සැබෑ රෝමාන්තිකයකුගේ පෙම්වතිය ලෙස..

 ඡායාරූපය:

සැබෑ රෝමාන්තිකයකුගේ පෙම්වතිය ලෙස..

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

ටෑන් නාහ් මුළු ෂැන්හයි නගරයේම මඟතොට දන්නා මහලු අශ්වයකු වැන්න. ටෑන් නාහ් සිටින සමාජ කවයන්හි හැමදෙනාම බටහිර අගය කරන්නවුන්ය; ජපනුන්ට වෛර කරන්නවුන්ය. හැම විටම ටෑන් නාහ්ගේ සාද මැද දී සංගීතය අරඹයි. ඔවුහු එකිනෙකා පරයමින් මහ හඬ දී ගීත ගායනා කරති. රචකයෝ අත පිසින කඩදාසිවල ගීත ලියති. ඒ සමඟම සංගීතඥයෝ ඒවාට තනු දමති. සවුදිය පුරන අතරතුරේදී නාට්‍ය රචකයෝ එක එක නාට්‍ය දර්ශන නිර්මාණය කරති. නළුවෝ ඒවා ගෙබිම මත රඟ දක්වති. දින කිහිපයකට පසුව ඒ ගීතය ගුවන් විදුලියේ ඇහෙන්ට වෙයි; ඒ රැඟුම සිනමාවක එක දර්ශනයක් වෙයි.

මම ටෑන් නාහ්ගේ සමීපතම මිත්‍රයන් හඳුනාගනිමින් සිටිමි. චිත්‍රපට අධ්‍යක්ෂ ජුන්ලි සහ ඔහුගේ බිරිය චෙන්. ඇය ලේඛිකාවකද වන්නීය. ඔහුගේ මිත්‍රයන් අතර වඩාත්ම දක්ෂතා ඇති තැනැත්තා ජුන්ලිය. ඔහු සිටින්නේ විසිගණන්වල අගය. සිය අලුත් චිත්‍රපට නිසා ඔහු මේ වන විටත් ජනප්‍රියව සිටියි. තුනී කෙස් ඇති ඔහු අමුතුම පෙනුමක් ඇති මිනිහෙකි. ඔහු විසින් ටෑන් නාහ් හඳුන්වනු ලබන්නේ නියම රොමෑන්තිකයකු හැටියටය. ටෑන් නාහ් ජීවත් වන පිළිවෙළ තමාගේ චිත්‍රපටවලට අදහස් සපයතැයි ඔහු කියයි. කලින් දැනගෙන සිටියේ නම් ජුන්ලිගේ වචන ප්‍රශංසාවක් හැටියට මා සලකන්නේ නැත. ටෑන් නාහ් ජීවත් වන්නේම නාට්‍යය උදෙසාය. එය ඔහු මෙහෙයවාලන්නේ ව්‍යසනය - විපත්තිය - දෙසටය.

මේ මොහොතේ දී ටෑන් නාහ් ගැන මිත්‍රයන් පවසන වදන් මගේ සිතට කාවදියි. ටෑන් නාහ්ගේ අනුරාගය ඔහුට කිසි විටක හානිකර වෙතැයි මා සිතන්නේ නැත. ටෑන් නාහ්ගේ මිත්‍රයින්ට කවදාවත් ඔහු සමඟ ජීවත් වන්ට සිදු වන්නේත් නැත. එහෙයින් ඔවුන් ඒ ගැන කිසිවක් දන්නේද නැත. සත්‍ය ජීවිතයෙන් ටෑන් නාහ්ට චිත්‍රපට කතා කියන්ට බැරි බව මම දනිමි. එවැන්නක් කරන්ට ඔහුට අවශ්‍යතාවක්ද නැත. නමුත් ඔහු සිය මිතුරන්ට අසීමාන්තිකව කාරුණිකය. ජුන්ලිගේ චිත්‍රපට උදෙසා ඔහු කොතෙකුත් විචාර කර ඇත.

ඔහු සිය කැමැත්තෙන්ම ජුන්ලිගේ විචාරකයා බවට පත්ව සිටියි. ටෑන් නාහ් මා ගැන ජුන්ලිට කියා ඇත්තේදැයි මට හරිහැටි කියන්ට බැරිය. ටෑන් නාහ් කියන්නේ එය රහසක් බවය. මා ගැන තම මතය කුමක්දැයි ඔහු ජුන්ලිට පවසා ඇතුවාට සැකයක් නැත. ජුන්ලි අඩෝල්ස් හවුස් බලන්ට ඇති බව නම් මට සහතිකය.

නමුත් ජුන්ලි කිසිම අවස්ථාවක මා ගැන තමන්ගේ හැඟීම පවසන්නේ නැත. මා ගැනත් මගේ සහ ටෑන් නාහ්ගේ සම්බන්ධය ගැනත් ඔහුට නිසැක වැටහීමක් නැතුවා වන්නට පුළුවන. ඔහු අප නිරීක්ෂණය කරන්නේත් අප අධ්‍යයනය කරන්නේත් තමාගේ සිනමා කෘතියක චරිත සේමය. ටෑන් නාහ් කෙරෙහි මගේ විශාල බලපෑමක් ඇතැයි ඇතැම් විට ඔහු සිතනවා වන්නට පුළුවන. ඔහුට ටෑන් නාහ් ගැන වුණත් සැකසාංකා තිබෙනවා විය හැක.

හොඳම යහළුවකු හැටියට ටෑන් නාහ් ගැහැනුන් පිළිබඳ පවතින ආකාරය ඔහු දැනගෙන සිටිය යුතුමය. අපගේ සම්බන්ධය නරක ආකාරයෙන් අවසන් වෙතැයි ඔහුට හැඟී තිබෙන්ට පුළුවන. එහෙත් ජුන්ලි කිසි විටෙක මට අවවාද කරන්නේවත් අනතුරු අඟවන්නේවත් නැත. ජුන්ලි, ටෑන් නාහ් පාවාදෙනු සඳහා ඔහු ගැන ඕනෑවට වඩා සැලකිල්ලක් දක්වයි.

කෙසේ වෙතත්, මට එය දැනෙයි. මා සහ ශාන් මින් අතර කටයුතු සිදු වුණු ආකාරයට නොවේ මාත් ජුන්ලිත් අතර කාරණා කටයුතු සිද්ද වන්නේ. එය කනගාටුවට කාරණයකි. මට අධ්‍යක්ෂවරයකුගේ ආදරය බලෙන් ලබාගත හැකි නොවෙයි. මම ටෑන් නාහ්ගේ පෙම්වතිය නොවුණි නම් ඇතැම් විට ජුන්ලි මා දෙස වෙනත් කෝණයකින් බලන්ට ඉඩ තිබිණි. නමුත් ටෑන් නාහ් එවැන්නකට අවකාශයක් නොතබයි. ටෑන් නාහ්ගේ අවසාන පෙම්වතිය හැටියට හැරෙන්ට වෙනත් කෙනකු හැටියට, මට ජුන්ලි හමු වන්ට බැරිය. මේ වන විටත් හානිය සිදු වී හමාරය.

තවමත් මා බලා සිටින්නේ ටෑන් නාහ්ගේ අවධානය මත ජුන්ලි තමාගේ චිත්‍රපටයක රඟපෑමට මට ආරාධනය කරනු ඇත කියාය. එසේ නැති නම් හැකියාවන් ඇති නිළියක හැටියට චිත්‍රපට කර්මාන්තයේ ඔහුගේ සගයන්ට මා හඳුන්වා දීමටද ඔහුට බැරිකමක් නැත. මා නොඉවසිලිමත්ව බලා සිටින්නේ යළිත් වරක් මගේ වෘත්තියේ ඉදිරියට යන්නටය. මේ වන විටත් මගේ වයස අවුරුදු විසිඑකකි.

මට අවුරුදු විසිපහක්. ටෑන් නාහ් පවසයි. මා හිතන්නේ අන් හැම දෙයකටම වඩා විනෝදයෙන් ජීවත් වීම වැදගත්ය කියා.

නමුත් මගේ ප්‍රශ්නය මෙයයි. කිසිවකුට තමන්ට කැමති කාරිය කරන්ට නැත්තේ නම් ඔහු පූර්ණ වශයෙන් ජීවිතය ආස්වාදය කරන්නේ කෙසේද?

ලෑන් පින්ට සිය කුසලතා තවත් වර්ධනය කරගන්ට ඉඩ ඇතැයි ටෑන් නාහ් කල්පනා කරයි. ඇය ප්‍රතිනිර්මාණය කළ හැකි බවට ඔහු තුළ දැඩි විශ්වාසයක් ඇත්තේය. දෙව්දුවක බවට පත් වන්ට ඇයට පුළුවන. ඔහු සිතන්නේ එසේය...

මාතෘකා