ගිලන් වුණු සූර්යයා

 ඡායාරූපය:

ගිලන් වුණු සූර්යයා

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

මගේ ආත්මය නමැති භූමි දර්ශනයේ ගැඹුර තුළ මා වැසී සිටින්නේ ගනකම් කහපාට පස් තට්ටුවකින්. මගේ චරිතයේ තියෙන්නෙ දෛවවාදී හැඩගැස්මක්. කුඩා කාලයෙ ඉඳලම මම ඒක තේරුම් අරගෙනයි හිටියෙ. මා තුළ ඇවිදින්ට ඉවකුත් ආශාවකුත් තියෙනව. ඒ අතරවාරෙ ජීවත්වීම සම්බන්ධයෙන් මා තුළ සහජයෙන් එන පිළිකුලක් තියෙනව. පැරණි මුනිවරු ඇවිද්දෙ මිනිසුන්ගෙන් ඈත් වෙලා ඉන්ඩ අවස්ථාවක් ලබාගන්ඩයි. අපි සටන් කරන්නෙ එක්සත්කම ලබාගන්ඩ. කොන්ෆියුසියස්ට කලින් හිටිය චින් රජ පෙළපතේ රජවරු යුද නායකයො. ඔවුන් තුළ යැන්ග් ශක්තිය තදට තිබුණා. ඒ අය යුද්ද කරල භූමිය අයිති කරගත්තා. ඒ භූමිය තව තවත් දුරට ව්‍යාප්ත කළා. අස්සයාගෙ පිටේ තමයි ඒ ගොල්ලන්ගෙ ජීවිතය තිබුණෙ. ඔවුන්ට තිබුණා සූර්යයා පිළිබඳ අනුරාගයක්. අපේ උපමා කතාවල කියන හැටියට එක සූර්යයෙක් මදි. සූර්යයන් නමයක් බිහි කළ යුතුව තිබුණා. එතකොට තමයි යී කියන වීරයාට පුළුවන් වන්නෙ ඒ සූර්යයන්ගෙන් අට දෙනෙකුට විදල බිම දාල තමන්ගෙ ශක්තිය පෙන්නන්ඩ. පිරිමින්ට අභියෝග කරන්ඩ දේවතාවියො චන්ද්‍ර විමානයට යැව්වා.

චින් යුගය තමයි ඔබතුමාගෙ යුගය. ෆෙයාලින් ප්‍රතිචාර දක්වයි.

ඔව්, මට තවමත් හිතෙන්නෙ ඒ යුගය ගැන මගේ දැනීම මදියි කියල. චින් සොල්දාදුවෙක් කෑගහගෙන සතුරන්ගෙ නගරවල දොරටු කඩාගෙන එනව දකින්ඩ මං ආසයි. ඒ ගෝරනාඩුව අහන්ඩ මං කැමතියි. උන්ගෙ කඩු මුණත්වල ගෑවිලා තියෙන රුධිර සුවඳට මං කැමතියි.

ඔබතුමා දකින්නෙ උන්මත්තකයෙක් එයාගෙ දෑසින් දකින දර්ශනයක්.

උදේ පාන්දර තුනට මා ඕ සහ ෆෙයාලින් වෙන්ව යන්ට නැගිටිති. ජියෑන් චින් ලෙන් දොරටුව පිටුපස සිට ඔවුන් දෙස බලාගෙන සිටින්නීය.

අපේ වාදය තවම අවසන් වෙලා නෑ, තම අළු පැහැති හමුදා කබායේ බොත්තම් දමමින් ෆෙයාලින් පවසයි.

ඊළඟට එන්නෙ මට ඔබ සතුටු කරන්ඩ ලැබෙන අවස්ථාව. මා ඕ ආචාර කරමින් හිස නමයි.

අන්ධකාරය විනිවිද යන්ඩ බැරි තරමට තදයි. ෆෙයාලින් සුසුම්ලන්නීය.

මම මුතු හොයන මිනිහෙක් අන්ධකාරය තුළට නෙත් යොමු කරමින් මා ඕ පවසයි. මං වැඩ කරන්නෙ ගැඹුරු සුළඟක් නැති මහා සාගරය නමැති සයනය මත හිඳගෙන. හැම වෙලාවෙම මට නිධානයක් හම්බ වෙන්නෙ නෑ. නිතරම මම ආපහු එන්නෙ හිස් අතින්. මුහුණ දම් පාට කරගෙන. ලේඛකයකු හැටියට ඔබට ඒ ගැන අවබෝධයක් තියෙනව.

නමුත් සමහර වෙලාවට මට ඕනෑ කරන්නෙ අන්ධකාරයෙ එතිල ඉන්ඩ.

මම කියන්නෙ කෙනෙකුට මා ඕ සේතුං බලාපොරොත්තු වන තත්ත්වයන්ට ළඟා වෙන්ඩ ලේසි නෑ කියල.

