ආපසු පැමිණි පැරණි මතකය

 ඡායාරූපය:

ආපසු පැමිණි පැරණි මතකය

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

තොරතුරු කියන්ට යූ ෂාන් එන විට මාස කිහිපයක්ම ගතව ඇත්තේය. යූ කුවෙයි නිදහස් කරගෙන ඇත. ඒ, ඔවුන්ගේ මාමා කෙනකු වන ඩේවිඩ් යූ මගිනි. ඩේවිඩ් යූ, චියැන් කායි - ෂෙක්ගේ කොන්ග්‍රසයේ බලවත් පුද්ගලයෙකි. යූ ෂාන් එන්න කලින් නොදන්වාය. මේ පුවතින් යූන්හේ සතුටට පත් වෙතැයි ඇය සිතන්නීය. එතෙකුදු එපුවත යූන්හේට නම් සිය බලාපොරොත්තු සුන්වීමකි. ඇය දොර හරින්නේ යාන්තමිනි. ඇය අමුතුය. කැළඹිලාය. හරියට සොරකමක් කරන්ට ගොස් අතටම අසු වුණු පොඩි දරුවකු වගේය. ඇය තාමත් නිදි ඇඳුමෙනි. හිසකේ අවුල් වෙලාය. තොල් සායම් තැවරිලාය.

ඔයා දොර අරින්නෙ නැද්ද? යූ ෂාන් අසයි.

ඇතුළත අවුලකි. යූන්හේ තාමත් දොර අවුරාගෙනය. මං පැයකින් විතර ටී හවුස් එකේදි ඔයාව හමු වෙන්ඩද? යූන්හේ යෝජනාවක් කරන්නීය.

එහෙත් ඒ වන විටත් සිදු වී ඇති දේ යූ ෂාන් දකියි.

දොර පිටුපස තරුණයෙකි. ඒ යූන්හේගේ අලුත් පෙම්වතා වන චාඕය.

මාවෝ මැතිනියට චාඕ ගැන මතකයක් ඇත්තේ නැත. ඇය විසින් ඔහු සිය මතකයෙන් සදහටම මකා දමා ඇත්තේය. ඇයට මතක ඇත්තේ යූ කුවෙයි නැතිව තමාට තනි බවත් නිදාගන්ට බැරි බවත් පමණි. ඇය දොම්නසට පත්ව සිටින්නීය. යූ කුවෙයිගේ ආපසු පැමිණීම, ඇය බලාපොරොත්තුව නොසිටි දෙයකි. වේදනාවෙන් ඈත් විය යුතුය. ඇය තමාටම කියාගත්තීය. වීරවරියකගේ චරිතය නම් ඉදිරියටම යාමය. ඇයට මේ කිසිවක් චාඕට නම් තේරුම් කර දිය නොහැක.

යූ කුවෙයි ඇගෙන් ප්‍රශ්න කරන්නේ නැත. චාඕට එරෙහිව කිසිවක් කරන්නේද නැත. යූ කුවෙයිට සිදු වුණේ කින්ද මන්දැයිවත් ඔහු ඒ කාලය ගත කෙළේ කෙසේදැයිවත් දැනගන්ට යූන්හේට කවදාවත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැත. දිනක් සිය සහෝදරයාගෙන් පණිවිඩයක්ද රැගෙන ඇය හමුවන්ට යූ ෂාන් පැමිණෙයි.

මගේ සහෝදරයා ක්වින්ඩාවෝ අතහැර බීජින් බලා යනවා. පක්ෂයට එයාව එහෙ වැඩට ඕනෑ වෙලා.

මේ වෙන්වීම ගැන තමාට දැනෙන්නේ කුමක්දැයි යූ කුවෙයි කිසිම සඳහනක් කරන්නේ නැත. ඔවුන්ගේ සම්බන්ධය ගැනවත් ඔවුන්ගේ අනාගතය ගැනවත් වචනයක්වත් නැත.

ජීවිතයේ පළමු වතාවට ස්වකීය භූමිකාව ගැන නිළිය අවුලට පත්ව සිටින්නීය. - වීරවරියක් - පාවාදෙන පර බැල්ලියක්.

ඇය චාඕ සමඟ දිගටම සබඳකම් පවත්වාගෙන යයි. ඒ අතරවාරයේ යූ කුවෙයිටද ලියයි. ඔහුගෙන් ප්‍රතිචාරයක් නොලැබෙන විට ඇය නගරය අතහැර යයි. ඉබාගාතේ ඇවිදියි. ආපසු පැමිණෙයි. යළිත් නගරය අතහැර යයි. අවුරුද්දක් ගත වෙයි. තවදුරටත් ඇයට දරාගෙන සිටින්ට බැරිය. තමන්ගේ බඩුමුට්ටු සියල්ල විකුණා දමන ඇය බීජින් බලා යන දුම්රියක නගින්නීය.

මම දුම්රියේදී කනවැන්දුම් ස්ත්‍රියක මෙන් ඉකි ගසා හඬමි. මගීහු මා වෙත උණු වතුරේ පෙඟූ තුවා ගෙනැවිත් මගේ සිරුර තවති. ඔවුන් එසේ කරන්නේ මා සනසන අටියෙනි; මගේ හැඬුම නවත්වන අටියෙනි. බීජින් නුවරට පැමිණීමත් සමඟම හදිසියෙන්ම මා තුළ වූ ධෛර්යය සිඳී ගියේය. මට යූ කුවෙයිගේ මූණ බලන්ට බැරිය. මම මා ගැනම ලජ්ජා වෙමි.

ඉදිරියට යන්ට, ගොස්, නැවත ඔහු හමු වන්ට, බල කරනු ලැබ සිටියි. ගමන පිටත් වන්ට පෙර මා යූ ෂාන්ගෙන් දැනගත් කාරණයක් විය. එනම් ඒ වන විට යූ කුවෙයි උතුරුදිග චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් බවය. ඔහුගේ මූලස්ථානය ඇත්තේ බීජින් විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ බැව් සොයාගන්ට මට හැකි විය. ඔහු තමාගේ රැස්වීම් පවත්වන්නේද එහිය. දින ගණනක් බලා සිටි මම අන්තිමේදී ඔහු වෙත කඩා වැදුණෙමි.

ඔහු සිටියේ ඔහුගේ පක්ෂ සහෝදරවරුන් සමඟය. මට කිවහැකි එකම දෙය නම් මා දකින්ට ඔහු තුළ මනාපයක් නැති බවය. අපට මුණගැහෙන්ට අවස්ථාවක් දෙන්නැයි මම ඉල්ලා සිටිමි. ඔහු දිනයක් දෙන්නේ අකමැත්තෙනි.

ඒ දවස් සීතලය. වැස්සද වහින කාලයකි. දින ගණනාවක්ම මා පැළඳ සිටියේ තෙතට දමන එකම මිරිවැඩි සඟලය. මගේ දෙපා පෙඟී ඇත. වළලුකර තෙක්ම මඩ ගෑවී ඇත. අපි උද්‍යානයකදී හමු වෙමු. ගංගාව තේජස්වීය. විභූතිමත්ය. ජලයද මිදී ඇත්තේ නොවෙයි. අමුත්තෝද නොසිටියහ. මට සුපුරුදු ඒ රුව මා වෙත සමීපවත්ම මම නොහඬා ඉන්ට වෑයම් කරමි.

ඔහු තාමත් කඩවසම්ය. අඳින්නේ මා ඉතා කැමති කෑලි දෙකේ නිල් පැහැ ඇඳුම් කට්ටලයයි. මා දුටු සැණින්ම ඔහු සිය ඇස් ඉවතට ගනියි. හරිම අසීරු තත්ත්වයකි. එහෙත් උත්සාහයක් ගන් මම අධිෂ්ඨාන කරමි. සමාව ඉල්ලනු සඳහා මම බලෙන්ම කතා කරමි. සිද්ධ වුණේ වරදක් මම ඔහුට කියමි. මං ඔයා එන තුරු බලාගෙන හිටියා.

මට සවන් දෙන්ට ඔහුට කිසිත් ඕනෑමක් නැත. මා මෙහි කරන්නේ කුමක්දැයි ඔහු අසයි.

මංවත් දන්නෙ නෑ, මම කියමි. වෙන මොකක්ද මට කිව හැක්කේ? ජලයෙහි ගැඹුර මැන බැලීම මගේ ස්වභාවය නෙමෙයි. මගේ විශ්වාසය හැටියට මට කොහොම හරි පාවෙන්ඩ පුළුවනි. මට දැන් දහනවයක්. මගේ යැපීමට මම වැඩ කරනවා. මම වැඩිහිටි රාත්‍රි පාසලක උගන්වනවා. දරුවෙක් බලාගන්නව. නාට්‍ය ප්‍රවේශ පත්‍ර විකුණනවා. මේ සේරම මම බලා කියාගන්නව. ඒවා තෝරා බේරාගන්නෙත් මමමයි. මං කොහොම හරි ජීවිතේ ගැට ගසාගන්නවා. නමුත්, අපට සිද්ද වුණේ මොකක්ද කියල මට කියන්ඩ බෑ.

ඔයා බීජින්වලට නේන්ඩයි තිබුණෙ ඔහු පවසයි.

මට ඔයා හම්බ වෙන්ඩ ඕනැ යූ කුවෙයි. මං දන්නෙ නැහැ. මං ජීවත් වෙන්නෙ ඔයාගෙ අවතාරෙත් එක්ක.

යූන්හේ, ඔහු මා අමතයි. මගේ නමින්ම අමතයි. මගේ හැඬුම මට පාලනය කරගන්ට බැරිය.

ඕ, යූ කුවෙයි ඉදිරිපිට සිටගෙනය. ඇගේ දෑස කඳුළින් පිරී ඇත. සුළඟ හමා විත් ඇගේ කෙස් කළඹ අවුල් කරයි. ඇය ඒ කෙස් ස්පර්ශ කරන්නේවත් කෙස්වැටිය අවුල් හැර ගන්නේවත් නැත. ඇය ඔහු දෙසම බලාගෙනය. මාව ආපසු බාරගන්ඩ.

ඒ රාත්‍රිය ඇයට කිසි විටෙක අමතක නොවෙයි. ඔවුන් පෙම් කිසෙහි යෙදෙන්නේ හරියට ලෝකය අවසන් වෙන්ඩ පැමිණ ඇතිවාක් මෙනි. දෙදෙනාම ඔවුනොවුන් අතර ඇති හිස් බැල්ම ජයගන්නට වෑයම් කරන්නා සේය. ඇය සුපුරුදු පෙම් කිසෙහි යෙදෙන්නීය. ඇය නැතිව සිටි පාඩුව කොතරම්දැයි ඔහුගේ සිරුර පවසන්නේය. ඇය හඬන්නී ඔහුගේ දැඩි අනුරාගය, මුළුමනින්ම තමා යටතට ගන්නීය. ඔහු සතුටු කරනුව කළ හැකි හැම කාම සූත්‍රයක්ම ඇය වහරට ගන්නීය. පැරණි මතකය ආපසු පැමිණ සිටියි. තමා විසින් ඔහු ජයගෙන ඇතැයි ඇය සිතන්නට වෙයි. තමා ඇයට ආදරේ බවත් අන් කිසිවකුට ඒ ආදරය තමාට දෙන්නට බැරි බවත් ඇයට අවශ්‍ය කවර නම් මොහොතක හෝ තමා ඇය උදෙසා සිටින බවත් ඔහු ඇයට පවසයි.

එහෙත් සත්‍යය, ඔවුන්ගේ හේමාලයන්ගෙන් වැසී ඇත්තේය. කාරණා කටයුතු පවතින්නේ පැවති ආකාරයට නොවේය. ඊළඟ දින කිහිපය තුළදී අරගලය යළිත් හිස ඔසොවන්ට පටන්ගනියි. ඇය කතා කරන අයුරින්ද හැසිරෙන හැටියෙන්ද ආදරය කරන විලාසයෙන්ද එය ඉස්මතුව පෙනෙයි. ඇය යොදන වචනවලින්ද එය පළ වෙයි. මම ශක්තිමත්. කිසිම දෙයකින් මා බිම හෙළන්ට බැහැ.

එවදන්වලින් දමා ගසමින් නොවැළැක්විය හැකි වෙන් වීම සඳහා ඇය කටයුතු සලසාගන්නීය. ඇය ඉදිරියට ජීවත් වන්නේත් තමා පොඩි කරනු ලැබ යටපත් කිරීමෙන් ඇය මිදෙන්නේත් ඒ වචන හඬ නඟා පැවසීමෙනි.

යූ කුවෙයි විසින් ඇය විශ්වවිද්‍යාල සයනාගාරය තුළ රඳවාගනු ලබන්නීය. කිසිම මුදලක් නැත. ඔහුගේ පැමිණීමක්ද නැත. ඇය දින ගණන්, සති ගණන්, මාස ගණන් බලා සිටින්නීය. ඔහු පොරොන්දු වෙයි. නමුදු දර්ශනය නොවෙයි. ඔහු ඇය සම්බන්ධයෙන් ආචාරසම්පන්නය. නමුත් ඈතය. නොසැලීද සිටින්නේ වෙයි. ඇයම ගොස් ඔහු සොයාගනියි. ඔහු පසුපසම යයි. ගොස් කරුණු වටහාගනියි. ඔහු ඇගේ දෑතට යළිත් එන්නේ නැත. ඔහු වෙනත් ගැහැනියක් බලන්ට යයි.

ඇය මුළු ශීත ඍතුවම ගත කරන්නේ, විශ්වවිද්‍යාල සයනාගාරයේ කාමරයක් තුළය. ඇයට දැනෙන්නේ ගෙදොරක් නැති බල්ලකුට දැනෙන්නාක් මෙනි. වසන්තය පැමිණෙන තෙක් බලා සිටිමැයි ඇය තමාටම පවසන්නීය. ඇතැම් විට යූ කුවෙයිගේ සීතල හිම බඳු හදවත දිය වනු ඇත්තේය. තමා සමඟ එළියට එන්නැයි ඔහු ඇයට ඇරයුම් කරනු ඇත්තේය. වසන්තයේ පිපී ඇති කුසුම් ඔහුගේ හැඟුම් යළි පුබුදනු ඇත්තේය. ඒ අතර තමාට මෙපරිදි වධ හිංසා පැමිණවීම දැන් හොඳටම ඇතැයි ඔහු වටහාගනුද ඇත්තේය.

මම සියලු උත්සාහයන් දැරීමි. එතෙකුදු ඔහු මට නැති වී ඇතැයි යන හැඟීමෙන් මිදෙන්ට මට බැරිය. අප වෙන් වුණායින් පසුව පමණක් නොවෙයි; ඔහු යළිත් විවාහ වුණායින් පසුව පමණක්ද නොවෙයි. මවිසින් මාවෝ විවාහ කරගැනීමෙන් පසුව වුණත් එසේමැයි. යළි ඔහුත් මාත් අතර සමථයක් ඇති කරගත නොහැක්කේය. මම එය මගේ දෛවය හැටියට බාරගනිමි. භාවාත්මකව නම් මට ඒ හැඟීමට ඉඩ දිය නොහැක. වෙනත් ගැහැනියක් ඔහු සතු කරගෙන සිටීම මට දරාගෙන සිටින්ට බැරිය. ඒ පිලිස්සුම් කැළල මගේ මුළු ජීවිතය පුරාම පවතිනු ඇත්තේය. 1958 වසරේදී වයස අවුරුදු හතළිස් පහක්ව සිටියදී ඔහු හෘදයාබාධයකින් මියගිය පසුව වුණත් එය මට ඉවසා දරාගෙන සිටින්ට බැරිය. ඔහුගේ බිරිඳ හෑන් කුවින්ග් කෙරේ ඇති මගේ නොකමැත්ත මම සඟවා නොගනිමි.

ආපසු හැරී බලන විට නියම හේතුව කුමක්දැයි ඇයට පෙනෙයි. අත්හරිනු ලැබීමේ අනුරාගික වේදනාව. ස්වකීය භූමිකාව අවසානයකට ගෙන එන්ට යූ කුවෙයි ඇයට ඉඩ දුන්නේ නැත. තමාට ඒ භූමිකාව සාර්ථකව රඟපාන්නට බැරි වුණේ මන්දැයි ඇයට සිතන්නට සලස්වමිනි ඔහු ඇය අතහැර ගියේ. ඇගේ රංගනයෙන් ඔහු පිට වී ගියේ තිරය වැටෙන්ට පෙරාතුවය. එවන් නින්දාවක් - මදිපුංචිකමක් - බාරගැනීම ඇගේ චරිත ස්වභාවය නොවෙයි. ඇතැම් විට ස්වේච්ඡාවෙන්ම ඔහු ලිස්සා ගියේත් ඇය චීනයේ නායිකාව වන්නට පෙර ඔහු මිය ගියේත් ඒ නිසා වන්නට ඇත. ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම ඉදිරියේ ඇය තවදුරටත් ජීවත් වන්නේ කෙසේද? තමා කළ දේ සම්බන්ධයෙන් ඇයට ආපසු ගෙවන්නට ඔහුට නොසිදුවනු ඇත්ද? ඇතැම් විට ඒවාද ප්‍රශ්න වන්නට නොතිබිණිද? තමා විසින් ණයක් හැටියට නොපිළිගන්නා ලද දෙයක් ආපසු ගෙවන්ට ඔහුට අවශ්‍ය නැත්තේය. ඔහු නිවැරදිය. ඇය ජීවිතය ගත කෙළේ සිය බලාපොරොත්තු සුන්වීම් නමැති තැන්පතුවේ තිබුණු මුදල් හිලව්වට ගෙන වියදම් කිරීමෙනි.

මාතෘකා