අපහාසයේ මුල් ස්වරූපය

 ඡායාරූපය:

අපහාසයේ මුල් ස්වරූපය

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

යුද භටයෝ කුඩා ගමක කඳවුරක් ගසාගනිති. මා ඕට නින්ද ගිහින්ය. ජියෑන් චින් පිරිසුදු වාතාශ්‍රය සඳහා පැලෙන් එළියට එන්නීය. ඇය ඉටිපන්දම් එළියෙන් ඉතා දිග ලේඛනයක් පිටපත් කොට අවසන් කළා පමණි. වෙහෙසපත් දෑස් පොඩි කරමින් එන ඇයට මුණ ගැහෙන්නේ සමීපයෙහි සිටගෙන සිටින පොඩි මකරාය. ඇය දුටුවනම ඔහු ආචාර කරයි. හිස නමන ඇය අලුත් වාතයෙන් කට පුරවා ගනියි. ඇය ඉදිරියෙන් අල පාත්තියක්ද ගඟ දෙසට දිවෙන පටුමඟක්ද ඇත්තේය. රාත්‍රිය නිහඬය සීතලය.

ඇයට තනිකමක් දැනෙයි. එහෙයින් ඇය මුර භටයා වෙත ගොස් ඔහුට ආචාර කරයි.

ඔයාට ගෙදරින් තොරතුරක් නැද්ද? දහනව වියැති තරුණයාගෙන් ඇය විමසයි.

තරුණයා උත්තර දෙමින් කියා සිටින්නේ තමාට ගෙදරක් නැති බවකි.

ඒ ඇයි?

මගේ මාමා රහසිගත කොමියුනිස්ට්කාරයෙක් වෙලා හිටියෙ. ඔහුට පැනල යන්ඩ ඉඩ දුන්නා කියල චියං කායි-ෂෙක් අපේ මුළු පවුලම ඝාතනය කළා.

සභාපතිතුමාට වැඩ කරන්ඩ ඔයා කැමතිද? ඔබ එයාට විශ්වාසවන්තව ඉන්නවාද?

ඔව් මැඩම්. තරුණයා හිස පහත් කොට දීප්තිමත් සඳ එළියෙන් වැටී ඇති තමාගේම ඡායාව දෙස බලා සිටියි.

ඔයාට රාත්‍රියෙදි මොකවත් ඇහෙනවද? ඇය උගුර පාදාගනියි.

ඔව්….. ටිකක්…..

කොයි වගේද?

සද්ද ටිකක්.

එසැණින්ම ඇයට ඔහු ගැන දුක හිතෙයි. ජීවිතයේ කිසිම අවස්ථාවක ගැහැනියකගේ මිහිර ඉඳුල් කර නැති මිනිහෙක්. ඔවුන්ට එයට අවසරයක් නැත. නීතිය ඒකය. හේවායින් කියන්නේ මා ඕගේ පන්සලේ මහණුන්ය.

මොන වගේ සද්දද? ඇය අසන්නේ ඔහුට වද දෙන්ට මෙනි. ඒ කියන්නෙ බකමූණෙකුගෙ හඬක්ද? නැත්නම් කුඹුරක ඉන්න මීයෙකුගෙ සද්දයක්ද? නැති නම් හුළඟ වගේද?

කටපියාගන්නා තරුණයා ඇගෙන් ඉවතට හැරෙයි.

ඇය නමින්ම ඔහුට අඬගසා ඔහුට ආපසු හැරි බලන්ට සලස්වයි.

මට මාව එපා වෙලා පොඩි මකරා හදිසියෙන් කියයි.

දෙදෙනා අතර අමුතුම තාලයේ දැඩි බවක් ඇති වනු ඇයට දැනෙන්ට වෙයි. ඇයට කතා කරන්ට වචන සොයාගැනීම අපහසුය.

පොඩි මකරා සිය මුව තුළ වූ කෙළ ගුළියක් ගිලියි.

මඳ ඇසිල්ලකට පසුව ඇය මෙසේ අසයි. ඔයාට මාරුවක් ලබාදෙන්ඩ කියල මම සභාපතිතුමාට කියන්ඩද?

කරුණාකරල අනේ එපා මැඩම්. මගෙ ජීවිතේ තියෙන තුරු සභාපතිතුමාට වැඩ කරන්ඩ මම ලෑස්තියි.

ඇත්ත තමයි ඇය මුමුණයි. මට තේරෙනව. සභාපතිතුමාටත් ඔයාව අවශ්‍යයිනෙ.

තරුණයා බිත්තියට හේත්තු වී සිටගෙනය. ඔහු හුස්ම ගන්නේ අසීරුවෙනි. මේ ගැහැනිය සම්බන්ධයෙන් තමාගේ ප්‍රතික්‍රියාව ගැන ඔහු අවුලට පත්ව සිටියි. ඔහුගේ නිල ඇඳුමට යටින් ඇති ගුප්ත ශක්තිය. ඔහුගේ නළල් තලය මත ඩාබිඳු දිලිසෙනු ඇය දකියි. ඔහු බියගන්වා පරාජයට පත් කළ සේය. ඔහු එතැන සිටින්නේ හැඟීම්වලින් භරිතවය. ඇයගේ සිහියට එන්නේ අපේක්ෂාභංගත්වයට පත් වුණු තරුණ ගොරිල්ලෙකි. මේ පිරිමි ගොරිල්ලාට ගැහැනු ගොරිල්ලන්ට කිට්ටු වෙන්නටවත් බැරිය. උගේ ශුක්‍ර ධාතුව එකතු වන්නේ ඉතිහාසයේ කුණු බක්කිය තුළය. පොඩි මකරාගේ පුරුෂභාවය වඩාත් ශක්තිමත් බලවත් ලේ මසින් පිරුණු කලහකාරී අතිදැවැන්ත ගොරිල්ලකු විසින් හප කොට ඇත්තේය. ඒ ගොරිල්ලා මා ඕය.

1947 දෙසැම්බර් මාසය අන්තිමේදී චියං කායි-ෂෙක්ගේ බලමුළු සමූලඝාතනය කරන්ට මා ඕ සමත් වෙයි. නව අවුරුදු උදාවට පෙර මා ඕ විසින් සර්වසම්පූර්ණ ප්‍රතිප්‍රහාරයක් දියත් කරන ලද්දේය. ඉදිරියට ඇදී යන රතු හමුදා භටයෝ කෑ ගසති. මා ඕ සේතුංට ජයවේවා…. නව චීනයට ජයවේවා… ස්වකීය සතුරා පූර්ණ වශයෙන්ම ගිල දැමීමට මා ඕට වැඩි කලක් ගත වූයේ නොවෙයි. වසන්තය ගෙවී ගිම්හානය එළැඹෙන විට මා ඕගේ භට සංඛ්‍යාව චියං කායි-ෂෙක්ගේ භට සංඛ්‍යාව ඉක්මවා සිටියේය. චියංගේ පරාජය දැන් තහවුරු වී ඇත්තේය. මා ඕ තම හමුදාවෙ නම වෙනස් කරයි. දැන් එය රතු හමුදාව නොව ජනතාවගේ විමුක්ති හමුදාවය.

මා ඕගේ අටවාගත් කාර්යාලයේ කළමනාකාරිය වන්නේ මාය. නාහ් සහ සෙසු කුඩාවුන් ගැමියන් සමඟ ජීවත් වීමට යවා ඇත්තේය. ඔවුන් නොමැති අඩුව අපට දැනෙන්නේ වී නමුදු යුද්ධය පැමිණ ඇත්තේ තීරණාත්මක මොහොතකටය. නැවත වරක් මගේ ස්වාමිපුරුෂයා ස්වකීය ප්‍රධාන කාර්යාලය නිදන කාමරය තුළ පිහිටුවා ඇත්තේය. මා නිදාගෙන ඇත්තේ කොටළු ධාන්‍යාගාරවලය. මම මදුරුවන්ගෙන් මැස්සන්ගෙන් උකුණන්ගෙන් බැටකමි. මදුරුවකු දෂ්ට කිරීම හේතුවෙන් මගේ නිකට යට ඉදිමුමකි. හරියට තවත් නිකටක් වගේය.

චියං කායි-ෂෙක්ගේ ගුවන් ප්‍රහාරවලින් බේරෙන්නට මගේ සැමියා භට පිරිසට නියෝග කර ඇත්තේ හිරු බැස ගිය පසුව ගමනෙහි යෙදෙන්නටය. පැය ගණන් එක දිගට වැඩ කිරීමත් අවශ්‍ය තරම් පෝෂ්‍යදායී ආහාර නොලැබීමත් හේතුකොටගෙන මම කෘශ බවට පත්ව ඇත්තෙමි. අසනීපයෙන් පෙළෙන මට මඟ නැඟගන්ටත් අමාරුය. අප ඉදිරියට යන විට මා ඕ විසින් මාද කොටළුවා පිට ගෙන යයි. ඒ හමුදාව විසින් ඉතිරි කර ඇති එකම කොටළුවාය. අපගේ සම්බන්ධය දැන් වැඩී යන්නේ අමුතුම දිසාවකටය. අප එකිනෙකා කෙරෙහි ආදරය දැක්වූ අවස්ථාවක් නැති තරම්ය. ඔහු වඩ වඩාත් භූමි ප්‍රදේශ ජය ගන්නා තරමටම මම වඩ වඩාත් සිත කය දෙකෙන් පීඩා විඳිමි. මවිසින් ඉටු කරන ලද කාර්ය භාරයද මගේ කැප කිරීම්ද සැලකිල්ලට ගෙන ඇත්තේම නැත. මා පිළිබඳ කිසිම පිළිගැනීමක් ඇත්තේ නැත. සැඟවුණු ජීවිතයක් ගත කිරීම මගේ චරිත ස්වභාවය නොවෙයි. පිළිගැනීමත් ගෞරවයත් මම බලාපොරොත්තු වෙමි. එහෙත් කිසිවකුගෙන් මට නොලැබෙන්නේද එයයි.

එක් දිනක් නාකි මාළුවා නමැති බලු මුහුණක් ඇති පුවත්පත් කලාවේදියා හදිසි කාරණයක් කියාගෙන මගේ කාර්යාලයට ඇතුළු වෙයි. ඇතුළු ගැබේ සිට මා ඕ උප සභාපති ලියු සමඟ දුරකථන සාකච්ඡාවකය.

කාර්යාලය භාරව සිටින්නේ මා බැව් මම නාකි මාළුවාට කියමි. එහෙත් ඔහු සිටින්නේ මා පැවසූ දෙය නෑසුණාක් මෙනි. එහෙයින් මම යළිත් වැයම් කරමි. උදවු කරන්ට මට පුළුවනි මම කියමි. ඔහු සිනාවක් පානු මිස කිසිවක් නොකියයි. මා ඕගේ කටයුතු මගේ භාරයේ තිබෙනු දකින්ට ඔහු කැමති නැතුවා සේය.

එය මට ළඟදීම සිදු වුණු අපහාසයයි. දින කිහිපයකට පෙර දේශපාලන මණ්ඩල රැස්වීමකදී මා ඕ අනෙක් අයගේ අදහස් විමසා සිටියේය. කතා කරන්ට මා නැඟී සිටි විට මා ඕ අවුලට පත් වුණි. ඔහු ලේකම්වරියක හැටියට මගේ කටයුතු බලාගන්නැයි මට කීවා පමණක්ම නොවෙයි. සදහටම දේශපාලන මණ්ඩල රැස්වීම්වලින් පිටත සිටින්නැයිද මට නියෝග කෙළේය.

මාතෘකා