පෑරුණු තුවාල ලුණු වතුරෙන් තෙමීම

 ඡායාරූපය:

පෑරුණු තුවාල ලුණු වතුරෙන් තෙමීම

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ඇතැම් දිනවල රාත්‍රියේදී අම්මා එනතෙක් බලාගෙන ඉඳලාම දැරියට ඇති වෙයි. ඇයට නිදාගන්ටත් බැරිය. නිවසින් පිට වී එළියට යන්නටත් බයය. ඇය නිහඬව ඇඳෙහි වැතිර සිටින්නීය. දෙගොඩහරිය ඉක්මුණු පසු වෙඩි උණ්ඩ පුපුරනු ඇයට ඇසෙයි. වෙඩි තබන තබන වාර ගණන ඇය ගණන් කරන්නීය. ඒ අනුව මිනිසුන් කී දෙනෙක් මරා ඇද්දැයි ඇයට දැනගත හැක.

පසු දින නගර දොරටුවේ එල්ලා ඇති හිස් ගණනත්, මවිසින් ගණින ලද වෙඩි පහර ගණනත් සැසඳෙයි. මගේ ලාසල් මිතුරියෝ මෙවන් කතා කියති. මම උඹව මරලා උඹේ ඔළු ගෙඩිය කොක්කක එල්ලනවා. එල්ලලා, අබිං පයිප්පයක් කටේ ගහනවා.

මම පාසලට වෛර කරමි. හැමවෙලේම ප්‍රහාරයට ඉලක්ක වන්නේ මාය. මට තාත්තෙක් නැත. අම්මා කරන රැකියාවන්ද සැක උපදවන ඒවාය. මා වෙනත් පාසලකට මාරු කරවන්නැයි මම අම්මාට කන්නලව් කරමි. එහෙත් තත්ත්වයේ වෙනසක් සිදුවන්නේ නැත. මට ජීවිතයම එපා වෙයි. දිනක් මගේ පන්තියේ ගැහැනු ළමයෙක්, ඔවුන්ගේ බල්ලා ලිහා මා දෙසට පැන්නුවාය.

පසු කලෙකදී රතු හමුදාවේ ගැහැනු නමින් නිෂ්පාදිත නාටකයේ මෙන්ම ඔපෙරාවේද, මාවෝ මැතිනිය එකී සිද්ධිය යොදාගත්තාය. සාහසිකයන් පැමිණෙන්නේ රෞද්‍ර බල්ලන්ද කැටුවය. බල්ලෝ වහල් දැරියක පසුපස හඹා යති. බල්ලාගේ දත්වලත්, දැරියගේ තුවාලයේත් සමීප දර්ශන, සිරුරේ කොටස්වල ලේ වැක්කෙරෙන හඬ.

මගේ අම්මාගේ මුහුණ හඳුනාගන්ටත් බැරි තරම්ය. ඇගේ ලස්සන කම්මුල්වල ඇට පෑදී ඇත. ඇගේ දෑස කුහර දෙකක් තුළ ගිලී ගොසිනි. ඇය කොතරම් රෝගීද යත්, පා ඔසොවා ටික දුරක්වත් ගමන් කරනු ඇයට අසීරුය. එහෙත් අප තවමත් ජීවන ගමනේය. අම්මා රස්සාවෙන් පන්නා දමනු ලැබ ඇත. ඇයට කතා කරන්ට අමාරුය. හුස්මෙන් හුස්මට ඇය කොඳුරන්නීය. ඇය තම දෙමාපියන්ට ලියුමක් ලියා, ඉන්ඩ හෙවණකුත් කන්ඩ දේකුත් ඉල්ලා සිටින්නීය. ඇය මීට කලින් එසේ නොකළේ මන්දැයි මට සිතෙයි. ඇය පැහැදිලි කොට කියන්නේ නැත. මට හිතෙන්නේ, ඇයට තම දෙමාපියන්ගේ මනාපයක් නැති බවකි. ඇතැම් විට අතීතයට අයිති නරක මතකයන් ඇතිවා වන්නට පුළුවන. නමුත් දැන් ඇයට කරන්ට වෙන දෙයක් ඇත්තේද නැත.

මගේ අත්තලා අත්තම්මලා ජීවත් වන්නේ ජිනාන්හිය. ඒ නම්, ශාන් ඩොන් පළාතේ අගනුවරය. ෂූ නගරය සමඟ සසඳා බලන විට, ජිනාන් යනු අලංකාර නගරයකි. එය පිහිටා ඇත්තේ කහ ගංගාවේ දකුණු පැත්තේය. ගං ඉවුරේ සිට සැතපුම් නමයක් තරම් දුරිනි. මේ නගරය ව්‍යාපාරික කටයුතුවලත්, දේශපාලනයේත් මධ්‍යස්ථානයකි. එය ඉතා පැරණිය. වීදිවලට දමා ඇති නම්වලින් එහි අතීත විභූතිය මොනවට කියවෙයි. අධිකරණ වීදිය, මූල්‍ය කාර්ය වීදිය, මිලිටරි වීදිය, අභිරමණීය විහාරස්ථානද, ඇස් නිලංකාර කරවන ඔපෙරාහල්ද එහි වෙති. මේ ඔපෙරාවලින් බොහොමයක් වේසා මඩු බව මට දැනගන්ට ලැබෙන්නේ කලක් ගත වුණාට පසුවය.

මට මගේ අත්තලා සහ අත්තම්මලා මීට පෙර කිසිදිනෙක මුණ ගැසී නැත. අපේ මේ හමුවීම, මගේ ජීවිත වෙනස් කරයි. මගේ අත්තා මගේ භාරකාරත්වය භාරගත් මොහොතේම, මා අම්මාගෙන් යැපීම එක පාරටම නැවතුණි. අත්තා බොහොම කරුණාවන්ත මිනිහෙකි. සැබැවින්ම, නිහතමානී ගති පැවතුම් ඇති ඇත්තෙකි. ඔහු කරුණු කාරණා දන්නේය. එහෙත් යථාර්ථය මේච්චල් කිරීමේ කාර්යයෙහිදී ඔහු ඉතා බෙලහීනය. ඔහු මට ඔපෙරාව ගැන කියා දෙයි. තමා ගායනා කළාට පසුව, ගායනා කරන්නැයි මටද කියයි. වාක්‍යාංශයෙන් වාක්‍යාංශයද, ස්වරයෙන් ස්වරයද කියා, ගයා අපි ඉතාම සුප්‍රකට ගායනා වෘන්ද සියල්ලම ප්‍රගුණ කළෙමු. මා එයට කැමති නැත. එහෙත් මා, ඔහු සතුටු කළ යුතුය.

හැම උදයකම තේ කෝප්පයක්ද අතැතිව වේවැල් පුටුවක හිඳගන්නා අත්තා දවසේ වැඩ අරඹයි. කතාන්තරය කුමක්දැයි ඔහු මුලින්ම මට කියාදෙයි. ඉනික්බිතිව, අවස්ථාවත් චරිතයත් ගැන කියා දී ඔහු සිය කටහඬ අවදි කරයි. ඔහු නම් භයානක තාලයේ ගායකයෙකි. ගායනා කරද්දී ඔහුගේ වේෂය විගඩම් ස්වරූපයක් ගනියි. ගායනා කරන්නේ කුමක්දැයි මතක නැති මුත්, මම ඔහු අනුව ගයමි. මම ඕනෑකමින්ම, ඔහුගේ දුර්වල ධ්වනිය අනුකරණය කරමි. මා නිවැරදි කරන්ට, ඔහු වෑයම් කරයි. කිහිප වතාවක් වෑයම් කිරීමෙන් පසු, මා දඟකාර බැව් පසක් කරන ඔහු, මා සමඟ උරණ වෙයි. එවිට මම හොඳින් හැසිරෙමි. පරිසමාප්ත කටහඬකින් ස්වර ගායනා කරමි. ඔහු අත්පුඩි සිනාසෙයි. ඔහුගේ මුව ඇරුණු විට මට පෙනෙන්නේ සම්පූර්ණ කුහරයකි. ඔහුගේ කටේ එකම දතක්වත් නැත.

අපි ඉදිරියට යමු. ඉක්මනින්ම, රාජධානි තුනේ ප්‍රේම වෘත්තාන්තයත් විශේෂයෙන්ම, හිස් වූ නගරයත්යන කෘතීන්හි එන කොටස්, මට දැන් කියවන්ට හැකිය. අත්තා බෙහෙවින්ම සතුටට පත්ව සිටියි. මටත් හැකියාවක් ඇති බැව්, ඔහු මට ඒත්තු ගන්වයි. කොල්ලෙක්ද කෙල්ලකද කියා ඔහුට අමුත්තක් නැත. ඇත්තේ එකම කොන්දේසියක් පමණි. ඒ ඔහු අනුකරණය කිරීමත් ඉගෙන ගැනීමත්ය. එ’නිවස තුළ මා කැමති ඕනෑම දෙයක් කරන්ට ඔහු මට ඉඩ දී ඇත්තේය. මගේ අත්තම්මා පුංචි නිහඬ බෞද්ධ කාන්තාවකි. ඇය කරන්නේ සිය සැමියා කරන කියන හැම දෙයක්ම අනුමත කිරීම පමණි. තමාට කියා මතයක් ඇයට ඇත්තේ නැත. ඇය හැමවිටම මා රැකගනියි, බේරාගනියි. නිදසුනක් හැටියට මා අත්තාගේ හොඳම තීන්ත කුප්පිය බින්දොත් එහෙම සිය පියුම් දෙපාවලින් වහා නගරයට ගොස් තමා ඉතිරි කරගත් මුදලින් තීන්ත කුප්පියක් ගෙනැවිත්, කැඩුණු එක තිබූ තැනින් තැබීම ඇගේ සිරිතය. ඇය එසේ කරන්නේ නිහඬවය. මම ඇයට ආදර ගෞරව දක්වමි.

මගේ අත්තා කාර්යයෙහි නිරතව සිටියි. ඔහු සිය හිස චක්‍රාකාරව කරකවයි. මමද එසේ කරමි. සතුටින් සිටින අවස්ථාවලදී ඔහු මාද ඔපෙරා බලන්නට එක්කන් යයි. හොඳම ඒවා නොවේය. ඒවා සඳහා නම් ප්‍රවේශපත්‍ර ගන්ඩ ඔහු ළඟ එතරම් මුදල් නැත. අප බලන්ට යන බොහෝ ඔපෙරාවන් කලින් සඳහන් කළ වේසා මඩුවල පෙන්වන ලද හුදු අනුකරණයන්ය. ඔපෙරා දර්ශන අවස්ථාවන්හිදී බේබද්දන් අතර කොතෙකුත් ගුටි කෙළිය. අත්තාගේ අපේක්ෂාව වනුයේ මා ප්‍රාථමික පාසලේ ඉගෙනීම සම්පූර්ණ කළ යුතු බවය. “උඹ කිකිළියන් අතර ජීවත් වන මොණරෙක්” ඔහු කියන්නේය. මා අමතන ඔහු එසේ කියන්නේ තමා හිඳගන්නා වේවැල් පුටුවේ බාහුව යළිත් සකස් කරමින් සිටින අතරවාරයේදීය. ඔහුගේ හිස ගෙබිම දෙසට නැමී ඇත. පස්සා පැත්ත යොමු වී ඇත්තේ සීලිම දෙසටය. ඔහුගේ යෙදුම මා කෙරෙහි විශාල බලපෑමක් ඇති කරන්ට සමත්ය.

අත්තා අප වෙසෙන නිවාස පේළියෙන් එහා පිහිටා ඇති පාසලක මගේ නම ලියාපදිංචි කරවයි. ඔහු මට සුදුසු නමක්ද තබයි. ඒ නම යුන්හේය. වළාකුළු අතර තියෙන දොඹකරය. ඔහු එකී ප්‍රතිරූපය අහුලාගන්නේ සිය ප්‍රථම ඔපෙරාව වන රත්තරන් ක්‍රීඩා මණ්ඩපය නැමැති ඔපෙරාවෙනි. දොඹකරය, බලාපොරොත්තුවේ සංකේතයයි.

අලුත් පාසල හරිම භයංකර තැනකි. පෝසත් පවුල්වල දරුවෝ තමන්ට හිතුණු හිතුණු වේලාවට දුප්පත් ළමයින්ට පහර දෙති. යුන්හේද හැකිතාක්ම ඉවසාගෙන සිටින්නේය. එක දවසක් ඇයට කොල්ලෙක් පහර දෙන අතර කෙල්ලෝ රංචුවක්ම අත්පුඩි ගසන්ට වෙති. එයින් ඇගේ කෝපය ඇවිස්සෙයි. එදා සිට දින කිහිපයක් ගතවන තුරුම දරාගන්ට බැරි තරමේ වේදනාවකින් ඇගේ මුළු සිරුරම දැවෙන්ට වෙයි. පිරිමි ළමයින් ගැහැණු ළමයින්ට අඩන්තේට්ටම් කරන අවස්ථාවක් වී නම් සුපුරුදු පරිදිම මට එය විඳ දරාගන්ට තිබිණැයි මාවෝ මැතිනිය පසු කලෙකදී කියන්නීය. එහෙම වුණේ නම් මා තනි නොවනු ඇත්තේය. මා පාවාදීමකටද බඳුන් වන්නේ නැත. නමුත් කෙල්ලන් - ගැහැනු - මහපොළව මත ඇති නොවටිනා තණපත් - උන් මට හිනාවෙන විට ඒක වේදනාවකි. මගේ තුවාල පෑරුණේත්, ඒ තුවාල ලුණු වතුරෙන් පෙඟුණෙත් එදාය.

සෙමෙන් සෙමෙන් මගේ මව මගේ ජීවිතයෙන් මැකී යන්ට වෙයි. ඇය දැන් විවාහ වී සිටිතැයි කියති. කා සමඟද? ඇය කිසි විටෙකත් සිය අලුත් සැමියාට අප හඳුන්වා නොදෙයි. ඇය නිකම්ම අතුරුදහන් වන්නීය. ගියාවේ. දොර වසා ඇත. මට ඇගෙන් කිසිවක් අහන්ට නොලැබෙයි. මව් පදවිය ඇයට එපා වී ඇතුවාක් විය හැක. කළ යුත්තේ කුමක්දැයි මා දන්නේ නැත. එකම දෙය නම් ඒ ආකාරයට ඇය සමඟ ඇති බැම්ම අවසන් කළ නොහැකි බව පමණි.

මාතෘකා