ඒ ආදරයේ අවතාරය ද?

 ඡායාරූපය:

ඒ ආදරයේ අවතාරය ද?

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමු වී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

ලෑන් පින්, ටෑන් නාහ්ගේ නිවසට මාරු වෙයි. ආදරය විසින් සියල්ල ජයගනිතැයි ඔවුන් දෙදෙනාම විශ්වාස කරන්ට වෙති. හොඳම හැසිරීමෙන් යුතු වුවද ඔවුන් දෙදෙනාම සිටින්නේ තවම ආරක්ෂා විය යුතු තත්ත්වයේය. ඔහුගේ සිරුර සුවපත්ව ඇය හා පෙම් කිසෙහි යෙදෙන්නට ඔහුට අවශ්‍ය වුවද ඇයට එසේ කරනු බැරිය. ඇයගේ ප්‍රතික්ෂේප කිරීම ඔහුට දැනෙන්ට වෙයි. අැගේ සිරුරේ උදාසීන බවත්, දරදඬු බවත් ඔහුට දැනෙයි. මිය යන්නා වගේය. ඔහු හඬා වැලපෙයි. ඔවුන්ට පවතින්ට බැරි බව ඔහුට වැටහෙයි. ඔහු නැ‍ඟී සිට ඇගෙන් විමසන්නේ ඇය ඔහුට සමාව දී ඇතිද කියාය.

මොකකටද? ලියුම්වලටද?

ඒක හරිම භයානකයි, ඔහු එවදන්ම නැවත නැවත ප්‍රතිරාව කරයි. මං කලකිරීමෙන් හිටියෙ. ඊටත් වඩා බීමතිනුයි උන්නෙ. ඒකෙන් කිසිම දෙයක් අදහස් වෙන්නෙ නෑ. මං ඒ තරුණිය දන්නෙත් නෑ. එයා වෛශ්‍යාවක් වෙන්ඩ වුණත් පුළුවනි. මට එයා ගැන මතකයක් ඇත්තේම නෑ.

ඔහු පවසන්නේ ඔහු තමා විසින්ම විනාශ කරගෙන බවකි. ඒ ඇගේ ආදරය නොලැබීම නිසාය. ඒකට මට කරන්ඩ දෙයක් නෑ. ඇය පවසන්නීය. මගේ හදවතට ඇත්තේ එයටම හිමි ක්‍රියාකාරිත්වයක්. ඔයාට පේනවනෙ මං කොතරම් උත්සාහ කරනවද කියල මම මටම බලකරගන්නව. නමුත් මගේ ශරීරයට ඒ වේදනාව හොඳට මතකයි. ආයෙත් මං කියන්නෙ ඒක මට අයිති දෙයක් නෙමෙයි කියල. කෙනෙක් නෙළාගන්නෙ වපුරපු දේවල් විතරයි.

අසුනින් නැඟිටින හෙතෙම සාලය දෙසට යයි. අනෙක් කුලී නිවැසියෝද බෙදාහදාගත්තේ ඒ එකම සාලයයි. ඇය ඇඳේ වැතිරී සිටියි. ඔහු තමාට තුණ්ඩු කැබැල්ලක් තබා ඇති බවක් ඇය නොදනියි.

ඒ තුණ්ඩු කැබැල්ල සොයාගන්ට කොතරම් වෙලා ගත්තේදැයි ඇයට මතක නැත. ඇය ඔහු පිටුපසින් යන්නේ නින්දෙන් ඇවිදින කෙනකු තවත් එවැනිම කෙනකු පසුපස යන්නාක් මෙනි. උස් වහලක නෙත්තියේ ඇති පිය සටහන් දිගේ ඔවුන්ගේ අතීතයේ හෙවණැල්ල, ඔවුන්ගේ ආදරයේ අවතාරය, ඇතැම්විට ඇය ඇදගෙන යන්ට ඇත්තේය. ඇය ඔහු ලියූ තුණ්ඩු කැබැල්ල සොයා ගනියි. එහි සඳහන් වන්නේ ඔහු තව වතාවක් පණ නැති කරගන්ට යන බවය. වෙනත් මඟක් ඇත්තේ නැත, ඒ තුණ්ඩුව පවසයි. ඔහු යා යුතුමය. එමඟින් ඔහු සියලු කරදරවලින් - දුක්ගැහැටවලින් - ඇය නිදහස් කරනවාද ඇත.

මගේ තුණ්ඩුව පොලිසියට පෙන්නන්ඩ. එතකොට ඒ අය දැනගනීවි මගේ ජීවිතය අවසන් කර ගැනීම මගේ කැමැත්ත බව. මට මේ ආදරය අතහරින්ඩ බෑ. ඔබ ඒ ගැන මට අනුකම්පා කරනවා විය හැක. දැන් අන්තිමේ දී ඔබට මා පිළිබඳ ඇත්ත පැහැදිලි වේවි. මා ඔබ සම්බන්ධයෙන් ශක්තිමත් නැති බව.

ඔහු සොයාගත හැකිදැයි දැනගනු සඳහා ඇය පිරිස තුළට එබී බලයි. අන්තිමේ දී ඇය ඔහු දකියි. එවිට ඔහු දුවන්ට පටන්ගනියි. ඇය ඔහු පිටුපස දුවන්ට වෙයි.

ඔවුන් දෙදෙන මුහුණට මුහුණලා සිටිති. ඔහු දෙස බලා සිටින්නේ මරණයයි. ඔව්, ඔහුගේ දෑසෙහි ඇත්තේ ඒ බැල්මය. මරණය දෙස බලා සිටීම. ඇය ඔහු සොලවයි. ඔහුගෙන් පිළිතුරක් නැත. බස් රථ, බයිසිකල්, පිරිස අප පසු කරගෙන යති. මේ දර්ශන සියල්ලම අතාත්විකය. මිනිසුන්ද යම් යම් දේවල්ද ඇතුළට එනුද පිටතට යනුද පෙනෙයි. හුස්ම හිරවීම.

සෙමෙන් සියල්ල මිදෙන්ට වෙයි. මරණය නිශ්චලව සිටියි. සිය හදවත හඬනු ඇයට ඇසෙයි.

අපි කතා කරමු. ඇය පවසන්නීය.

ස්වකීය අර්බුදයේ කඳු මුදුනේ සිට දෙදෙනාම පහළට බසිති. ලෑන් පින් තුළ එය උණ රෝගයක් බවට පත් වෙයි. ඔහුගේ අත් දෙකට වී ඇය ඇඳෙහි නිදාගෙනය. ගැහෙමිනි. ඇද වැටෙමිනි. එක් මොහොතක දී ඇය හඬන්නේ සන්නියක් වැලඳුණු කලෙක මෙනි. ඇය නැඟිට ඇඳ උඩ හිඳගනියි. මෙට්ටයට මිටෙන් පහර දෙයි. ඊළඟ මොහොතේ දී ඇය සිහිනැතිව නිදාගෙනය. පශ්චාත්තාපයෙන් යුතුව ඔහු ඇයට සාත්තු කරයි. ඔහු ඇයට කැඳ පොවයි. හරියට ළදරුවකුට කැඳ පොවන අම්මා කෙනකු මෙනි. ඇය අවදිවන හැම මොහොතකම ඔහු ඇගේ ඇඳ ළඟය. ඇතැම්විට දෙගොඩහරියේ පවා උදේ පාන්දර තුනට ඇය ඇස් හැර බලයි. ඔහු එකට බැඳගත් අත් දෙක මත හිස තබාගෙන ස්ටූලය මත හිස තබාගෙන එය මත නිදිය. ඔහු ඉදිරියේ තවමත් උණු කැඳ භාජනයකි.

ඇය හැඬූ කඳුළිනි. තමාත් ඔහුත් සම්බන්ධයෙන් කළ හැක්කේ කිමෙක්දැයි ඇය දන්නේ නැත. ඇය තුළ ඔහු කෙරේ හැඟීමක් ඇත. එතෙකුදු පාර වැරදුණු මිනිහකුට ෙප්‍ර්ම කරන්ට ඇයට බැරිය. අර ලියුම් ඇය තුළ හොල්මන් කරන්ට වෙයි. ඇය ඔහුට අනුකම්පා කරන්නීය. ඔහුට ආදරය කරන්ට ඇයට අවශ්‍යය. එහෙත් තමන් ඉදිරියේ ඇති ප්‍රාකාරය බිඳ හෙළන්ට ඕ අසමත්ය. අලුත් ආලෝකයක් තුළින් ඔහු දකිනු ඉතා අසීරුය. සිදු වී ඇති කිසිවක් සිය මනස මතින් පිසදාලන්ට ඇය අසමත්ය. තමාට වැඩියෙන්ම වද දෙන්නේ කුමක්දැයි ඇයට තීරණය කරන්ට බැරිය. ඔහුගේ ද්‍රෝහිකමද? නැතිනම් සිය පණ හානි කරගන්ට ඔහු කළ ප්‍රයත්නයද?

මාතෘකා