කොමියුනිස්ට් මුඛය සහ ආණ්ඩුවේ මාංස

 ඡායාරූපය:

කොමියුනිස්ට් මුඛය සහ ආණ්ඩුවේ මාංස

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

+ඔහු නිතර නිතර අප දෙදෙනා අතරට ලූසී ගෙන්වාගනියි. හරියට ඔහු මා කෙරෙහි ආකර්ෂණය වීමෙන් බේරාගන්ට මෙනි.

ඇතැම්විට සත්‍යය ඇත්තේද එතැන විය හැකිය. ලෑන් පින් නොදැන සිටියද ඇගේ බසින්ම කියවෙන්නේ ඒ ඇත්ත විය යුතුය. ඇයට අවශ්‍යව ඇත්තේ ඩෑන් ගිල දැමීමය. ෂැන්හයිවලට පැමිණීමෙන් පසුව ඇයට තවමත් මිනිහකු සිට ඇත්තේ නැත. ආදරය උදෙසා ඇය තුළ වන දොළදුක බයංකාරය. ඇයට සිය හැඟීම්වලින් ගැළවෙනු බොරුය.

වේදිකාව මත තම සහකාරියක හැටියට ලෑන් පින් ගැන අදහස් දක්වන්නැයි අසන හැම මොහොතකදීම ඩෑන් පවසන්නේ තමන්ට කියන්ට කිසිවක් නැති වගය. නෑ. කියන්ට කිසිම අදහසක් නෑ. ඇත්ත වශයෙන්ම. හැම පුවත්පත් කලාවේදියකුට හැම විචාරකයකුට වගේම තමාගේ සියලුම මිතුරන්ටත් ඔහු පවසන්නේ එවදන්ය. ඔහු දෙවුරද සලයි. ඇත්තටම ඔහුගෙන් ඇය ගැන කිසිම අදහසක් පළ වන්නේ නැත. එයින් ඇයට දැනෙන්නේ සුව කළ නොහෙන වේදනාවකි.

එහෙත් මේ සියල්ල යට - ඇය තුළ වන නොරිස්සීමත් පීඩනයත් මැද - අවසන් නොවන කාරියක් ඇත්තේය. ඒ නම් ඩෑන් තමා සතු කරගැනීමේ නොමැඬෙන ආසාවයි.

මුල්ම දර්ශනය පැවැත්වෙන්ට ඇත්තේ තව සති දෙක තුනක් පමණි. මම මගේ මුළු හදවතත් මුළු ආත්මයත් මගේ භූමිකාව වෙනුවෙන් කැප කොට නැහෙමි. ඒ චරිතය මට දැනෙන්ට වෙයි. අපගේ කාලයට අදාළව එහි ඇති නිවැරදි බව මට හොඳටම හැඟෙයි. ඩෑන් විසින් මා පිටතට කැඳවාගෙන යනු නොලැබුවද මම නාට්‍යයේ අවශේෂ සාමාජිකයින් සමඟ එළියට යමි. අප යෙදී සිටින කාරිය කුමක්දැයි මම ඔවුන්ට පහදා දෙමි. මා හැඟුම්බරව සිටින බැව් මට දැනෙයි. මගේ වචන කියවෙන්නේ උස් හඬිනි. අපි අපේ නාට්‍ය දර්ශනය වෙනුවෙන් සව්දිය පුරමු!

එක් දිනෙක ඒ කාණ්ඩයේ නාට්‍ය රචකයෙක්ද සිටියි. ඔහු පවසන්නේ මට පෑ දී ඇත්තේ ලොකු වාසනාවක් බවය. ඩෑන් නොසිටින්ට මේ නාට්‍යය බලන්ට කිසිවකු එන්නේ නැත. එතකොට කිසිවකුට මා ගැන උනන්දුවක් - තැකීමක් - නැද්ද? ඒ අවමානය ගැන - ඒ නොතැකීම ගැන - මා තුළ හටගන්නේ බලවත් ආවේගයකි. පුටුව පස්සට තල්ලු කොට මම නැ‍ඟී සිටිමි. මා ඉදිරියේ ඒ වගේ කතාවක් කියන්ඩ තමුසෙ කවුද?

මම සතුරන් ඇති කරගනිමි. මට එයින් ගැලවෙන්ට බැරිය. ඒ සිද්ධියෙන් පසුව මිතුරන් කිහිප දෙනෙක් මට පැවසුවේ ඒ තකතීරු නාට්‍ය රචකයාගේ කතාව ගණන් නොගෙන ඉන්ට තිබුණු බවය. එහෙත් ඔහුගේ වචනවලින් රිදුණේ මටය. ඔයා ඒ වාගෙ කතා ඕනෑවට වඩා හිතට ගන්ඩ එපා. මගේ මිතුරෝ කියති. ඒක බේදබද්දෙකුගෙ කතාවක්. ඒකෙන් කිසිම දෙයක් කියවෙන්නෙ නෑ. නමුත් මම එකඟ නොවෙමි. ඒ නම් ඔහුගේ සැබෑ මතය බැව් මට විශ්වාසය. මිහිහාට ඩෑන්ගේ බලපෑම් ඇත.

වේදිකාව මත ඇය තම බලපොරොත්තු සුන්වීමේ සදාකාලික රංගනයෙහි යෙදී සිටින්නීය. ඇය එතුළ ජීවත් වන්නීය. ඇගේ තොල් අතරින් නෝරාගේ වදන් මුදා හැරෙන්නේ තමාගේම කතාව පවසන්නාක් මෙනි.

මං ජීවත් වුණේ එක එක ප්‍රයෝග කරමින් ටෝවල්ඩ්. මට ඒක ඇති වෙලා. තවත් නම් දරාගෙන ඉන්ඩ බෑ.... බෑමයි. ආරම්භක රාත්‍රී දර්ශනය. රඟහල මුළුමනින්ම පිරී ගොසිනි. ඊස් මිස් නැති ගානය. මිත්‍රයින් සහ සගයින් විසින් එවන ලද අඩි පහක් උසැති මල් පැහිවලින් රඟහළේ පඩි පෙළ පිරී ගොසිනි. සියලුම අසුන් පිරිලාය. එකතු කරන ලද අතිරේක ආසනද - ඒවායේ පිටඇන්ද නැත - විකුණා ඇත්තේ සම්පූර්ණ ප්‍රවේශපත්වල මිලටමය. රඟහල දෙපසේම බිත්තිවල ඩෑන්ගේත් ලෑන් පින්ගේත් දැවැන්ත පින්තූරය. දෙදෙනාගේම ඇස් තද නිල් පැහැයකින් වැසී ඇත්තේය. ලෑන් පින් ඇඳ සිටින්නේ කළු සැටින් ඇඳුමකි. චරිත දෙක නාට්‍යානුරූපී ඉරියව්වකය. පපුවට පපුව දී හිටගෙනය. දෙදෙනාගේ තොල්පෙති අතර ඇත්තේ අඟලක පරතරයකි.

පිරිසට සිහියක් පතක් නැත. වසඟයට පත් වෙලාය. ඔවුන්ගෙන් වැඩිදෙනකු ඩෑන්ගේ රසිකයින් වුවද ලෑන් පින් මෙනෙවිය විස්මයජනක ආකාරයෙන්ම ඔවුන් හැමදෙන සිය වසඟයට ගෙන ඇත්තීය. ඇය අතරමැදි විරාමයේ දී වෙස්ගන්වන කාමරය තුළ හුස්ම අල්ලාගෙන සිටින අතරවාරයේ එතුළට පිවිසෙන්නේ ෂාන් මින්ය. වචනයක්වත් නොදොඩාම, ඔහු ප්‍රේමාන්විත ආකාරයෙන් ඇය වැළඳගනියි. ඔහු තමා ගැන ආඩම්බර වන බැව්, ඇය දන්නීය. ඒ කියන්නේ තමා ජයග්‍රහණය කර ඇති බවය.

මේ නෝරාට තියෙන්නේ කොමියුනිස්ට් මුඛයක්. එක පත්තරයක් ගෝරනාඩු කරයි. එයින් පහර දීලා හපා කන්නෙ, ආණ්ඩුවේ මාංසයයි. ලෑන් පින් මෙනෙවියගේ නෝරා පවසන්නේ ජනතාවගේ හඬ. ෙප්‍ර්ක්ෂක පිරිස ඇයත් සමඟ අනන්‍ය වෙනවා. නෝරාගේ කටහඬින් අපට ඇහෙන්නේ දේශපාලන පණිවිඩයක්. චීනයේ ජනතාවට තමන්ට රඟපාන්ට සිදු වී තිබෙන භූමිකාව එපා වෙලා. තමන්ගේ අකාර්යක්ෂම ආණ්ඩුවත් චියාං කායි ෂෙක් කියන රාජ්‍ය නායකයාත් ඔවුන්ට තිත්ත වෙලා. ඔවුනුත් හරියටම සුවච කීකරු නුවණින් කටයුතු කරන දරුවන් හදා වඩා ගන්නා නෝරා වගේමයි.

ඇය හැමවිටම ජීවිතයෙන් අපේක්ෂා කෙළේද, ඒ තත්ත්වයයි. ඒ කියන්නේ අනෙක් අය ප්‍රබෝධවත් කිරීම. ඔවුන් පොලඹවාලීම. යුවතියකව සිටි කාලයේදීම ඔපෙරා මඟින් ඇයට සැලසුණු මෙහෙයත් එයයි. අන්තිමේදී දැන් ඇය පැමිණ සිටින්නේ එහි ඉහළම තත්ත්වයකටය. කීර්තියේ නව්‍යභාවය ඇය තුළ කැකෑරෙන්ට වී ඇත්තේය. වීදියේ ගමන් කරද් දී තමා හඳුනාගනු ලැබීම හේතුවෙන් ඇයට දැනෙන්නේ බලවත් උද්දාමයකි.

තවමත් ප්‍රධාන පත්තර ඇය කෙරේ උනන්දුවක් නොදක්වන්නේ වී නමුදු තමාට ලැබෙන සම්මුඛ සාකච්ඡා ඇයට බෙහෙවින් ප්‍රිය වෙයි. ලොකු පත්තර ඩෑන් ගැන ලොකු කතා ලියයි. නමුත් ඇයද අත හරින්නේ නැත. හැම අංශයකින්ම ඩෑන්ගේ සම තත්ත්වයට පැමිණීමට ඇය අධිෂ්ඨාන කරගෙන සිටින්නීය. තමා ගැන කතා ලියන කුඩා පත්තරවලට ඇය හැමවිටම අනුකූලතාව දක්වයි. පාසල්වල කතා පවත්වන්ට ලැබෙන ආරාධනාද ඇය පිළිගනියි. ඡායාරූපවලට පෙනී සිටින්ට ඇය ඉතා කැමැතිය. තමා අභිමුව දැල්වෙන ආලෝකයටත් කැමරාවල ටික් ටික් හඬටත් ඇය ඉතා කැමැත්තීය.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා