරති. විහාරස්ථානයේ ඈත අන්තිම කෙළවරේ ඇති කොන්ෆියුසියස් ප්‍රතිමාව එහි ඇති උසම දර්ශනයයි. තද දුහුවිලි තට්ටුවලින් පිරී ඇති ප්‍රතිමාව පාද දෙකේ සිට හිසෙහි බැඳි සළුව තෙක්ම මකුළුදැලින් වැසී ඇත්තේය.

ඔපෙරා පාසලේ ඉගෙනගන්නා පිරිමි ළමයි රාත්‍රියේදී මේ විහාරයට යන්ට බිය වෙති. එක් රැයකදී ඔවුහු අලුත් ක්‍රීඩාවක් නිර්මාණය කරති. බය නැති කෙනෙක් සිටිනවා නම් දෙගොඩහරි යාමයේදී විහාරයට ඇතුළු වී කොන්ෆියුසියස්ගේ හිසේ බැඳි සළුව රැගෙන ආ යුතුය. ඔහුට ත්‍යාගයක් පිරිනැමෙයි.

මුළු සතිය පුරාම මේ අභියෝගයට කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නැත. සත්වැනි දිනයේදී කිසිවකු ඒ සළුව උදුරාගෙන ඇවිත් ඇත.

සියලු දෙනාම මවිතයට පත් වෙති. ඒ යුන්හේය.

ගොතන ලද සිහින් කොණ්ඩ කරල් දෙකද ගස්සමින්, මුදුණෙහි දඟකාර විරිත්තිල්ලක් මවාපාගෙන, අත්පොලසන් දෙන පිරිස ඉදිරියේ යුවතිය සිනාසෙයි.

ශාඕ මහතාත් ඔහුගේ බිරිඳත් එක්ව තමාට යහපතක් සිදු කරනු ඇතැයි යුවතිය තුළ හැඟීමක් ඇත්තේය. නිදසුනක් වශයෙන් කියතොත් ඔවුන් දෙදෙනා තමාට කිසියම් අවස්ථාවක් ලබාදෙන්ට හැකියාව ඇති කෙනෙකුව තමන් හඳුන්වා දෙනු ඇත්තේය. ඇය සිය බලාපොරොත්තුව තබා සිටින්නේ ඇය තුළ වන් ඒ ඉව මතය. ජීවිතයේ පසුකාලයේ බොහෝ අවස්ථාවන්හිදී ඇය කටයුතු කර ඇත්තේ ඒ ඉව අනුවය.

ඇය නොකඩවාම ප්‍රගුණ කිරීමේ කාරියෙහි ඉදිරියට යන්නීය. ක්වින්ග්යි චරිතයද ඇයට පුහුණු කරනු ලැබෙයි. ඒ වූකලී ශෝකාත්මක වූ සාම්ප්‍රදායික ගැහැනු චරිතයකි. යුවතියගේ සුන්දර පෙනුම මේ චරිතයටම මොනවට ගැළපෙයි. රංගනයේදී ඇගේ අංග චලන සැබැවින්ම මනෝනන්දනීයය.

මේ වන විට ඇයට හතුරෝද බිහිව සිටිති. තමන්ට හිමි අවස්ථාව ලබාගන්ට නම් මේ සතුරු බලවේග සමඟ සටන් කළ යුතු බැව් යුන්හේ අවබෝධ කරගනියි. ශැන්හයිහි සුප්‍රකට නාට්‍ය කතුවරයකු වන තියෙන් හෑන් විසින් ලියන ලද “විල්තෙරේ සිද්ධියක්” නමැති අලුත් නාට්‍යයට චරිතයක් අවශ්‍යව ඇත. ශ්‍රවණ පරීක්ෂණයට යුන්හේත් සහභාගි වන්නීය. එහෙත් ඇය පරාදය. ඒ චරිතයට තෝරාගැනෙන්නේ ඇගේ කාමරයේ එකට සිටින මිතුරිය වන සිහින් කෙස් ඇති තරුණියකි. ඇගේ සොහොයුරා ඒ පාසලේ ශික්ෂකයෙකි.

මේ ඔපෙරාවේ මුල් දර්ශන අවස්ථාවේදී යුන්හේට දැනෙනුයේ, බලවත් දොම්නසකි. පීඩනයකි. තමා තුළ නැගී එන ඉරිසියාව, ඇයට කොහෙත්ම දරාගන්නට බැරිය. ඇගේ ඒ අසීරුතාව - වේදනාව - මුහුණ පුරාම ලියැවී ඇත්තේය. දර්ශනය පැවැත්වෙන අවස්ථාවේදී, ඇයට තම රැකියාව අමතක වෙයි. ඇයට සිතෙන්නේ ගහක උඩ සිට බිමට පනින්නටය. ඇතුළතින් වද දෙනු, ඇයට දැනෙයි. මේ අවස්ථාව රඟ දක්වන්ට, වඩාත් සුදුසු තැනැත්තිය තමා නොවේදැයි ඇයට සිතෙයි.

මගේ දෙපා බැඳ තබන්ට හැමවිටම දුෂ්ට හස්තයන් උත්සාහ කෙළේ යයි අනාගතයේ දිනෙක මාවෝ මැතිනිය පවසනු ඇත්තේය.

හැම දිසාවෙන්ම සුළං රළ ඇවිත් පහර දෙන විටද මම බලාපොරොත්තුව අත නොහරිමි. මගේ ලොකුම ශක්තිය එයයි. මා දලු ලා අතු ඉති ලා වැඩුණේ අහම්බෙනැයි, කිසිවකු කියා ඇත්තේය. නැත. එය අහම්බයක් නොවේය. මගේ අවස්ථාවන් නිර්මාණය කරගන්නේ මවිසින්මය. වැස්සෙදී වුණත් හිම පතනයේදී වුණත් මා එක දර්ශනයක්වත් කිසිවිටෙක අතහරින්නේ නැත. මම හැමවිටම එහි සිටියෙමි. අවශ්‍යතාවන් සපුරන්ට ඉදිරිපත්ව සිටියෙමි. මා කිසි විටෙක පමා වූයේ නැත. කල් තියා නිදහස් වන්ට නිදහසට කරුණු කීවේද නැත. නායකත්වය දෙන මහත්මිය දෙස මම බලා සිටියෙමි.

එසේය. කඳුළු එන තරමටම මට එපා විණි. එහෙත් මම එහි ඉන්ටම තීරණය කෙළෙමි. ඒ චරිතයේ හැම ගායන වෘන්දයක්ම හැම වචනයක්ම මම කටපාඩම් කරගතිමි. ඊළඟට සිදු වන්නේ කුමක්දැයි කල් තියා කියන්ට තරම් නුවණක් මට තිබුණා නොවෙයි. මා දැන සිටින එකම කාරණය නම් කෙනෙකුට ඔරුවෙන් යන්ට ඕනෑ නම් ගංගාව සමීපයේම සිටිය යුතු බවය.

නායක චරිතය කරන කාන්තාව ප්‍රතිශ්‍යා රෝගයෙන් පෙළෙන්නීය. අසනීප වුණත් දර්ශනය අතහැර යන්ට ඇගේ කැමැත්තක් ඇත්තේ නැත. දින ගණන් ඇය නාට්‍යය ඇදගෙන යන්නීය. එදින සඳුදාවකි. සන්ධ්‍යා භාගයේදී වැස්ස කඩා හැළුණි. හොඳටම තෙතය. නිළිය සිටින්නී, ඇද වැටෙන්ට ඔන්න මෙන්න කියාය. තිරය තුළින් එබිකම් කර පැමිණ සිටින සුළු පිරිස දෙස බලන ඕ එදින රෑ තමාට නිවාඩුවක් දෙන්නැයි ඉල්ලා සිටින්නීය. ඒ තරම් කෙටි දැනුම්දීමක් හේතුකොටගෙන වේදිකා කළමනාකරුට හොඳටම කේන්තිය. රික්ෂෝවක් කැඳවන නිළිය නාට්‍ය ශාලාවෙන් පිටව යන්නීය. දැන් වෙලාව හතය. තිරය අරින්ට ඇත්තේ මිනිත්තු පහළොවකි. වේදිකා කළමනාකාරයා වේශ නිරූපණ කුටිය තුළ වටෙන් වටේට කැරකෙයි. හරියට බල්ලකු උගේම වලිගය වටේ කැරකෙන්නාක් මෙනි. තිර සීනුව හැඬවෙත්ම ඔහු මිට මොළවාගත් තම අතින් වේශ නිරූපණ කුටියේ කැඩපතට තදින් ගසයි.

බිඳුණු කැඩපත තුළින් යුන්හේගේ මුහුණ දර්ශනය වෙයි. චරිතයට හිමි සර්වාභරණයෙන්ද සැරසී සම්පූර්ණයෙන්ම සූදානම්ව.

දර්ශනය ගෙනියන්ට මම සූදානම් යුවතිය පවසන්නීය. මම සූදානම් වෙලයි ඉන්නෙ. සර්, මට අවස්ථාවක් දෙන්න.

නුඹේ සුදු මුහුණ, වත්සුණු පිළිකෙව් කරයි.....

කළමනාකාරයා නාට්‍යයේ මැදින් එන ගායන වෘන්දයක් කියවයි.

නුඹේ දෙතොලින්, සාදිලිංගම්වලටත් ඉගෙනගන්ට පාඩමක් ඇත. යුන්හේ හොඳට කටහැර, උච්චම ස්වරයෙන් ඒ පේළිය ගයන්නීය.

හිම බඳු සිරුරු මස පච්චවර්ණ ගලින් තැනුණු සිරුරු ඇට සිහිනයෙන් සිහිනයට අතුල්‍ය ලලනාව නුඹ මවා ඇත්තේ මේ ලොවට නම් නොවෙයි.

තිරය එසවෙන විට, මම මගේ චරිතයේ සිටිමි. ඕ මොන තරම් මනහරද? මට සිතෙයි. මගේ දෙකොපොල උණුසුම්ය. මම පහසු පියොවින් වේදිකාවේ සැරිසරමි. මා උපත ලබා ඇත්තේ මෙයටය. මම ගලා යමි. චරියේ ජීවගුණයත් සමඟ ගලා යමි. මගේ චරිතය ප්‍රේමය නාමයෙන් සිය ජීවිතය පුදන මොහොත එළඹෙත්ම ප්‍රේක්ෂකාගාරයෙන් විශාල ගෝසාවක් නැඟී එයි. මාත් රැගෙන ඔබ යන්න මට ඇසෙයි. මාත් රැගෙන ඔබ යන්න! ප්‍රේක්ෂකයෝ එවදනම ප්‍රතිරාව කරති. ඉනික්බිතිව, මුළු නෘත්‍යාගාරාය තුළින්ම නැඟී එන්නේ ඉකිබිඳින හඬකි. ඇදහිය නොහෙන සයුරු රළක් සේය. එක රළ ගෙඩියකින් තවත් රළ ගෙඩියකට පෙරළෙන අපූරුව. අහස උසට දිගට හරහට මගේ කන් අඩි පුපුරන තරමටම අත්පොලසන් හඬකි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා