මැඩම් මාඕ

 ඡායාරූපය:

මැඩම් මාඕ

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ම ඔපෙරා නරඹමි. ගායන වෘන්ද පිටපත් කරගනිමි. හුවෝශියාඕ යූගේ ආඛ්‍යානය සහ බටහිර මණ්ඩලයේ කතාන්තරය. පැරණි කතාන්තරවල චරිත ගැන මම සිහින දකිමි. වීරවරියන් - තමන්ගේ ප්‍රීතිය උදෙසා බිහිසුණු ලෙස සටන් කොට එය ලබාගන්නා ගැහැනු. ඔපෙරා නිළියක වීමට මමද තීරණය කරමි. වේදිකාව මත වීරවරියකගේ චරිතය ජීවමානාකාරයෙන් රඟ දක්වන්නෙමි. එහෙත් මේ අදහසට මගේ අත්තා විරුද්ධය. ඔහුට නම් නිළියක්ද ගණිකාවක්ද එකමය. මාත් අදහස අත්හරින්නේ නැත. මා ඔපෙරාවන්ට හඳුන්වා දීම ගැන අත්තා පසුතැවෙයි. මා තමාගේ අයිතියෙන් - රැකවරණයෙන් - අතහැර දමන්ට ඔහු තර්ජනය කරයි. නමුත් දැන් හොඳටම ප්‍රමාද වැඩිය.

ඇය පසුකලෙකදී කියන ලද්දේ වී මුත් දැරිය ඔපෙරාවට විකුණා ඇත්තේ නැත. නිවසින් පැන යන ඕ තුමූම ප්‍රාදේශීය ඔපෙරාවට එක්වන්නීය. තමා බාරගන්නැයි ඇය අයැද සිටියි. මේ වන විට ඇය ඉතා රූමත්ය. හොඳට වැඩුණු තරුණ ගැහැනියකි. අතිශයින්ම ආකර්ෂණීයද වෙයි. තමා අනාථයෙකැයි ඇය පවසන්නීය. ඇය නිවසින් පැන යන්නේ තමා පිළිබඳ අයිතිය අත්හරින්ට අත්තාටවත් අත්තම්මාටත් අවස්ථාවක් නොලැබෙන පරිද්දෙනි. මෙය ඇගේ ජීවිතයේ මෝස්තරය බවට පත් වෙයි. තම සැමියන්ද, පෙම්වතුන්ද සම්බන්ධයෙන් ඇය අනුගමනය කෙළේ එකී පිළිවෙතමය. තමා අත්හරින්ට පෙර තමා ඔවුන් අතහැර යාමය.

යුවතිය ආධුනික නිළියක බවට පත් වන්නීය. ස්වකීය ශිල්පය ඉගෙනගන්නා අතරවාරයේදී ඇය ගෙබිම සෝදයි. වේෂ නිරූපණ ආම්පන්න පිරිසිදු කරයි. ගුරුලේත්තුවලට වතුර පුරවයි. ප්‍රධාන නිළියගේ ඇඳුම් අල්මාරියේ රැකවරණය භාරගනියි. රඟ දක්වන අවස්ථාවන් පුරාම ඇය තිරය ළඟට වී හිඳගෙන සිටියි. ඍතුවේ මුල්ම වැස්ස උරාගන්නා වසන්ත කෙත්යායක් මෙන් ඇයද සියල්ල උරාගනියි. අලුත් අවුරුදු සන්ධ්‍යා දර්ශනයේදී ඇයට නාටකයක පේළියක් කියවන්ට මුල්ම අවස්ථාව ලැබෙයි. ඒ පේළිය මෙසේය. තේ මැතිනිය.

මෙම භූමිකාව උදෙසා ඇය සිය රංගන ඇඳුම මුළුමනින්ම හැඳගන්නීය. ආලේප තැවරූ මුහුණ, රතු දෙතොල් යන මේ සියල්ල කැඩපත තුළින් දකින යුවතිය තමා පතාගෙන ආ ලෝකය තමා උදෙසා විවෘත වී ඇතැයි පසක් කරන්නීය.

එතෙකුදු මේ ස්ථානය ස්වකීය කැත මුහුණ ප්‍රදර්ශනය කරන්නේ දැන්ය. රාත්‍රියේදී දර්ශනය අවසන් වූ පසුව ඇයට ඇසෙන්නේ ඉකිබිඳින හැඬුම් හඬය. ඇගේ ස්වාමිදුව මුහුණේ වූ ආලේපන පිස දමා රංගන ඇඳුම ඉවත් කළ පසුව යුන්ගෝ ඉදිරියේ දර්ශනය වන්නේ මැලවුණු මුහුණකි. අවුරුදු විස්සක තරුණ කතක වුවද, ඇගේ පෙනුම අවුරුදු හතළිහක ගැහැනියකගේ වැන්න. මුහුණ පුරා රැළිය. ඇතැම් විට අවතාරයක් ඇවිත් ඇගේ මුහුණ අමුතු කරනවා විය හැකි යයි ඇයට සිතෙයි.

සිය ස්වාමිදූගේ අණින් පාත්ත ලේවලින් හැදූ සුප් ගෙනෙනු සඳහ යුවතිය එතැනින් ඉවත්ව ගිය පසුව ඇයට දැකගන්ට ලැබෙන්නේ බලා සිටින පිරිමි රොත්තකි. හැම රැයකම වෙනත් මිනිහෙකි. ඒ අය නාටක කණ්ඩායම් හිමියාගේ මිතුරන්ය. බොහෝ දෙනා වයසක අයය. එකෙක් දෙන්නෙකුගේ මුඛය පුරාම ඇත්තේ රත්තරන් දත්ය. ඔවුන් විනෝදයට පත් කරන්නැයි ස්වාමිදුවට අණකි. ඇය වෙහෙසට පත්ව සිටියත් කරන්ට දෙයක් ඇත්තේ නැත. ඇයට තමාගේ හදවත බාරගත් තරුණයා සමඟ කාලය ගත කරන්ට ඇත්තේ වී නමුත් කරන්ට දෙයක් නැත.

යුවතිය බලා සිටින්නීය. ඇය බලා සිටින්නේ ලොකු චරිතයක් ලැබෙනතුරුය. ඒ සඳහා ඇය වෙහෙස මහන්සි වී කටයුතු කරයි. කියන හැම දේමත් කරයි. ඉඳහිට ලැබෙන තැළුම්ද විඳ දරාගනියි. ඉවසන්නැයි ඇය තමාටම කියාගන්නේ සිය කුසලතා පරිසමාප්ත තත්වයට පත් කිරීමේ අභිලාෂයෙනි. තම සිරුරේ ඇති වන වෙනස්කම් කෙරෙහි ඇය අවධානයෙන් සිටින්නීය. සිය සිරුර කාන්තිමත් කුසුම් අවධියට එළඹ සිටින බැව් ඕ දනියි. කැඩපත තුළින් බලන විට, තමාගේ නෙත් යුග දීප්තිමත් බැව් දකියි. ඇගේ අඟපසඟ පරිපූර්ණත්වයට පත්වෙමිනි. ඇගේ ඉඟ කුඩා වන පමණටම, ළැම සරුවට වැඩෙයි. තමාට හොඳ අවස්ථාවක් ලැබෙන්නට යන බැව් ඇය විශ්වාස කරන්ට වෙයි. රාත්‍රියේ දකින සිහිනවල ඇත්තේ තමා පසුපස, තමා පමණක්ම පසුපස හඹා එන කැමරා රැස් දහරාවන්ය.

මම අත්තා පසුපස යමි. අප යන්නේ නිවස දිහාවටය. මම රඟපෑම අත්නොහරිමි. මට රඟපාන්ට අවශ්‍යව තිබුණු භූමිකාව මට ලැබුණේ නැත. මට කරන්ට ඇති කොටස් මට ඇති වෙලාය. බලාගෙන සිටීම ඉතා දිගය. වේදිකාවේ පසුපස කොටස සුද්දකරන්ට ඇත්තේ මටය. එද මට දැන් එපා වී ඇත්තේය. රබර් වැනි මුහුණක් ඇති ස්වාමි දුව ගැනත් ඇගේ මැසිවිලි ගැනත් ඇගේ අවකැපෙන වචන ගැනත් මට ඇත්තේ ඉමහත් නොරිස්සුමකි. හරියට පාද වෙලන රෙදි පටිවලට මෙනි. මා කණ්ඩායමෙන් ඉවත් කරවනු උදෙසා අත්තා විශාල මුදලක් ඔවුන්ට දී ඇත.

එහෙත් චන්ද්‍රයා ඝනවට වැඩෙන වලාකුළු දහරාවන් අතර සිය මුහුණ සඟවාගන්නා විට, මගේ සිතිවිලි යළිත් පණ ලබයි. සුපුරුදු පැරණි ඇඳ මත දිගා වී අවදියෙන් සිටින මා කල්පනා කරන්නේ, ඊළඟට යා යුත්තේ කොහේද? කළ යුත්තේ කුමක්ද? කියාය.

ඇලෙන බත් කැඳවලින් ඔතන රෙදි, ඉදිමෙන මාපට ඇඟිලි, ඉදිමුම සහිත දැවිල්ල, වළලුකරවට දැනෙන කටුවකින් අනින්නාක් වැනි වේදනාව, තමා ඒ සියල්ලෙන් මිදී ගැලවී ආ ආකාරය, යුවතියට සිහි වෙයි.

මගේ අත්තාටත්, අත්තම්මාටත් වැඩ අධික වෙලාය. ඔවුන් නගරයෙන් නගරයට යමින් එක මඟුල් කපුවකුගෙන් තවත් මඟුල් කපුවකු වෙත යමින් මේ වෑයම් කරන්නේ මගෙන් මිදෙන්නටය. දැන් මගේ වයස දාසයකි. පාලනය කළ හැකි කඩඉමෙන් එහාය. මගේ සිරුරේ ප්‍රමාණය හේතුකොටගෙන, අවුරුදු දහඅටක තරුණියක සේය, වැඩිදෙනෙකුට මා පෙනෙන්නේ. මගේ අත්තම්මා පවසන ආකාරයේ නිදහසේ දෙපාවලින් මට දැන් ඇවිදින්ටත් දුවන්ට පනින්ටත් පුළුවන. පියාපත් ලැබුණු කලෙක මෙන් මගේ දෙපාවලට ශක්තියක් දැනෙයි.

මගේම නිදහස පතා, මම දුවමි. මට තවත් ඔපෙරා කණ්ඩායමක් හමු වෙයි. එය හඳුන්වන්නේ ශාන් - ඩොන් පළාතේ පරීක්ෂණාත්මක නෘත්‍ය කණ්ඩායම කියාය. එය වඩාත් ලොකුය. වඩාත් පතළය. එය මෙහෙයවනු ලබන්නේ, කොන්ෆියුසියස්ගේ මුහුණුවර ගත් ශාඕ තායිමෝ මහතා යන කෙනෙකු විසිනි.

ෂාඕ තායිමෝ මහතාට කොන්ෆියුසියස්ගේ මුහුණුවර තිබුණද මොන අරුතකින් බැලුවත් ඔහු සාම්ප්‍රදායික මිනිහෙක් නොවේ. ඔහු බටහිර අධ්‍යාපනයක් ලැබූ මිනිහෙකි. යුන්හේගේ මුල් අවධියේ ජීවිතයේ ආලෝකය දල්වන ගිනිහුල ඔහුය. මාවෝ මැතිනිය පසුකලෙකදී තමාට ලැබුණු මඟපෙන්වීම පිළිබඳ ගෞරවය ඔහුට දීම ප්‍රතික්ෂේප කළාය. ඇය ඒ ගෞරවය මුළුමනින්ම තමන් වෙතම පවරාගත්තාය. එයට හේතුව නම්, තමා උපන්ගෙයිම නිර්ධන පන්තික කාන්තාවකැයි ඔප්පු කිරීමය. එහෙත් 1929දී අත්‍යවශ්‍යම සුදුසුකම් ඇය සතුව නොතිබියදී පවා ඇය ඇතුළත් කරගත්තේ ශාඕ තායිමෝ මහතාය. ඇගේ මැන්ඩරින් දැනීම දුර්වල වන අතර, කරනම් හැකියාවද කොහෙත්ම නැත. ශාඕ මහතා ඇදී ගියේ යුවතිය සතුව පැවති කැරලිකාර ජීව ගුණයටය. දීප්තිමත් කොට්ටම්බා ඇස්වලටය. ඒ සියල්ල පිටිපස වූ දැවෙන අනුරාගයටය. යුවතිය කාමරය ඇතුළට අඩි තබා පැමිණි විලාසයෙන්ම, ඇය තුළ වූ ඉමහත් ශක්ති කදම්බය ඔහු වටහාගනියි.

ශාන් ඩොන්හි සාහිත්‍ය සහ කලා කේන්දු විසින් ශාඕ මහතා පිළිගනු ලබන්නේ සෙසු අය තුළ ප්‍රබෝධය ඇති කළ හැකි මිනිහකු හැටියටය. ඔහුගේ බිරිඳ මනෝනන්දනීය ඔපෙරා නිළියක වන යූ ෂාන් ජනප්‍රිය තරමටම ආදර බුහුමනටද පාත්‍රව සිටින්නීය. වැදගත් පවුලකට අයත් වන යූ ෂාන් ඉතා හොඳ සමාජ සබඳකම්ද ඇත්තීය. යුන්හේ යුවතිය පැමිණෙන්නේ මෙම යුවළට වැඳ පුදාගෙනය. හැම ඉරිදා සන්ධ්‍යාවකදීම ඇය ෂාඕලාගේ විවෘත නිවසේ ආගන්තුකයෙකි. ඇතැම් දිනෙක ඇය පාතරාසය පවා නොගෙන උදේ රැයින්ම එනිවසට පැමිණෙන්නේ යූ ෂාන්ගේ ඔපෙරා ව්‍යායාම දැකබලාගන්නටය. යුන්හේගේ විනීතභාවයත් කුතුහලයත් යූ ෂාන්ගේ සිත්ගනියි. නොබෝ කලකින්ම දෙදෙනා හොඳ මිතුරියන් බවට පත් වෙති.

සාදවලදී සුපුරුදු පරිදිම යුන්හේ නිහඬය. කොනකට වී හිඳගන්නා ඇය සූරියකාන්ත ඇට හපමින් සවන් දීගෙන සිටියි. ඇය අමුත්තන් නිරීක්ෂණය කරයි. ඔවුනතරින් වැඩි දෙනෙක් ශිෂ්‍යයන්ය. මහාචාර්යවරුන්ය. සංගීතඥයින් සහ නාට්‍ය රචකයින්ය. ඒ අතර, ගුප්ත වර්ගයක ආගන්තුකයෝද වෙති. ඔවුහු වනාහි වාමපාක්ෂිකයෝය. රහසිගත කොමියුනිස්ට්වරුය.

විප්ලවවාදීන් සමඟ මගේ මුල්ම මුණගැසීම සිදු වන්නේ ෂාඕ තායිමෝ මහතාගේ සාදවලදීය. ඔවුන් තරුණය. කඩවසම්ය. අනුරාගීය. මා ඔවුන් දෙස බලන්නේ ගෞරවයෙනි. රිටිවල ගසා තිබුණු ලේ වැකි ඔළු ගෙඩි මට කිසිවිටෙකත් අමතක නොවෙයි. ඔවුන්ට තම ජීවිතය පරදුවට තබන්ට සිදුව ඇත්තේ කුමක් නිසාද?

ෂාඕ තායිමෝ මහතාගේ නිවසේදී, මට එයට පිළිතුරු ලැබෙයි. ඒ නම් තම රට ගැන ඔවුන් තුළ ඇති ආදරයයි. ඔවුන් කරන කාරියට වඩා ගෞරවාන්විත දෙයක්, මේ ජීවිතයේ ඇත්තේම නැතැයි මට සිතෙයි.

හදිසියෙන්ම, සාකච්ඡාවලට එකතු වන ආවේගයක් යුවතිය තුළ හටගනියි. අන්තිමේදී තම ශක්තියද එකතු පාදා කරගෙන කටහඬද පාදාගෙන සාකච්ඡාවලට එකතු වන්නට ඇයට මඳ කලක් ගත වෙයි.

මාතෘකා