නෝරාගේ චරිතය සමඟ රඟමඬලේ..

 ඡායාරූපය:

නෝරාගේ චරිතය සමඟ රඟමඬලේ..

න්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

ඔහු බලාගෙන හිඳියි. ඇය නවත්වන ඔහු මෙසේ කියයි: ඒ වාක්‍ය කොටස මේ විදියට කියන්ඩ. තව ටිකක් හඬ මෘදු කළොත් නරකද? අනේ ටෝවල්ඩ් මං ඔයාගෙ දරුවෙක් නෙමෙයි. පපුවට ගහගන්ඩ එපා. එතකොට විකට හැඩයක් ගන්නවා. ස්පන්දනය මඟහරින්ඩ. හිතේ නොඉවසුම් ගතිය අල්ලා හිටින්ඩ. ඔයාගේ හිස ජනේලය දිහාට හරවන්ඩ. ඊට පස්සෙ දොර දිහාවට. හා, දැන් කතා කරන්ඩ.

ඇය ඒ උපදෙස් අනුගමනය කරන්නේ අවශ්‍ය වූ තමන්ගේම සකස්වීම්ද ඇතිවය. ඇය හැඳ සිටින්නේ නිල් පැහැති චාම් සායකි. ඇගේ සිරුර උසය. සිහින්ය. ඕ ආසාවෙන් පිරී සිටින්නේ වන නමුදු කවරම මොහොතක හෝ කඩා වැටෙන්ටද ඉඩ ඇත. සහායකයෝ එකිනෙකාට කොඳුරති. ශාන් මින් සිනාසෙන්නේ නැත. වෙන කිසිවක් කියන්නේද නැත. ලෑන් පින් සිය කථනය අවසන් කළ පසුව තවදුරටත් හරිත කුටියේ රැඳී සිටින්නැයි ඇයට දන්වන්නට අධ්‍යක්ෂවරයා විසින් සහායකයකු යවනු ලබයි. ශාන් මින් මහත්තයා එයාගේ වැඩ කටයුතු අවසන් වුණාම ඔබත් එක්ක කතා කරන්ඩ කැමතියි. අද එයා වෙනත් කෙනෙක් හම්බ වෙන්නෙ නෑ.

ඔවුහු හමු වෙති. තේ පානය කරති. සියල්ල හොඳින් සිදු වෙයි. ඔහු අගය කරන්නේ තමාගේ රංගන හැකියාව පමණක් නොවෙයි. තමාගේ පෞරුෂයද ඔහු අගය කරන බැව් ඇයට දැනෙයි. ඇයට ලැබෙන්නේ අධික ප්‍රශංසාවකි. ඔයා නෝරාගේ චරිතය හොඳට තේරුම් අරගෙන තියෙනව ඔහු පවසයි. අහම්බෙන් වගේ ඇගේ සිතෙහි කොනක එතැනට අදාළ නොවන එකම සිතිවිල්ලක් යළි යළි උපදින්ට වෙයි. එයා බැඳපු මිනිහෙක්.

පසුව, හුඟක්ම පසුව, නාට්‍යයෙන්ද පසුව,

සිය භූමිකාවෙන්ද පසුව, තමාගේ ඊළඟ

ස්වාමිපුරුෂයා සම්බන්ධයෙන් හිත බිඳුණු පසුව, ඇය ඒ සිතිවිල්ලට සවන් දෙයි. ඉනික්බිතිව ඇය සෙවණ පතා යන්නේ ශාන් මින් වෙතය. ඔහුගේ නිවසේ පදිංචියට යන ඇය ඔහුගේ අනියම් බිරිඳ බවට පත් වන්නීය. නමුත් මේ සන්ධිස්ථානයට එන විට ඕ වෘත්තීය තත්ත්වයට පත්වද සිටින්නීය. ඇය රඟපාන්ට යන්නේ නෝරාගේ භූමිකාවය.

නෝරා කියන්නේ සාම්ප්‍රදායික බටහිර ගෘහණියක්. දරුවන් තිදෙනෙකුගේ අම්මා කෙනෙක්. ශාන් මින් කියන්ට වෙයි. ඇගේ සැමියාත් ඇගේ මිතුරනුත් සිතන්නේ ඇය හොඳ ජීවිතයක් ගත කරනවා කියලා - හොඳට කාලා බීලා, හොඳට ඇඳල පැළඳලා. උපන් දිනවලදී ඇයට ලැබෙන්නේ ඉතා වටිනා තෑගි බෝග.

නමුත් එයා මගේ අම්මා වගෙයි. තරුණිය කතාව මැදට පිවිසෙන්නීය. එයාගෙ මිනිහා එයාට සැලකුවෙ සාමානයෙක් හැටියට නෙමෙයි. සයනයට ගෙනියන සහකාරියක් හැටියට විතරයි.

කියන්ඩ මිස් ලෑන් පින්.

තව කියන්ඩ.

ගෙදර ගැනවත් ඇගේ දරුවන් ගැනවත් ඇගේම කටයුතු ගැනවත් ඇයට තීරණ ගන්ඩ අවසර තිබුණෙ නැහැ. එයා නොපෙනෙන කූඩුවක දමලා හිටිය තටු කපාපු කිරිල්ලියක්. එයා උපපතිනියක්. මිනිහගේ කකුල් මිරිකන ගෑනියක්. වහලියක්. එයා සිරකාරියක්. මාත් සිරකාරියක්. සිරකාරියක් වෙලා ඉඳිල්ලෙ රඟේ මොකක්ද කියල මමත් හොඳට දන්නව.

අධ්‍යක්ෂවරයා ඇය ධෛර්යවත් කරයි. ඔබේ පසුබිම විස්තර කරන්ඩ. ඔහු ඉල්ලා සිටියි. ඕ සිය භූමිකාවට ප්‍රවේශ වන්නීය. ඇය තාත්තා ගැනත් ඔහුගේ බීමත්කම ගැනත් නපුරුකම ගැනත් විස්තර කරයි. අම්මා ගැනත් ඇය වහලියක් බවත් පවසයි. ඇය තමා ගැනත් කියයි. ගෙදරින් පැන ගිය හැටිත් නැතිබැරිකම් මැද දුක්ඛිත ජීවිතයක් ගත කළ හැටිත් කියයි. සාවධානව සවන් දීගෙන සිටින අධ්‍යක්ෂකට තේ එක බොන්ටද අමතකය. ඉනික්බිතිව ඔහු ඇයට පවසන්නේ තමා මෙතෙක් බලා සිටියේද ඒ අර්ථකථනයම බවය. ඔහුට ඇය කෙරේ කොතරම් ආදරයක් ඇති වන්නේද යත් ඒ මොහොතේම එතැන්හිදීම ඇය සිපගන්ට පවා සිතෙයි. ඔයා තමයි මගේ නියම නෝරා. සර්වසම්පූර්ණ නෝරා. ඔයා හින්ද තමයි කවද හරි මේ නාට්‍යය දුවන්නෙ.

ඉන් පසුව ඇයට තමාගේ සම නළු ශාඕ ඩෑන් මහතා හමු වෙයි. ඒ කියන්නේ වේදිකාවේද සිනමා තිරයේද රජ්ජුරුවන්ය. ඉදිරි ජීවිත කාලය පුරාම ඇයගේ සාපය බවට පත් වන්නේද ඔහුය. වේදිකාව මත ඩෑන්ගේ චරිතය ඇගේ සැමියා වන ටෝවල්ඩ්ය. මේ නම් ලෑන් පින්ට විශ්වාස කරන්ටත් බැරි තරමේ වාසනාවකි. මුල්ම වතාවට ඩෑන්ට තමා හඳුන්වා දුන් අවස්ථාවෙහි ඇති වූ හැඟීම තවමත් ඇගේ මතකයෙහි නළියයි. ඇය විස්මයෙන් ගල් ගැහිලාය. ඇය වෙවුලුම් ගත් ඒ අතට අත දීම - එමොහොත දැනුණු තැතිගැනීම - බයාදු ගතිය - සඟවාගන්ට ඇය අසමත්ය.

හේ තෙමේ තියුණු නෙත් යුගලකින් හෙබි කඩවසම් උස මිනිහෙකි. ඇය පිළිගනිමින්

ඔහු හිස සලයි.

මිස් ලෑන් පින් වමේ ව්‍යාපාරයේ සාමාජිකාවක්. නළුවා අමතා ශාන් මින් එවදන් පවසන විට ඇයට දැනෙන්නේ තමා ලඝු කොට සැලකූ බවකි.

මම අලුත් තමයි. නමුත් මට හැකියාව තියෙනව. ඇය එවදන් පවසන්නේ කිසිවකු අමතන විලාසයෙන් නොවෙයි.

ඔහේ සූකිරි ටිකක් කන්ඩ කැමතිද? නළුවා අසන්නේ යටිගිරියෙන් බෙරිහන් දෙමිනි. කවුද සූකිරි ටිකක් කන්ඩ කැමති?

ඔවුහු දිනකට පැය දාහතරක් වැඩ කරති. රඟහල ඔවුන්ගේ ගෙදර මෙනි. ඇතැම් අවස්ථාවල ඔවුහු වේදිකාව පිටුපස නිදාගනිති. එක්ව රඟපාන විට ඔවුන් දෙදෙන අපූරු යුවළකි. එතෙකුදු මේ වන විටත් ඔවුන් අතර නොරිස්සුම් ගතියක් ඇත. ඩෑන්ට අල්ලන්නේ නැත්තේ ලෑන් පින්ගේ එඩිතරභාවයයි; ඇයද තමා හා සාමානයකු කොට ඇය සිතන සිතිවිල්ලයි. සිය අලුත් තත්ත්වයත් ඔහු සමඟ ආශ්‍රයත් ඇය යොදාගන්නේ සෙසු අයට අඟවන්ටය. ඇගේ ඒ ලොකුකම ඔහුට විඳදරාගන්ට බැරිය.

ඔහු ඉදිරියෙහි කර උස්සාගෙන සිටින්ට ඇයට ඕනෑය. ඔහු කෙරේ ආකර්ෂණය වීමෙන් ගැළවෙන්ටද ඇයට බැරිය. මුල්ම කාරණය ඔහුගේ ධී ශක්තියයි. දැනමුත්තකු ගුරුවරයකු වගේම මිනිහකු හැටියටද, ඔහු කෙරේ ආකර්ෂණය නොවී සිටින්ට ඇයට බැරිය. පසු කාලයකදී ඇය පවසන්නේ ඒ අන් කිසිවක් නොව අභිභවන්ට නොහැකි තත්ත්වයන් යටත් කරගන්නට තමා තුළ පැවති චරිත ස්වභාවය බවයි. ඇය ආකර්ෂණය වී ඇත්තේ අභියෝගයට මිස මිනිහාට නොවේය.

ඕ ඩෑන්ගේ සහකරුය. එමෙන්ම රසිකයාය. ඇයට පැවරී ඇති චරිතය කෙරෙහි සාවධාන වන්නට සිත මෙහෙයවන්නට ඔහු මඟ පෙන්වයි. එහෙත් ඇය කාරණා කටයුතු අවුල් කරගන්නීය. ඔහු සමඟ වේදිකාව මත ඇති සම්බන්ධය සැබෑ ජීවිතයේත් ඇතැයි ඇය වරදවා වටහාගන්නීය. මේ සියල්ල අලුත්ය. තැති ගැන්වෙනසුලුය. ඇය අවුලට පත් වන්නීය.

අන්තිමේදී පැහැදිලි වන කාරණය නම් ඇය ඔහු අගය කරන තරමට ඔහු ඇය අගය නොකරන බවය. ඔවුන් ඉතා කුලුපග දර්ශනවල සමීපව එකට රඟපාන්නේ වී නමුත් ඔහු ඇය කෙරේ කිසිදු අවධානයක් නොදක්වයි. ඔහු රඟපාන්නේ තමා තුළම වන ප්‍රබෝධයෙනි. ඇය රුකුලක් - ආධාරකයක් - පමණි. පෙම්වතියකැයි සලකා පෙම්බස් දොඩන්නට ඔහුට සිදුව ඇතත් ඔහු සලකන්නේ ඇය කැමරාවෙන් පිටස්තර එකියක හැටියටය. ඔහු විසින් ඇය සලකනු ලබන්නේ ප්‍රාන්තීය නිළියක හැටියටය; මේ චරිතයට නොගැළපෙන්නියක හැටියටය.

එක් වී වැඩ කරන පැය කිහිපයෙන් පසුව මා සමඟ කිසිදු සම්බන්ධයක් ඇති කරගන්ට ඩෑන් සූදානම් නැත. මා සමඟ චරිතය ගැන සාකච්ඡා කරන්ටත් ඔහුට වුවමනාවක් නැත. ඒ වෙනුවට ඔහු මගේ කොටස් සම්බන්ධයෙන් ශාන් මින්ට විවිධ යෝජනා ඉදිරිපත් කරයි. නාට්‍ය පිටපතෙහි ඇති දේවල් සම්බන්ධයෙන් මගේ අදහස්වලට සවන් දෙන්ට ඔහුට කිසිම උනන්දුවක් නැත. ඔහුට බලපුළුවන්කම් ඇති මිතුරෝ බොහෝ වෙති. ඔහු නාට්‍ය දර්ශනයට පසුව පැමිණෙන ඒ මිතුරන් සමඟ එක්ව තේ පානය කරයි. නැතිනම් කැවිලි බුදියි. මා කොතරම් සූදානම්ව සිටියද කිසිවිටෙක මට ආරාධනා කරන්නේ නැත. එයින් හැඟී යන්නේ නෝරාගේ චරිතය උදෙසා තෝරාගෙන ඇති මා දුර්වල එකියකැයි ඔහු සිතන බවය. ඔහුගේ රළු ගොරෝසු හැසිරීමෙන්ද පුහුණුවීම් සඳහා ඔහු පිළිවෙළට නොපැමිණීමෙන්ද පළ වන්නේ එකරුණයි. මගේ ටෝවල්ඩ් වන්ට ඔහුට වුවමනාවක් නැත. මා වෙනුවට අන් නිළියක ගන්නැයි ඔහු ෂාන් මින්ට පවසා ඇත්දැයි මට නිනව්වක් නැත. එක කරුණක් සහතික වශයෙන්ම මට කිව හැක. ෂාන් මින් නොවන්නට මෙලහකටත් මා වෙනුවට අන් නිළියක පත්කරගෙනය.

ඩෑන් යනු ගැහැනුන් සමඟ මනමාලකම් කරන්ට කැමති මිනිහෙකි. ඔහු ටෝවල්ඩ්ගේ වදන් පාවිච්චි කරමින් ලෑන් පින් සමඟ විහිළු තහළු කරන්ට කැමැත්තේය. රංගන කාරියේදී ඔහු ඇගේ අත් මිරිකයි; ඇගේ සිරුරට තමාගේ සිරුර තෙරපයි. ඇය කෙසේ හෝ තමාගේ වේශ නිරූපණ කාමරයට කැඳවාගන්ට ඔහු නොයෙක් හේතුකාරණා දක්වයි. මෙහාට එන්ඩ, අද වසන්තේ අපූරු දවසක්.

ඩෑන්ගේ මෙම නොමනා සැහැල්ලු හැසිරීම ඇයට ඉමහත් පීඩාවකි. ඇයට වඩාත්ම වේදනා දැනෙන්නේ ඇය වේදිකාව මත පූර්ණ කැපවීමෙන්ද සැලකිල්ලෙන්ද කළ රංගනය ඔහුගේ හාස්‍යයට ලක් වන විටය.

ඇය ස්වකීය ඉරණම ගැන හරි හැටියට ඉගෙනගන්නේ ඩෑන් සමඟ ඇති කරගන්නා සම්බන්ධතාව ඇසුරිනි. ඩෑන්ගෙන්ද ඔහු වැනි තවත් මිනිසුන්ගෙන්ද තමාට නම් ගැලවීමක් නැතැයි ඇය වටහාගන්නීය. රංගනය අවසන් වූ පසුව වේදිකාව මත ඔහුගේ සහකාරියව සිටි තමා අතහැර දමා තමාගේ විරුද්ධවාදිනිය වන බායි යෑන්ග් සමඟ ඔහු ජෝඩු දමාගෙන යන අයුරු ඇය බලා සිටියි.

එතෙකුදු තමා වෙනුවෙන් එකදු හොඳ වචනයක් කියා නැති ඩෑන් අමතක කරන්ට ඇයට බැරිය. තමාට ආචාර කරන හැම අවස්ථාවකම ඔහුගේ මුහුණෙහි නැඟෙන බොළඳ විරිත්තිල්ල. ඒ සම්බන්ධයෙන් නම් අනාගතයේදී ඩෑන්ට සිය ජීවිතයෙන්ම වන්දි ගෙවන්ට සිදු වෙනවා ඇත.

කෙනෙකු තමාගේ ණය එකතු කරගත යුතු වනැයි මාවෝ මැතිනිය විශ්වාස කරන්නීය.

මම ඩෑන්ට විරෝධය පාමි. බොරු නොකරන්නැයි මම ඔහුගෙන් ඉල්ලා සිටිමි. මතුපිටින් කිසිවක් පෙනෙන්ට නැතත් අප්‍රකාශිත මේ නොරිස්සීම දිය වැලක් සේ ඇගේ සිත යටින් ගලා යෙයි. ඔහු මගේ ළැමට තද වෙන්ට තැත් කළ එක් දිනෙක මම ඔහු අහකට තල්ලු කෙළෙමි. ඒ දිනට පසු දින තමාගේ පෙම්වතියක් ගැන ඔහු මට සඳහන් කෙළේය. මම ඉන්නෙ ප්‍රේමයෙන් ඔහු පවසයි. ඇගේ නම ලුසී. ලුසී යේ. එයා තමයි මං විවාහ කරගන්ට අදහස් කරන්නෙ. එයත් නිළියක්. තමුසෙ වාගෙ නෙමෙයි. මෘදු ගති තියෙන කෙල්ලක්.

මාතෘකා