මහ පොළොව ගිල දමන්නට අහස පාත් වෙයි

 ඡායාරූපය:

මහ පොළොව ගිල දමන්නට අහස පාත් වෙයි

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

සන්නාලි ලිය කඳුළු පිසදාගනියි. නාසය පිස යළිත් කතා කරගෙන යයි. සී-ෂෙන් මා ඕ කසාද බැඳගත්තෙ ඔහුගේ හදවතේ තිබුණු හිදැස පුරවන්ඩ. සී-ෂෙන් යන යන තැන පිස්තෝල දෙකක් ඇරගෙන ගියා. ඇය අත් දෙකෙන්ම වෙඩි තිබ්බා. එක සටනකදි ඇය සතුරන් දුසිමක්ම බිම හෙළුවා. මා ඕ එයාට ආදර ගෞරව කරනවා. ඇය ඔහුගේ ලොකුම විශ්වාසවන්තිය. කායි-හූයි ඉතිරි කරල ගිය ළමයිත් සමඟ ඇය තමයි සියලු දෙනාගේම අම්මා. දිග ගමනෙ - ලෝන්ග් මාර්ච් එකේ - ගමන් කරන්ඩ අවශ්‍ය නිසා, ඒ දරුවො පිටට දුන්නා. තමන්ගෙ දරුවන් පිට අයට බාර දීලා යන එක ඒ දරුවො ආයෙත් දැකගන්ඩ ලැබේවිද කියන කාරණය නොදැන - මොන වගේ දෙයක්ද කියල ඔබට තේරෙන්නෙ නෑ.

ෂැන්හයි සිට පැමිණි තරුණිය හිස සලමින් කෙඳිරි හඬින් කියා සිටින්නේ තමාට ඒ ගැන හිතාගත හැකි බවය.

නෑ... ඔයාට බෑ... එහෙම පුළුවනි නම්, ඔයා මේ දැන් මේ කරන වැඩේ කරන්නෙ නෑ. අනිත් අයගෙ ස්වාමිපුරුෂයො හොරකම් කරන්නෙ නෑ.

කෝපයෙන් සිටින ගැහැනිය නූලේ අග කොන දත්වලින් සපා කඩා දමයි. සභාපතිතුමයි

සී-ෂෙනුයි වෙන් වෙලා ඉන්නෙ තාවකාලිකව. තාවකාලිකව.... ඔයාට ඇහෙනවද ලෑන් පින්?

ඔව්, මට ඇහෙනව...

දෑසෙහි මතු වුණු නව දීප්තියක් සමඟම එසැණින්ම සන්නාලි කතගේ කටහඬ මෘදු බවට හැරෙයි. ඔව්... මට විශ්වාසයි.... සී-ෂෙන්ට සනීප වේවි. ජෝඩුව ආයෙත් එකතු වෙනව. කිසිම කෙනෙක් සී-ෂෙන් අතහරින්නෙ නෑ. සභාපති මා ඕ කියන්නෙ ප්‍රාතිහාර්ය පාන්නෙක්. දිගු ගමන තමයි හොඳම උදාහරණය. රතු කඳවුර පුළුල් කිරීම තමයි අනික. ඊළඟට සී-ෂෙන්.

ඇඳුම් මහන්නියගේ රැලි ගැහුණු තොල් සැලෙන්ට වෙයි. වචන පිට පිට ගලා එයි. ඉටිපන්දම නිවෙන්ට ළඟය. හදිසියේම රන්පැහැ කවයකින් කාමරය දීප්තිමත් වෙයි. ඒ සමඟම මොහොතකින් ඉටිපන්දම නිවී යයි.

ඔබට තරාදියක් තියෙනව. මට පඩියක් තියෙනව. එතැන ගැළපීමක් තියෙනව.

තමා ඉදිරියේ ඇති මුහුණ පරීක්ෂා කරමින් ලෑන් පින් හිස සලයි.

ඔබ මොකක් දිහාද බලන්නෙ? මම පරණ හිස් කබලක්ද? මං, ඔබ මිලට ගන්ඩ හදන ලුණු දමාපු ඌරු මස් කෑල්ලක්ද?

මං ආවෙ ඔබතුමාට අතින් අත දෙන්ඩ ඇය පවසයි. මං ආවෙ ඔබතුමාට හොඳ සෞඛ්‍යයත් සතුටත් පතන්ඩ.

සැණෙකින් ඇගේ දෑත් අල්ලාගන්නා ඔහු කියන්නේ, ඔහුගේ මුළු ආත්මයම ඇය ඉල්ලා සිටින බවය. ඒ ඉල්ලීම ඉටුකළ යුතුයි. නැති නම් ඒ ආත්මයේ අයිතිකාරයාගෙන් මරණීය පළිගැනීමත් කරාවි.

ඕ නිහඬය. එතෙකුදු සිය අත ඔහුගේ අත්ල මත තිබෙන්ට ඉඩ හරියි.

මං ඔබ එනකන් බලාගෙන හිටියෙ, ඔහු කොඳුරා කියයි.

මං මොකද කරල තියෙන්නෙ?

මං ළඟට එන්ඩ.

ඇය පැකිෙළන්නීය.

ඔහුට තමා පාලනය කරගත නොහෙයි. ඔහුගේ දෑස ඒවාට අවශ්‍ය දේ දෙස බලා සිටියි. අපි එදා ගං ඉවුරෙදි කළ කතාවට එකතු කරන්ඩ දෙයක් තියෙනව. ඔබ ඒක අහන්ඩ කැමතිද?

ඇය පැමිණ ඔහුගේ ඇඳේ නෙත්තියෙහි හිඳගනියි.

මං උපන් නගරෙ අගල්වල මං කැමතිම පැළෑටියක් වැවුණා. ඒක බීමා කියල හඳුන්වන රතු පැළෑටියක්. ඒ පැළෑටියෙ කොළ නෙලුම් කොළේකට වඩා ලොකුයි. රවුම් හැඩය. ඒකෙ ගෙඩිය අතේ මිටක් විතර ඇති. ගෙඩිය ඇතුළෙ තියෙන ඇට, අත්තික්කා ගෙඩි තරම් ලොකුයි. ඒ ඇට පොඩි කරන්ඩ බෑ. ඇටේ ඇතුළෙ තෙල් ගොඩක් තියෙනව. ඒ තෙල් රසයි. නමුත් කන්ඩ බෑ. අතීසාරෙ හැෙදනවා. මං කැමති වුණු කාරණය තමයි, මේ ඇටවල තෙල් පහන් පත්තු කරන්ඩ ගන්ඩ පුළුවනි. ඒ තෙල්වලින් ලැබෙන්නෙ ඉටිපන්දම් එළියට වැඩි ආලෝකයක්. ඒ වගේම සුවඳකුත් නිකුත් වෙනව. අපේ පළාතෙ සියලු දෙනාම ඒ තෙල් පාවිච්චියට ගන්නව. හවස්මානවලදි මම කළේ මේ බීමා ඇටවල පොතු ඇරීම. මේ ඇට දිග නූලක අමුණල, උණ කෝටුවක ගහල, මං පොත් කියවන තැන්වල තියනව. සමහර දවස්වලට මම මේ ඇට වැල පොකුණ ගාවටත් අරගෙන යනවා මාළුයි, කැස්බෑවොයි ඉන්න තැන් හොයාගන්ඩ.

කතා කරගෙන යන අතර ඔහු ඇය තමාගේ පපුව දෙසට ඇදගෙන ඇගේ දෑත මිරිකයි.

ඒ කාමරයේ උස සීලිමක් තිබුණු බැව් ඇයට මතකය. බිත්තිය මඩ පාටය. ගෙබිමට අල්ලා තිබුණේ ගල් පතුරුය. එය පෙනුණේ යෝධ කැස්බෑවකුගේ පිටපැත්ත මෙනි.

මේ මුහුණට මා කැමතිය. පිරුණු නළලක් සහිත මුහුණක්. ආශ්චර්යවත් හිසක්. රන් රිදීවලින් චියන් කායි - ෂෙක්ට මිලියන ගණනක් වටින හිසක්. ඒ හිසේ හැඩයත් රැලිත් බුදුහාමුදුරුවන්ගේ මෙනි. මගේ සිහියට එන්නේ දුර ඈත භූමි දර්ශනයකි. අළු පැහැති ගල්කුළුද, හරිත වර්ණ පොකුණුද ඇති ග්‍රහලෝකයක මතුපිට. එතුළ වන අනභිභවනීය අධිෂ්ඨානය මම දකිමි.

වෙස් මුහුණක් පිටුපස අදෘශ්‍යමාන රැකවලුන් මට පෙනෙයි. ඒ රැකවලුන්ට කරන්ට ඇති කාරිය නම්, කිසිවෙකු මනසේ අභ්‍යන්තර කුටියට පිවිසෙනු වළක්වාලීමය. සම්පූර්ණ වශයෙන්ම, නිර්වස්ත්‍රවද පීඩාවට අභිමුඛවද අනාරක්ෂිතවද ඔහු වැඩ වාසය කරන කුටිය.

ඔහු මා අල්ලා ගනියි. තම ඉල ඇටවලට තද වන සේ මා වැලඳ ගනියි.

මගේ මනස් චිත්‍රය රැඳෙන වා මඬල තුළ, සේද සළු සැලෙනු මට දැනෙයි.

මේ කාමරය තුළ මේ ඇඳ මතම ඇය සිය ජීවිතයේ රංගනය පුද කරන්නේය. සිය සිරුර මැදින් ආලෝකයක් පෙරී යනු ඇයට දැනෙයි.

මහ පොළොව ගිල දමන්ට අහස පාත් වෙයි. අතීතයෙන් ගෙනෙන ලද ඇගේ වේදනාව පළා ගොසිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා