පළමු දොඩමලුව

 ඡායාරූපය:

පළමු දොඩමලුව

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

නව චීනයේ කිසිවකු යූ කුවෙයි යන නම දන්නේ නැති නමුත් ඔවුන් සියලු දෙනාටම කෑන්ග් ෂෙන් යන නම හුරුය. කෑන්ග් ෂෙන් සහෝදරයා. මා ඕගේ විශ්වාසවන්තම මිනිහා. චීනයේ ජාතික ආරක්ෂක සහ බුද්ධි අංශයේ ප්‍රධානියා. ස්ටාලින්ගේ අයගෙන් රුසියාවේ ඉගෙනගත් කෑන්ග් ෂෙන් අබිරහස්භාවයේත් කුමන්ත්‍රණයේත් මිනිහෙකි. ඔහුගේ මුහුණේ ඇති පෙනුමෙන් නම් කිසිවකුට කිසිවක්ම වටහාගත නොහැක. ඔහු මා ඕට කරුණු කාරණා දක්වන්නේ කෙසේද යනුත් දෙදෙනා එකට වැඩ කරන්නේ කෙසේද යනුත් කිසිවකු දන්නේ නැත. මුළු ජීවිත කාලය පුරාම කෑන්ග් ෂෙන් ඉන්නේ දර්ශනයෙන් වැසී පසුබිමේය. හදිසියේම ඔහුගේ සෙවණැල්ල වැටී අතට හසුවන තෙක් ඔහු සිටින වගක් කිසිවෙක් නොදනියි. එතකොට හොඳටම පමා වෙලාය. ඔබ හසුවන්නේ හරියට නපුරු හීනයක දී මෙන්ය. අබිරහස් සත්ත්වයකු විසින් ඔබ කටට ගෙන, හප කොට ගිල දමනු ඇත්තේය. මේ දක්වා සිදු වුණේ කුමක්දැයි ලෝකයට කියන්ට ඉන් පිටතට එන්ට සමත් වූ කිසිවෙක් නැත. කෑන් ෂෙන්ගේ කතාන්තරය කියන්ට දන්නා කෙනෙක්ද නොවෙයි. අදෘශ්‍යමාන කාලවර්ණ හස්තයක්. එහි ඇඟිලි මුළු චීන දේශය පුරාම විහිද ඇති ආකාරය කිහිපදෙනකු විසින් විස්තර කරනු ලැබ ඇත්තේය.

කෑන් ෂෙන් සමඟ මගේ දීර්ඝකාලීන සම්බන්ධයක් තිබිණි. පසු කලෙක මා ඕ මැතිනිය පවසන්නීය. ඉතා විශේෂ සම්බන්ධයක්. අවුරුදු පනස්දෙකක්. ඔහු ඇගේ ජීවිතයේ වැදගත් භූමිකාවක් ඉෂ්ට කෙළේය. එකම අවස්ථාවේ දී ඔහු ඇයගේ හොඳම මිත්‍රයා වන පමණටම නරකම සතුරාද විය. ඔහු ඇයට උදවු කළ අතර ඇය පාවා දුන්නේද ඔහුය. එක් සමයක දී ඇයගේ දැනමුත්තා වූයේද විශ්වාසවන්තයා වූයේද ඔහුය. සංස්කෘති විප්ලව සමයේ දී දෙදෙනා සටන් සගයන් බවට පත් වූහ. ඔවුන් වැඩ කෙළේ දිවෙන් දිවගාගෙනය. ගවයන් දඩයම් කරනු සඳහා එක එක වර්ගයේ වෘකයන් එකතු වන පුරාවෘත්තය ඔබ අසා තිබෙනවාද?

කෑන් ෂෙන් සහ තරුණිය එකම ෂැන් ඩොන් පළාතෙහිය. එපමණක්ද නොවෙයි. පුදුමයට මෙන් දෙදෙනාම එකම නගරයෙන් බැව්ද පසුව සොයාගන්ට ලැබෙයි. ඔවුන් මුලින්ම මුණගැහුණේ කෙසේදැයි තරුණියට පැහැදිලිව මතක නැත. ඔහු ඇයට පවසන්නේ ඒ වන විට ඇය අවුරුදු එකොළහක් පමණ වියෙහි සිටි බවය. එවකට හෙතෙම සූ නගරයේ ප්‍රාථමික පාසලේ මුල් ගුරුවරයාය. නගරවාසීන්ගෙන් විශේෂයෙන්ම අත්තාගෙන් ඇතැම්විට ඔහු ගැන ඇය දැනගන්ට ඇත. ඇගේ හැඟීම නම් ඔහු නිශ්ශබ්ද මිනිහකු වූ වගය. ඔහුට තිබුණේ ගල් වුණු මුහුණුවරකි. ඔහු කතා කළේ වචන දෙකකි. ඔව්.. නෑ.. ඉඳහිට ඔහු ළමයින් ඉදිරියේ හිස නමා වියලූණු හඬකින් වචන කිහිපයක් කතා කරයි. නගරවැසියෝ ඔහුට ගරු කළහ. ඒ, ඔහු යමක් කමක් කරගත හැකි කෙනකු වූ නිසාවෙනි.

ඔහුගේ සම පිරිමියෙකුට හොඳ වැඩි තරමට සුමුදුය. එළු රැවුලය. රත්රන් රාමුවක දැමූ ඝණ උපැස් යුවළක් ඔහු පලඳියි. කණ්ණාඩියේ වීදුරු කෑලි දෙක පිටුපස මත්ස්‍ය ඇස් යුවළකි. ඇස්ගෙඩි කොතරම් එළියට නෙරා තිබේද කියනවා නම් හරියට ඒවා බෝල ගෙඩි දෙකක් මෙනි. ඔහු සිහින් සිරුරැතිය. මනෝඥ විලාසයෙන් ගමන් කරයි.

පැරණි කාලයේ දී ඔහු ඇන්දේ වළලුකර දක්වා දිග අළු පැහැ කබායකි. යුද්ධ කාලයේ දී ඔහු ඇන්දේ අමතර සාක්කු ඇති රතු හමුදා නිල ඇඳුමය. විමුක්තියට පසු මා ඕ කඤ්චුකයකි.

මගේ නගරවාසියා වන කෑන්ග් ෂෙන් යෙනාන්හි කොමියුනිස්ට් ආරක්ෂක ප්‍රධානියා බැව් දැනගත් විට මා තුළ ඇති වූයේ බලවත් සතුටකි. මේ වන විට මා යෙනාන්හි මාස තුනක් ගත කර ඇත්තේ මුත් තවමත් මගේ ඉදිරි මාර්ගය සොයාගන්ට මම අසාර්ථක ව්‍යායාමයක යෙදී සිටිමි. වාසනාව හමු වෙතැයි යන සිතින් මම කෑන් ෂෙන් මුණගැහෙන්ට තීරණය කරමි. එක් දිනක් කෙටි විවේකයේ දී මා වැඩ කණ්ඩායමෙන් මඳකට වෙන් වී ගොස් ඔහුගේ කාර්යාලය වෙත පිය නඟමි. කෙළින්ම දොරටුවෙන් ඇතුළු වී මා ඔහුගේ යටතට ගන්නැයි අයැද සිටිමි. ඔහුට වැඩ අධික වේලාවකි. කිසියම් ලේඛනයක් පෙරළමින් සිටින හෙතෙම උපැස් යුවළේ එක පැත්තකින් මා දෙස බලයි. මුලදී ඔහු මා හඳුනාගත්තේ නැත. ඉනික්බිතිව ඔහු මා දෙස යළිත් වරක් බලයි. ඔහු මා හඳුනාගත් බව මට ඒත්තු ගියද ඔහු තවමත් මට කිසිවක් නොදොඩයි. ඔහු මා දෙස බලාගෙනම සිටියි. ඒ වනාහි විශ්ලේෂණාත්මක බැල්මකි. නිර්භය, ඇතැම්විට නොහික්මුණු බැල්මකි. හරියට පැරණි භාණ්ඩ මිලට ගන්නා වෙළෙන්දකු මෙන් ඔහු කාලය ගනියි. මට අපහසුවක් දැනෙන්ට ඉඩ හරියි. ඉන් පසුව තමන්ට කළ හැකි හැම දෙයක්ම කරමැයි පවසයි. යෙනාන් ඔබට හොඳට අල්ලලා යාවි. පුටුවෙහි ඇල වෙන ඔහුල හදිසියේම සිනාසෙයි.

මට හිඳගන්නැයි පවසන ඔහු ෂැන්හයිහි මා ගත කළ ජීවිතය ගැන තොරතුරු විමසයි. මගේ අරගල ගැනත් නිළියක හැටියට වෘත්තියක් ගොඩනඟාගන්ට මා කළ වැරවෑයම ගැනත් මම ඔහුට මඳක් කියමි. ඔහු ඒ ගැන උනන්දුවක් දක්වන බවක් පෙනෙන්ට නැත. මට කියන්ට වෙන කිසිවකුත් ඇත්තේ නැත. ඉන් පසුව මගේ කතාවට බාධා කරන ඔහු, මගේ පෞද්ගලික සම්බන්ධතාව ගැන විමසයි. ඔබ බැඳලද? නැත්නම් පෙම්වතකු සමඟ පැටලිලාද?

මගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්ට සූදානම් නැති බැව් මම ඔහුට පවසමි.

මට වැටහෙනව, ඔහු කියයි. නමුත් ඔබට මගේ උපකාරය අවශ්‍ය නම් මා ඒ සියල්ලම දැනගත යුතු වෙනව. ඔබ දන්නවනෙ යෙනාන්වලදී කොමියුනිස්ට්වාදියකු හැටියට ඔබේ සියලුම රහස් පක්ෂයට අයිතියි. ඇරත් ඔබට ඉදිරියට යන්ට උදවු කරන්ට මම අදහස් කරනව. ඔබට මේ ලැබෙන අවස්ථාව වැඩි දෙනෙකුට ලැබෙන එකක් නෙමෙයි.

මොහොතකට නවතින මම යූ කුවෙයි ගැනත් ටෑන් නාහ් ගැනත් කියන්ට පටන්ගනිමි. හෙයි මහතා සමඟ මගේ විවාහය අතහැර දමමි. මගේ දික්කසාද පිළිබඳ තොරතුරුද ඔහු මගෙන් විමසා සිටියි. දැනට මොකවත් එහෙම සම්බන්ධකම් තියෙනවද?

එහෙම කිසිවක් නැත. මම වාර්තා කරමි.

බොහොම හොඳයි. ඔහු හිස සලා, උපැස් යුවළේ කොනින් මා දෙස යළිත් බලයි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මාතෘකා