අපේක්ෂාභංගත්වය හා පලා යාම

 ඡායාරූපය:

අපේක්ෂාභංගත්වය හා පලා යාම

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

තමාගේ තාත්තා ගැන දැරියට ඇති මතකය නම්, ඔහු කටගොන්නක් බිමතින් ඉන්නා බවත්, ඔහු දරුණු බවත් පමණි. ඇගේ මවත් ඇයත් දෙදෙනාම, ඔහුට බයය. ඔහු ඔවුන්ට පහර දෙයි. ඔහුගේ කෝපය ඇවිස්සෙන්නේ කොයි මොහොතේදැයි කිව නොහැක. ඒ හැම වතාවකම, ඔහු දැරියගේ ආත්මය බිරාන්ත කරවයි.

ඔහු දුප්පත් මිනිහෙක් නොවේය. තමාගේ රට වැසියන්ගේ හිතට කාරණා කාවද්දන්ට හදන අවස්ථාවලදී, මාවෝ මැතිනිය ඒ ඇත්ත හෙළි කරන්නේ නැත. ඇය සිය පියා හඳුන්වන්නේ නිර්ධනයකු හැටියටය. ඇත්ත වශයෙන්ම නම්, ඔහු යමක් කමක් කර කියාගත හැකි ව්‍යාපාරිකයෙකි. නගරයේ වඩු කාර්මිකයාත් ලී සාප්පුකාරයාත් වූයේ ඔහුය. ඔහුට පූර්ණකාලීන කම්කරුවෝම හතරදෙනෙකි. ඔවුන්ගෙන් දෙදෙනෙක් අන්ධය. ඔහු ඒ දෙදෙනා යොදවනු ලබන්නේ, ලී මදින්නටය. ගෙදර අය කෑම ගන්නේ මේසය වටා හිඳගෙනය. දැරිය පාසල්ද යන්නීය.

මගේ තාත්තා මගේ අම්මාට තළන්නේ ඇයිදැයි මට කිසි විටක තේරුම්ගත නොහැකිය. සැබැවින්ම, කවදාවත්ම හේතුවක් තිබී ඇත්තේ නැත. ගෙදර කිසිවකුද, බේරන්ට මැදිහත් නොවෙයි. මේ පහරදීම සියලුම භාර්යාවන්ට ඇසෙයි. මගේ ඥාති සහෝදරවරුත් සහෝදරියෝත්, මගේ තාත්තා අම්මාට තළනු දකියි. එහෙත් කිසිවකු වචනයක්වත් කියන්නේ නැත. මගේ තාත්තා මගේ අම්මාට කැමති නැත. ඔහු ඇගේ කාමරයට පැමිණෙයි. පැමිණ, සපත්තු ගලවා ඉවත ලා, අම්මාට තළන්ට පටන්ගනියි. උපපතිනියන්, නැතිනම්, අනියම් භාර්යාවන් කියන්නේ, මිලට ගත් වහලියන්ය. සයනයට කැඳවාගෙන යන ළමිස්සියන්ය. තාත්තාගේ කෝපයට හැබෑ හේතුව, අම්මා පුතකු බිහි නොකිරීමදැයි මට සිතෙයි.

වටිනාකමක්- වැදගැම්මක්- ඇය තුළ නැතැයි යන බීජය, තාත්තා මගේ මව තුළ රෝපණය කරන්නේ එපරිදිය. ඇයට ජීවත්වන්ට සිදුව ඇත්තේ, එකරුණද සිත්හි දරාගෙනය. තමා හදා වඩාගත් ආකාරය සිහි වන හැම මොහොතක් පාසාම, ඇය තුළින් කඩා බිඳගෙන නැඟෙන්නේ මහත් වෛරයකි. කහ ගංගාවේ ගංවතුර මෙන්, ඒ කෝපය කඩාගෙන ඇවිත් රළ මත හැප්පෙයි. ඇයගේ ජීවිතය නමැති භූමි දර්ශනය වෙනස් වන්ට පටන්ගන්නේ, එකී රළ වේගයේ බිහිසුණුකමත් සමඟය.

ඇය වයසින් වැඩෙත්ම, ඒ වෛරයද තව තවත් නරක අතට හැරෙයි. හරියට, ගෙදර ඇති කරන සතකු මෙනි. ඒ වෛරය සුසුම් ලමින් ඇය දවමින්, ජීවිතයේ යටිපත්ල තුළ වැඩී යෙයි. ඒ හේතුකොටගෙන ඇයට නිරන්තරයෙන්ම දැනෙන්නේ, තමා නොවටිනා වැදගැම්මකට නැති එකියක බවය. එයට එරෙහිව සටන් කිරීමට ඈ තුළ වන ආශාව- එහෙම දෙයක් නැතැයි තමාටම ඒත්තු ගන්වන්නට ඇය කරන සටන- ඇගේ හැම ක්‍රියාවක් පසුබිමෙහිම ඇත්තේය.

මගේ ස්වාභාවය නම්, පීඩකයන්ට විරුද්ධව කැරලි ගැසීමය. "ඔබේම දිවෙන් හදපු මස් බෝලයක් කන්ට" හෝ "ඔබේ කැඩුණු බාහුව කමිස අත තුළ සඟවා ගන්ට"හෝ, ඉගෙනගත යුතු යැයි ඇය මා අමතා නිතර නිතර පවසන්නීය. නමුත් මා නම් සටන් කරන්නේ, කිසිවක ප්‍රතිවිපාක ගැන සිතා නොවෙයි.

අපේක්ෂාභංගත්වය හේතුකොටගෙන, අම්මා මට පහර දෙන්නීය. ඇය මට කොස්සකින් දමා ගසයි. මගේ හැටි සුබාව ගැන-මගේ පිළිවෙළ ගැන- ඇය තුළ ඇත්තේ මහත් බියකි. තරුණ විප්ලවවාදීන් මෙන්, මාද මරා දමනු ඇතැයි ඇය බිය වන්නීය. මරා දැමුණු ඒ තරුණ විප්ලවවාදීන්ගේ හිස් කපා වෙන් කොට, නගර ද්වාරයේ කොඩි කණුවල ගසා ඇත්තේය. ඔවුන් ඝාතනය කර ඇත්තේ බලධාරීන් විසිනි.

අම්මා මට බැණ වදියි. ඇය මට මු-යූ කියා ගරහන්නීය. මු-යූ කියන්නේ, මහණකු හැමදාම ජප කරන මන්ත්‍රය කියන එකය. නමුත් මා හරි මඟට ගන්ට බැරිය. අම්මා මට පහර දීමෙන් හොඳටම හති වැටුණු පසුව, හඬා වැටී ඉකි බිඳින්ට වෙයි. තමා කමකට නැති අම්මා කෙනෙකු යයිද, තමාට ඒ පව් ඊළඟ ආත්මයේදී ගෙවන්ට සිදු වෙතැයිද, ඇය මනස්තාප වන්නීය. තමා ඉතා අවාසනාවන්ත කාලකණ්නි සතකුව උපත ලබනවා ඇත. ජීවත්ව සිටින තාක් කල් ලොකු බර අඳින්නටද, මැරුණු පසුව අනුභවයට ගන්ටද, හමෙන් කංචුක මහන්ට සහ අං බෙහෙතට ගන්නටද සිදු වන එළඳෙනකුව උපත ලබනවා ඇත.

අම්මාගේ කඳුළු වැකුණු මුහුණ දකින හැම මොහොතක් පාසාම, මා දකින්නේ, මාද වයසට පත් වන බවය. මගේ හිසෙහි කෙස් ටික සුදු වනු වැන්න. අම්මාට වද දෙනු බලා සිටීම මට ඉවසන්නටම බැරිය. මා නිතර හිතන්නේ, පතන්නේ ඇය මියගියහොත් මැනවයි කියාය. එතකොට, තවදුරටත්, ඇයට මා බලාගන්ට සිදු නොවනු ඇත. ඒ බරෙන්, ඇය මිදෙනවාද ඇත.

එහෙත් අම්මා ජීවිතය ගෙන යන්නීය. ඒ, තමා වෙනුවෙනි. පුතකු යයි ඇය සිතා සිටින තමාගේ දුව වෙනුවෙනි. කාලකණ්ණිකම පිළිබඳ හැඟීම දැරිය තුළට කිඳා බැස, ඇගේ මුළු ආත්මය පුරාම පැතිර යන්නේ, ඒ ආකාරයෙනි. තමා කවරකුද යන කාරණය සම්බන්ධයෙන්, ජීවිතයේ වැඩි කලක්ම ඇය තුළ ඇත්තේ අතෘප්තියකි. එහි උත්ප්‍රාසය නම්, දැරිය හැම විටම වෑයම් කරන්නේ, අම්මාගේ බලාපොරොත්තුව ඉටු කිරීමට වීමය. ඇය සිය නිළි ජීවිතය අරඹන්නේ එපරිදිය. හොඳටම තරුණ වියේදී, තමාගේම නිවසේදී, විවිධ චරිත තුළට ඇය බැස ගන්නීය. එපරිදි, තමාට තමා නොවේ යයි ඇයට දැනෙන හැඟෙන හැම වාරයකදීම, ඇය තුළ හටගන්නේ සහනයකි. බියෙන් මිදුණු තත්වයකි. ඇය දැන් සිටිනුයේ, සුරක්ෂිත තැනකය. තාත්තාගෙන් පැමිණෙන භීතියත්, අම්මාගේ දුක් කඳුළත්, දැන් බොහෝ දුර ඈතය. ඒ කිසිවකින්, ඇය පිසදා ලිය හැක්කේද නොවෙයි.

පසු කලෙක පැහැදිලි වූ කරුණක් නම්, මාවෝ මැතිනිය සමාව දෙන්ට සූදානම් නැති බවය. හැම කෙනෙකුම තමන්ට ගෙවන්ට ඇති, ණය ගෙවා අවසන් කළ යුතු යයි ඇය විශ්වාස කරන්ට පටන්ගෙන ඇත්තේය. ක්ෂමාව යනු කිමෙක්දැයි තේරුම්ගන්ට ඇය තුළ කිසිදු කැමැත්තක් නැති තරම්ය. අනිත් අතට, පළිගැනීම, ඇයට වැටහෙයි. ඇය එය වටහාගන්නේ ඉතාම මිලේච්ඡ විලාසයෙනි. ඇගේ ජීවිතයේදී, සතුරන් සමූල ඝාතනය කරන්ට, ඇය කිසිසේත්ම පැකිළෙන්නේ නැත. ඇය එය කරන්නේ, ඉතාම ස්වාභාවික විලාසයෙනි. ඒ වනාහි, ඇය තරුණියක්ව සිටි කාලයේදීම පුරුදු පුහුණු කරගත් දෙයකි.

මගේ තාත්තා ඉස්කෝප්පයකින් මගේ අම්මාට දමා ගසනු මම බලා සිටිමි. එය සිදු වන්නේ, හදිසියෙනි. කිසිම අනතුරු ඇඟවීමක්ද නැතිවය. මට මගේ දෑස් අදහාගන්ටත් බැරිය. ඔහු උමතුවෙනි. ඔහු අම්මාට බැල්ලියකැයි කියයි. අම්මාගේ මුළු සිරුරම වකුටු වී යයි. මගේ පපුව තෙරපෙයි. ඔහු ඇයගේ පිටට, ළමැදට පහර දෙන්නේ, ඇගේ ඇට කටු කුඩු කරන බවද පවසමිනි. අම්මා බිරාන්ත වෙලාය. ඇයට සෙලවෙනු පවා නොහැකිය. තාත්තා ඇය ඇදගෙන ගොස් පයින් පහර දෙයි. ඇය පාගාගෙන සිටියි. හරියට, කොළ කැබැල්ලක් හේම කරන්නට මෙනි.

මගේ ආමාශය කණපිට හරවන්නට තරම් භීතියක් මට දැනෙයි. මම ඉදිරියට පනිමි. ඔවුන් අතර හිටගනිමි. "ඔහේ තවදුරටත් මගේ තාත්තා නෙමෙයි"මම ප්‍රකාශ කරමි. මගේ මුළු සිරුරම ගැහෙන්ට වෙයි. මම කවදාවත් ඔහේට සමාව දෙන්නේ නැහැ! ළඟදී දවසක, ඔහේ මැරිල හිටීවි. මොකද දන්නවද? මං ඔහේගේ මත්පැන්වලට මී පාසානම් දමනවා"

මිනිහා ඉස්කෝප්පය ඔහුගේ හිසටත් ඉහළින් ඔසවයි.

මගේ තොල්පෙති දැවෙයි. මගේ ඉස්සරහ දත, මගේ කට ඇතුළේය.

* * *

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී, ස්වකීය මුද්‍රනාටක සහ ඔපෙරා නිෂ්පාදනය කරද්දී, ඇය මේ තුවාලය ගැන, නිළියන්ටත් නළුවන්ටත් සෙසු ශිල්පීන්ටත් ජාතියටත් විස්තර කර දෙන්නීය. මාවෝ මැතිනිය මෙසේ කියන්නීය.

"අපේ වීරවරියන්ගේ ශරීර තුවාලවලින් වැසීයන්ට ඕනෑ. ඔව්. ලේ වැක්කෙරෙන තුවාලවලින්. ඉස්කෝප්ප, කස, වීදුරු, ලී පොලු, වෙඩි උන්ඩ, එහෙමත් නැත්නම් පුපුරණ ද්‍රව, මේ හැම එකකින්ම තුවාල වෙන්ඩ ඕනෑ. මේ තුවාල ගැන හදාරන්ඩ. පිළිස්සීම්වල ප්‍රමාණය ගැන අවධානය යොමු කරන්ඩ. හම මත රෝග බීජ පැතිරීම ගැන හොයා බලන්ඩ ඕනෑ. ශරීර මාංශයේ වර්ණය වෙනස් වන ආකාරය ගැන, තුවාල මුළු ඇඟ පුරාම පැතිරිලා යන ආකාරය ගැන- මේ සේරම ගැන- අවධානය යොමු කරන්ඩ ඕනෑ"

වයස අවුරුදු අට වන විට, ඇය අධිෂ්ථානයකට පැමිණ සිටින්නීය. සිය මෑණියන් තාත්තා විසින් පා පහර දී නිවසින් පන්නා දැමීමේද, නැතිනම් ඇය කැමැත්තෙන්ම පලා ගියේද යන කාරණා පැහැදිලි නැත. කොහොම නමුත්, දැන් දැරියට ඉන්ඩ හිටින්ඩ ගෙදරක් නැත. අම්මා පිටව යන්නේ, දියණියත් කැටුවය. ඔවුහු වීදියෙන් වීදියට, නගරයෙන් නගරයට, පයින්ම ගමන් කරති. අම්මා ගෙදරක මෙහෙකාරියක හැටියට වැඩ කරන්නීය. ඇය රෙදි සෝදන මෙහෙකාරියකි.

ඒ කියන්නේ, කුස්සියේ වැඩ කරන මෙහෙකාරියකටත් වඩා පහළ තත්වයකි. අම්මාටත් දුවටත් නිදාගන්ඩ, වැඩ කරන නිවසේ කොනක් ලැබෙයි. රාත්‍රියේදී අම්මා රහසිගතව අතුරුදහන් වන්නීය. සුපුරුදු ලෙස ඇය ආපසු එන්නේ, එළිය වැටෙන්නට කිට්ටුවය. තමා යන්නේ කොහේදැයි අම්මා කිසි විටෙකත් දියණියට කියන්නේ නැත.

එක් දිනක්, දැරිය බලකරද්දී ඇය කියා සිටියේ, තමා එක එක නිවෙස්වලට යන බවය. එක්කෝ, ඇය අර්තාපල් ලෙලි අරින්නීය. නැතිනම්, මහත්තැන්ලාගේ පොඩි දරුවන්ගේ දෙපා උණුසුම් කරන්නීය. තමා ගෙහිමියාගේ දෙපා උණුහුම් කරන බවක්, ඇය කිසි විටෙක දුවට කියන්නේ නැත. අම්මා ඉක්මණින්ම මැළවී යයි. ඇගේ හම රැළි ගැසෙයි. හරියට, විලක නැඟෙන කුඩා දිය රැළි වගේය.

සීත සෘතුවට හසු වුණු දඬුවක් සේ, ඇගේ හිසකෙස්ද වියළි ගොසිනි.

ඉතිරි කොටස | හෙට පත්තරය සමඟ

මාතෘකා