මට පත්තු කළ ඔහුගේ මරණීය උණ්ඩය

 ඡායාරූපය:

මට පත්තු කළ ඔහුගේ මරණීය උණ්ඩය

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

යෙනාන්හි දී කෙනෙකුගේ පසුබිම ඔහුගේ වර්තමාන ක්‍රියාවන්ට වඩා වැදගත් බැව් කෑන් ෂෙන් මට පහදා දෙයි. පක්ෂය විශ්වාසය තබන්නේ ඔබ විසින් කර ඇති වැඩ කෙරෙහි මිස ඔබ කරන්ට පොරොන්දු වන වැඩ ගැන නොවෙයි. පක්ෂය හැමකෙකුම නිරන්තර සෝදිසියට භාජනය කරයි.

ඉදිරියට යන එකම උපාය වනුයේ, පක්ෂයට ඇති පක්ෂපාතභාවය ඔප්පු කිරීම පමණයි.

මා යෙනාන්වලට පැමිණ ඇත්තේ මගේ පක්ෂ සමාජිකත්වය අලුත් කරගැනීමට යයි මම කෑන් ෂෙන්ට කියමි.

එහෙම නම් හොඳයි, ඔබට ඔබ ගැන තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරන්ට සිද්ද වෙනවා. අපට සාක්ෂිකාරයන්ගෙ නම් අවශ්‍යයි.

මගේ සාක්ෂිකාරයින් හැටියට ඉදිරිපත් වෙන්ඩ ෂැන්හයිවල මිත්‍රයන් නැහැ.

ඔබ තවමත් යූ කුවෙයි එක්ක ඇයි හොඳයිකම් පවත්වනවද?

මා පිළිතුරු දෙන්ට පෙරම මෑත දී යූ කුවෙයි බීජින්හි සිට යෙනාන්වලට පැමිණ සිටින බව ඔහු කියයි.

මම හදිසියේම කැලඹෙමි. යූ කුවෙයිට දැන් කොහොමදැයි කෑන් ෂෙන්ගෙන් විමසීමට මට තවත් මොහොතක් ගත වෙයි.

මිනිහා හොඳින් ඉන්නවා, කෑන් ෂෙන් පිළිතුරු දෙයි. මිනිහගෙ යූ කුවෙයි කියන ගම හුවාන් ජින් කියල වෙනස් කරගෙන. මුළු වයඹ දිසාවම භාර පක්ෂයේ ප්‍රධාන ලේකම් එයා. ඇත්ත වශයෙන්ම ලෑන් පින් සහෝදරිය, ඔබ ගැන අතීත තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරන්ට යූ කුවෙයිට පුළුවනි. මා මදක් අවුලට පත්ව මොහොතකට කරුණු අමතකව ගිය වේලෙහි ඔහු මට අවවාද කරන්ට විය. කමක් නෑ ගිය දේ ගියාවේ. අතීතය අතීතය වුණාවේ. ඔහු උපැස් යුවළ ගලවා, මගේ මුහුණ දෙස කෙළින්ම බලාගෙන සිටියි. මම ඔබට ”ගොඩනැ‍ඟෙන්න” කියල කිව්ව වචනයට අවධානය යොමු කළාද?

එසේය. එය මම තේරුම් ගනිමි.

මම ඔබට ස්තුතිවන්ත වෙනව, කෑන් ෂෙන් ”ගේ”

ෂැන්හයි උච්චාරණයෙන්, මම ඔහුට ලොකු සහෝදරයා කියා අමතමි.

ප්‍රශ්නයක් නෑ. මට ඒක එවන්ඩ. යූ කුවෙයි අමතක කරල දාන්ඩ.

ඒ මොහොතේ සිට කෑන් ෂෙන් සහ මම මිතුරන් බවට පත් වෙමු. ඒ මිත්‍රත්වය ඉක්මනින්ම හවුලකට හැරෙයි. බොහෝවිට මගේ ජීවිතයේ මා සම්පූර්ණයෙන්ම විශ්වාස කළ මිනිහා ඔහු විය. දශක ගණනාවකට පසුව මගේ රහසිගත පෙම්වතා මගේ ගෙලට මාලයක් හදන්ට තීරණය කරයි. මා ඔහුගේ ප්‍රධානියා බවට පත්ව සිංහාසනයට නඟින්ට ඔන්න මෙන්න කියා තියෙද්දී, ඔහු මගේ පිටුපසින් මරණීය උණ්ඩයක් පත්තු කරයි.

ඒ වන විට ඔහු සිටින්නේ මරණ මංචකයේය. මහ බඩවැලේ හැදුණු පිළිකාව අවසාන තත්ත්වයට පත්ව ඇත. ඔහුට ඕනෑ කළේ ඔහුත් එක්කම මාත් ඇදගන්ටය. මා ඔහු ලොකු සහෝදරයාගේ තත්ත්වයෙන් නොතැබීම ගැන මට දඬුවම් කරන්ට ඔහුට අවශ්‍ය වී ඇත්තේය. ඒ තනතුර ඔහු බලාපොරොත්තුව සිටි අතර තමා එයට සුදුසු බැව්ද ඔහු තරයේ විශ්වාස කෙළේය. කෑන් ෂෙන් සහෝදරයා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති තනතුරට මවිසින් පත් නොකරන ලද්දේ ඒ තත්ත්වය මවෙත තබාගැනීමට මා අදහස් කළ හෙයිනි. ඒ අයිතිය මවිසින් දිනාගෙන ඇත්තේය.

මා කෑන් ෂෙන්ට ණයගැති නොවෙතැයි මම කල්පනා කරමි. මා ඕ ගංගාව තරණය කරද්දී, අපි දෙදෙනා එකිනෙකාගේ රුකුල බවට පත් වුණෙමු. අපි දෙදෙනාම සමානයෝ වෙම්හ.

නිල ලේඛන මඟින් ඉතිහාසය අනාවරණය කරන පරිදි කෑන් ෂෙන් තමාගේ අන්තිම කැමති පත්‍රයේ ලියා ඇත්තේ වචන අටක් පමණි. ඒ වචන කියවුණේ මෙසේය. මැඩම් මා ඕ ජියෑන් චින්ග් ද්‍රෝහියෙකි. මා යෝජනා කරන්නේ වහාම ඉවත් කිරීමය.

එහෙත් යෙනාන්හිදී අපගේ සම්බන්ධය ගොඩනැඟෙමින් පැවැති සමයේ දී ඔහු මගේ රූසපුව දෙස බැලුවේ පිම්පියකුගේ නෙතිනි. ඔහු එසේ කළේ ලොකු ලාභයක් පතාය.

යූ කුවෙයි කෙරෙහි මා තුළ ඇති හැඟීම් මොනවාදැයි මම දනිමි. ඔහු පසුපස යෑම මවිසින් අතහැර ඇත්තේ බොහෝ කලකට පෙර වුවද, මා ඔහු ගැන තැකීමක් නොකරතැයි පැවසීම නම් බොරුවකි. මම ඔහුට ලියමි. මා ඉන්න හිටින තැන් දන්වා මම ඔහුට ලියමි. මට දැන් එසේ නොකර ඉන්නට බැරිය. අවතාර හස්තයකින් මා වෙනුවෙන් ලියනු වැන්න. ඒ අවස්ථාවලදී මට මා ගැනම බය හිතෙයි.

ස්වකීය ජීවිතයේ ඉතිරි කාලය පුරාම යූ කුවෙයි මා කෙරේ ඇති සිය හැඟීම් ප්‍රකාශයට පත් කෙළේම නැත. අපගේ අතීතය ගැන ඔහු කිසි විටෙකත් වචනයකුදු කතා කරන්නේ නැත. මා කෙරෙහි අතිශයින්ම ආචාරසම්පන්න වීම මඟින් ඔහු මා සම්පූර්ණයෙන්ම බැහැර කරයි. ඔහු අප අතර වැටී ඇති ප්‍රාකාරය ගැන මා තුළ හැඟීමක් ඇති වෙන්ට ඉඩ හරියි. අප අතර ලොකු දුරකි. මවිසින් ඔහු අගය කළ යුතුමය. ඔහු අධිෂ්ඨානසහගත මිනිහෙකි. ඔහු යමක් සිතින් හිතාගත් පසුව එය සිද්ධ වෙන්ට කටයුතු සලසයි. ඔහු මගේ ලියුම්වලට පිළිතුරු නොලියයි. එක වතාවක්වත් නැත.

ඔහු සිය කටයුතු හොඳින් කරගෙන යයි. බලවත්ව සිටින්නේද වෙයි. ඔහුගේ ජයග්‍රහණ ගැන මම විස්මයට පත් නොවෙමි. ඔහු ටෑන් නාහ් වගේ නොවේය. යූ කුවෙයි අගය කරන්නට ඔහුට මා කළ දේ ගැන දුක් වන්නටත් ටෑන් නාහ් මා පොලඹවයි. මගේ හුදකලාව මවිසින් දරාගත යුතුව තිබිණි. එහෙත් ඔහුගේ තත්ත්වයේ සිටි අන් සියලු දෙනාටම මැරුම් කන්නට සිදු වූ අතර ඔහු පණ පිටින් ආපසු එතැයි මා සිතන්නේ කෙලෙසකද?

යූ කුවෙයිගේ හැඟීම් ගැනල මා තුළ ඇත්තේ කුතුහලයකි. කිසියම් විටෙක මා නොමැතිවීම ගැන ඔහු දුක් වුණිදැයි දැනගන්නට මට ඕනෑය. අපි දෙදෙන අපගේ යෞවනය බෙදාගත් හවුල්කරුවෝ වෙමු. එය මකාලිය නොහැක්කේය.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා