තනිකම සහ වේදනාව සමඟ එක් රැයක්

 ඡායාරූපය:

තනිකම සහ වේදනාව සමඟ එක් රැයක්

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ඔවුන්ගේ අඬදබරවලට තව පැත්තක්ද ඇත. ඔවුන්ගේ ආදරය සහජීවනයකට පත් කරන්නටද හේතු ඇත්තේය. ඇය ආකර්ෂණය වී සිටින්නී, ඔහුගේ දඩබ්බරකමටය. බල්ලෙකුගේ වැනි භක්තිමත් භාවයටය. ඇය වෙනුවෙන් මැරෙන්ට ඔහු තුළ ඇති කැමැත්ත ආදරය ජය ගන්ට බැරි නම් එය ආදරය නොවේය. ඔහු ඒ වචන පැවසූ ආකාරය - ආදරය පිළිබඳ ඔහුගේ භක්තියත් කිසි දිනෙක තමා අතහැර නොයන බවට ඔහු ඇයට දුන් පොරොන්දුවත් යන මේ කාරණා දෙකෙන් ඇය චංචලව සිටින්නී වෙයි. තමා වෙනුවෙන් ටෑන් නාහ් කළ දේ කරන වෙනත් මිනිහකු නම් මේ මහ පොළොව මත සිටිය නොහැක. ආදරයකින් තොරව ජීවත්වීමේ අවාසනාව කුමක්දැයි ඇය දන්නේය. ඇය දන්නේ නැත්තේ වඩාත් නරක කුමක්ද කියාය.

ඔවුහු සිය කාර්යයන්හි ගැලී සිටිති. ඔහු නිදහස් පුවත්පත් ලේඛකයකු බවට පත්ව සිටියි. ඇය තවමත් වේදිකාවේද සිනමාවේද චරිත සොයමින් සිටින්නීය. එතෙකුදු ඔවුන්ගේ තනිකම වැඩෙන්ට වෙයි. අර ලියුම ලියූ කෙල්ල කවරකුදැයි සොයන්ට ඇයට උවමනාවක් නැත. එහෙත් එය අතහැර දමනුද බැරිය. ඒ තරුණිය පිළිබඳ සිතිවිලිවලින් ඇයගේ මනස පිරිලාය. ඇගේ අවතාරය තමාගේ මනස තුළට වැදී ගෙදර ඉවුම්පිහුම් කටයුතු කරමින් සිටිනු වැන්න. ඇයට ඔහු තුළින් ඒ තරුණියගේ රස දැනෙයි. ඇය තුළ තවම සැකයකි. ඔහු තමා පහසනු ඇයට දැන් ඉවසන්ට බැරිය. ඇය තුළ වන ඔහු පිළිබඳ ආශාව සම්පූර්ණයෙන්ම අවසන් වී ඇත්තේය.

ඔහු පිටව යයි. සැන්දෑව ගත කරනුයේ මිතුරන් සමඟිනි. හොඳට පදම් වන තුරුම ඔහු බීම නවත්වන්නේ නැත. ඔහුට සහනයත් අන්‍යෝන්‍ය අවබෝධයත් ලැබෙන්නේ ඩෑන් සහ ට්‍රිජුන් ඇසුරෙනි. ඔහුට පත්තරයක හෝ සඟරාවක කර්තෘ මාණ්ඩලික තනතුරක් සොයා දෙන්ට ඔවුහු වෙහෙසෙති. එහෙත් කතුවරු ඔහු ප්‍රතික්ෂේප කරති. ඔහුගේ පණ නසාගැනීමේ කතාව ගෘහස්ථ කථාන්තරයක් බවට පත්ව ඇත්තේය. ඔවුන්ට නම් පෙනෙන්නේ ටෑන් නාහ්, තමන්ගේ ගෞරවය පාවා දී ඇති බවය.

අනිත් පැත්තන් බලන විට ඒ කථාන්තරයෙන් ඉහළට නැෙඟන්නේ ලෑන් පින්ගේ ජනප්‍රියත්වයයි. දැන් ඇයට වැඩක් සොයාගැනීම පහසුය. ස්වාධීන චිත්‍රපටකාරයන් විසින් නිෂ්පාදනය කරනු ලබන අඩු වියදම් දේශපාලන චිත්‍රපටවලට ඇය දැන් මැදි වී සිටියි. ප්‍රධාන ධාරාවේ රොමෑන්තික චිත්‍රපටවල භූමිකාවන් ලබාගැනීමට තරම් ඇය වාසනාවන්ත වී නොමැත. සඳ වැනි මුහුණු ඇති, මල් කළස් වැනි සිරුරු ඇති එකියක් හා තරග කරනු ඇයට අසීරුය. එහෙත් ඇයට හොඳටම අල්ලන්නේ දේශපාලන චිත්‍රපටය. එතැන ඇත්තේ අඩු තරගයකි. ප්‍රසිද්ධ නිළියක් ලබාගැනීමට ඒවායේ නිෂ්පාදකයෝ අසමත් වෙති. එහෙයින් ඔවුන් හැරෙන්නේ පුංචි තරු වෙතය. ඇතැම්විට නොදන්නා තාරකා වෙතය. චීනය, මගේ රට, මගේ පෞද්ගලික දුක්ඛ වේදනාවන්ට වඩා මට වටිනවා. පත්තරවල ප්‍රධාන පුවත තවත් ආක්‍රමණයක් උදෙසා ජපානය සූදානම් වන බවකි. ෂැන්හයිවරුන්ට ඒ ගැන වගේ විත්තියක් නැත. මා පිළිකුල් කරන කාරණයත් එයයි. නගරයේ සදාකාලික ප්‍රමුඛතාව ලැබෙන්නේ සම්පත් සොයා යාමටය. සිනමාහල් තවමත් රොමාන්තික චිත්‍රපට බලන්ට එන පිරිස්වලින් පිරී ඇත්තේය. මේ ප්‍රේක්ෂකයන් ඉල්ලා සිටින්නේද මායාවෙන් පිරුණු චිත්‍රපටය. හෘද සාක්ෂිය හිරිවට්ටන මේ දොස්තරලාට - පොදු ජනතාවගේ මොළ ගෙඩිවලට අබිං මිශ්‍ර බෙහෙත් දෙන මේ සිනමා දොස්තරලාට - මම ද්වේෂ කරමි. මේ චිත්‍රපටකාරයන්ගෙන් වැඩිදෙනා ටෑන් නාහ්ගේ මිත්‍රයන්ය. තමාගේ අපේක්ෂාභංගත්වයෙන් ගැළවෙනු උදෙසා, ටෑන් නාහ් ගැවසෙන්නේම ඔවුන් සමඟය. මේ වන විට ඔහු අනුන්ට ගැතිව පහර දෙන්නකු බවට පත්ව සිටියි.

ටෑන් නාහ්, ඇගේ අභියෝගවලට තවත් උත්තර දෙන්නේ නැත. ඔහු ඇය මඟහරියි. නොබෝ කලකින්ම ඔහුට තවත් ප්‍රේම සම්බන්ධයක් ඇති බැව් ඇය සොයාගනියි.

ඇයට දැනෙන්නේ අඬන්ට බැරි තරම් රිදුමකි. ඇය නිවසින් පිටව ගොස් වීදි ලාම්පුවල ඡායාවන් යට ඇවිදින්ට වෙයි. ඇය එක් රැයෙක අඩෝල්ස් හවුස් අධ්‍යක්ෂ ෂාන් මින්ගේ ගෙදර දොරටුව ළඟ නවතින්නීය. ඇය දොරට තට්ටු කරයි. ඔහු නිවසේ සිටියි. ඇගේ මේ පැමිණීම ඔහුට පුදුමයකි. ඇතුළට එන්නදැයි ඇය අසයි. දොර අරින ඔහු ඇයට පුටුවක් දෙයි. බොන්ට යමක් එළියට ගනියි. තමාගේ බිරිඳත් දුවත් පිටත ගොස් ඇති බැව් ඔහු ඇයට කියයි. ඇය හඬා වැටෙන්නීය. ඉකි ගසන්නීය. ඇය ඔහුට තමාගේ මුළු කතාවම කියයි. ඔවුහු බොති. ඇයට පහසුවක් දැනෙයි. තමාට ගෙදර යන්ට අවශ්‍ය නැතැයි ඇය පවසන්නීය. එහෙම යන්ට හේතුවක්ද නැත. තමා මෙහි පැමිණ සිටින්නේ ඒ නිසාය. ආදරයෙන් රැකබලා ගනු ලබන්නටය.

ඇය සිතුවේ ඉන් පසුව ඇයට හොඳ වෙතැයි කියාය. එහෙත් එහෙම නැත. ඇයට ඒ ගැන තමාටම කිව නොහැක. ඇය යන්ට නැඟී සිටියි. දැන් යන්ට වේලාව ඇය පවසයි. ඔහු තේරුම් ගනියි. දොර අරින්නට යයි. කබාය ලාගන්නට ඇයට උදවු වන ඔහු ඇය වැලඳගෙන ඇයට සමුදෙයි. ගුඩ් බායි, පින් ඔයා දැනගන්ඩ ඔයාව බලාගන්ට මම හැම වෙලාවෙම ඉන්නව කියල.

මාතෘකා