මංගල ඇඳුමක් නැති මනාලිය

 ඡායාරූපය:

මංගල ඇඳුමක් නැති මනාලිය

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්,

චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.

පරිවර්තනය | ඩබ්ලියු. ඒ. අබේසිංහ

මට නම් ඔහු තාත්තා වැනි කෙනෙකි. පිරිමියකු තුළ මා අපේක්ෂා කෙළේ කවරක්ද මට අවශ්‍ය වූයේ කවරක්ද ඔහු තුළ ඒ සියල්ල තිබුණි. තාත්තා කෙනