අවසන ඈ ආදරය යදින්නීය

 ඡායාරූපය:

අවසන ඈ ආදරය යදින්නීය

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ලෑන් පින් තමා පාලනය කරගන්ට අපොහොසත් වනුයේ රඟහලේ පිළිගැනීම් පෙදෙසේදීය. ඇය කතා කරන්නේ කර්කශ ලෙසය. මගේ අදහස නම් මුළු නාට්‍ය දර්ශනයම හරිම නීරස බව. නාට්‍යය තුළ ජීවයක් ඇත්තේම නෑ. නිළිය චරිතයට ගැළපෙන්නේ නෑ. එයා රඟපානවා නෙමෙයි. තරුණ හාමුදුරුනමක් වාගේ කටින් සජ්ඣායනා කරනවා. හදවතින් නෙමෙයි.

පිරිස කම්පිතව බලා සිටිති. නමුත් ලෑන් පින් දිගටම කියවාගෙන යයි. ඇයගේ උනන්දුව වැඩිකමටම ගෙලෙහි තිබුණු සළුව බිම වැටෙයි. අැය නැවී එය අහුලා ගතද, සළුව දිගටම බිම වැටෙයි. අන්තිමේදී ඒ ගැන තැකීමක් නැතිව ඇය සිය කතාව දිගටම කරගෙන යන්නීය. ඇයගේ කටහඬ උස්ව නැගි නැගී යෙයි. ඇය ගැහෙමින් සාළුව ඇඟිලි වටේ ඔතාගනියි. ටෑන් නාහ් පැමිණෙයි. සෙමෙන් ඇය පසෙකට අදින ඔහු මෙසේ පවසයි. අපි යමු. ඔයාට වෙහෙසයි.

ඉතින් මට අවසන් කරන්ඩ දෙන්නකො....

මේ අහන්ඩ. මම විචාරකයෙක්. නාට්‍යය ගැන විවේචනය කිරීම මගේ කාරිය. මං හිතන්නෙ ඒක හොඳ නාට්‍යයක් කියල.

අනේ ටෑන් නාහ් ඔයා නීච විචාරකයෙක්. ඒ නිසයි ඔයාව කුලියට ගන්නෙ නැත්තේ.

මේ අවස්ථාවේදීය ටෑන් නාහ් ඇයට කඩා පනින්නේ, උත්තර බඳින්නේ. ඇයගේ ස්නායුවලටම වදින ඒ වදන් හේතුකොටගෙන ඇති වන පැල්ම - දෙදරීම - පසු කලෙක ඔවුන් සදහටම වෙන් කරන සාධකය ද වෙයි. ඔයා ඒක දන්නෙ නැත්තෙ මොකද ලෑන් පින්? ඔයාට වුහු අධිරාජිනියගේ චරිතය නොලැබීම තමයි ඔයාට කෝප වෙන්ඩ තියෙන එකම කාරණය.

ලෑන් පින්ගේ 1936 වසරේ ශීත ඍතුව ගෙවෙන්නේ හඬ නඟා දොරවල් වැසීමෙනුත් කඳුළුවලිනුත්ය. දෙදෙනා වෙන්ව ජීවත් වන්ට තීරණය කරති. වාසය සඳහා තැන් දෙකක් කුලියට ගනිති. නැවතත් එකතු වන්ට ඔවුන් ප්‍රයත්නයක් කළද දෙදෙනා අතර නැෙඟන තාප්පයකි. මානසික වශයෙන් ඇය තමාටම කියාගන්නේ ටෑන් නාහ් සමඟ ඇති සම්බන්ධය අවසන් බවය. නමුත් ශාරීරික වශයෙන් ඇයට ඔහු අත හරින්ට බැරිය. දෙදෙනාගේම සිරුරු එකිනෙකා මත රැඳී සිටියි. හැම දබරයකින්ම පසුව ඇය ඔහු වෙත යන්නීය. ඒ යන්නේ ඊළඟ දවසේදී ඔහුගෙන් පළා යන්නටය.

එක් දිනක් රෝසමල්ද අතැතිව ඔහු ඇය බලන්ට පැමිණෙයි. වේදිකා නාට්‍යයක ඇයට ලැබුණු භූමිකාවක් - චරිතයක් - ගැන සුබ පතන්ටය. එය සුළු චරිතයකි. එහෙත් දෙදෙනාට මුණ ගැහෙන්ට එයද හොඳ හේතුවකි. දොර වැසීමෙන් මිනිත්තු කිහිපයකට පසුව උඩ තට්ටුවේ වෙසෙන අසල්වැසියාට ලෑන් පින් හඬනු ඇසෙයි. ඒ සමඟම ගෙදර බඩුමුට්ටු පොඩි කරන හඬද අසෙන්නට වෙයි. ලෑන් පින්ගේ ජීවිතයට අනතුරක් වෙතැයි බියෙන් කලබලයෙන් පහළට බසින අසල්වැසියා දොර කඩා ඇතුළු වෙයි. පෙම්වතුන් එකිනෙකාගේ බෙලි කඩාගන්ට පොර බදිමින් සිටිති.

වේදිකාව මත මා නිරූපණය කරන්නේ කම්කරු යුවතියකගේ භූමිකාවයි. ඇය පැමිණ සිටින්නේ ජීවිතයේ සංධිස්ථානයකටය. මේ තරුණියද මා වගේම කුඩා නගරයකින් පැමිණි තැනැත්තියෙකි. ඇය ලොකු නගර ජීවිතයෙන් අවුලට පත්ව සිටින්නීය. වේදිකාව මත රංගනයේදී, මා වෙනුවෙන්ම හඬා වැළපෙන්ට මට අවස්ථාවක් ලැබෙයි. මා අසනීපයෙනි. මගේ හිසේ කැක්කුම ඉතා දරුණුය. දරාගන්ට බැරි තරම්ය. එහෙත් මට වේදිකාවෙන් බැහැර යා නොහැක. මට යන්ට තැනක් ඇත්තේද නැත.

මට දෑස පියාගත නොහැක. එහෙම කළොත් එතැන ටෑන් නාහ් සිටියි.

මාර්තු 8 වැනිදා රාත්‍රියෙහි මම යළිත් ඔහු දකින ආශාවෙන් පෙළෙමි. මගේ රෝගී තත්ත්වය අවදානමේය. මගේ උණ උත්සන්න වෙමින් පවතියි. මට ඔහු දකින්ට අවශ්‍ය වන්නේ ඒ නිසා විය හැක. මා මිය යනු ඇතැයි මට හැඟෙන්ට වෙයි. මට සැනසුමක් ලැබේවිද? මගේ සිරුර මගේ හදවත විසින් කළ යුතු කාරිය කරනු වැන්න.

මගේ හිස කියන්නේ නොයා යුතු බව මුත් මම ඔහුගේ වාසස්ථානය කරා යමි. ඔහු ජීවත් වන්නේ චින්ගැන් දිස්ත්‍රික්කයේ නෑන්-යෑන්ග් බුල්වාර්හිය. එය ඉහළ පෙළේ වැදගත් අය ජීවත් වන අසල්වාසියකි. ඔහුගේ ජේත්තුකාර ජීවන පිළිවෙතටත් රුචි අරුචිකම්වලටත් හොඳට කැපෙන පෙදෙසකි. මා මෙහි කරන්නේ කුමක්ද? මා ඒ ස්ථානයට ගැළපෙන කෙනෙකු නොවේ. ඔහු මට යතුරු දී ඇතත් මා එහි එතැයි බලාපොරොත්තුවක් නැත. මා ඔහුගේ ආරාධනා කිහිපයක්ම ප්‍රතික්ෂේප කර ඇති බැවිනි. ආපසු නොබැලීම මගේ චරිතයේ එක් ලක්ෂණයකැයි මම ඔහුට කියා ඇත්තෙමි.

මෙවර මම මගේම පොරොන්දුව කඩමි. මට යන්නට ඕනෑය. ගොස් ඔහුට කතා කරන්ට ඕනෑය. කතා කර අන්තිම වතාවට මට ආදරය කරන්නැයි ඔහුගෙන් ඉල්ලන්ට ඕනෑය. වේදිකාව මතදී එය සමුගැනීමේ ජවනිකාව වන්නේය. හදවත බිඳෙන ඒ වුණත් විමුක්තිය ලබන ක්‍රියාවක් වනු ඇත්තේය.

ඇගේ සිරුර ගැහෙයි. උණු දහදියෙන් පෙඟිලාය. ඇය බලා හිඳින්නේ ඔහුගේ දෑතින් වැලඳගනු ලබන්නටය. ඇය යතුර කරකවා නිවසට ඇතුළු වන්නීය. ඇය සිතා සිටියාක් මෙන්ම කාමරය පිරිසුදුය. හැම දෙයක්ම නියම තැනය. දොරට පිටුපසින් සපත්තු කුට්ටම් එක පෙළටය. සඟරා සහ පොත් පිළිවෙළකට අඩුක් කර ඇත්තේය. ඒවා මත දුහුවිලි බිඳකුදු නැත. එක කවුළුවක් පමණක් යාන්තමට විවෘතය. සුදු තිර සුළඟට සෙලවෙයි. ඇය මෙම කාමරයේ සිට ඇත්තේ එක් වතාවක් පමණි. ඒ මීට මාස දෙකකට පෙරය.

 

මාතෘකා