සත්තකින්ම හැම කෙනෙක්ම ඇදිල යන්නෙ මායාව දිහාවට.

අපි කවුරුත් තේරුම් ගන්න හැටියට ඒකෙ තියෙන උත්ප්‍රාසය තමයි ඉන්ද්‍රජාලයත් මායාවත් දෙකම සිද්ධ වෙන්නෙ අන්ධකාරයෙ තුළ බව. මා ඕ සිනාසෙයි.

සත්තකින්ම, දුරකුත් තියාගෙන. මම ඔබ සමඟයි සභාපතිතුමා....

1947 මාර්තු. මා ඕගේ බලකාය ශන්-සි කඳුකරයටත් හුනාන් සහ සිචුආන් පළාත්වලටත් යමින් එමින් සිටියි. මා ඕ චියං කායි-ෂෙක්ගේ භට සේනාවත් සමඟ මේ කරන්නේ සෙල්ලමකි. මා ඕ විසිදහසක භට සෙනඟක් යොදාගෙන සිටියදී තමන්ගේ හොඳම මිනිහා වන ජෙනරාල් හූ සොන්-නන් සමඟ දෙලක්ෂ තිස්දහසක භටයින් යවා තිබුණත් චියං දිනාගත් දෙයක් නැත.

යුද සමයක අනියම් බිරියක මෙන් මම මගේ පෙම්වතා පිටුපසම යමි. මගේ ප්‍රියතම රෙකෝඩ් ප්ලේයරය ඇතුළු හැම දෙයක්ම මම අතහැර දමමි. නාහ්ද අප සමඟම යා යුතු යැයි මම බලකර කියමි. අපි හමුදාව සමඟ ගමන් කරමු. අප ජීවත් වුණා කියන කාරණය වුණත් පිළිගන්ට අමාරු තරම්ය. හැම දිනෙකම නාහ් දකින්නේ මැරුණු අය වළ දමන හැටිය.

ගම්බද චිත්‍ර ශිල්පීහු මා ඕගේ පින්තූරවලින් බිත්ති සරසති. මගේ පෙම්වතාට තවම ඇත්තේ පැරණි මුනිවරයකුගේ පෙනුමය. දැන් එය වඩාත් හොඳින් ප්‍රකාශ වෙයි. එයට හේතුව මේ චිත්‍ර ශිල්පීන් පුහුණු වී ඇත්තේ බුදුන් වහන්සේගේ මුහුණ අඳින්නට හෙයිනි. ඔවුන්ට බුදු හාමුදුරුවන්ගේ මුහුණුවර නැතිව මා ඕගේ මුහුණ අඳින්ට බැරිය. ඇතැම්විට ඔවුන් මා ඕ තුළින් දකින්නේ බුදු හිමියන් නිසා විය හැකිය. මගේ පෙම්වතා නිරූපණය කරමින් සිටින්නේ බුදුන් වහන්සේම බවය, මගේ නම් විශ්වාසයයි.

නින්ද අඩුවීම හේතුවෙන් මා ඕ දුර්වල වී සිටියි. ඔහුට උණ ගැනිලාය. බ්ලැන්කේට්ටුව යට ඔහු වෙවුලන්නේ පාලනය කළ නොහෙන අයුරිනි. මුරභටයෝ මාරුවෙන් මාරුවට ඔහු ගිලන් ඇඳක හොවා ගෙන යති. ගිලන්ව සිටියදී පවා මගේ ෙප්‍ර්මවන්තයා යුද්ධය මෙහෙය වන්නේය. මා ඔහුගේ ලේකම්වරියත් සහකාරියත් බවට පත් වන්නේ එයාකාරයෙනි. දැන් මා ඕගේ නියෝග ලියාගන්නේත් විදුලි පණිවිඩ පිටපත් කරන්නේත් මාය. ඔහු අවදින සිටින විට මම අවදිව සිටිමි. ඔහු නිදා සිටින විටද මම අවදියෙන් සිටිමි.

ඔහුට සුවපහසුව දැනෙන විට ඔහුගේ කටයුතු හොඳින් කෙරීගෙන යන විට ඔහුට පෙම් කිසෙහි යෙදෙන්ට ඕනෑ වෙයි. අපට වෙලාව ඇත. එහෙත් මට අමුත්තක් දැනෙයි. මගේ හදවතට කිසිම උණුසුමක් දැනෙන්නේ නැත. මට ෆෙයාලින් අමතක කරන්ට බැරිය. ඔහු කෙරේ මගේ ආදරය ඇති බැව් දැනුණද මට තවමත් අවශ්‍යව ඇත්තේ මට කළ මදිපුංචිකමට - නින්දාවට - ඔහු විඳවනු දකින්නටය. ඔහු මගේ දඬුවම පිළිගන්නාක් වැනිය. ඔහුගේ ඇස් යට වල ගැහී ඇත්තේය.

මාතෘකා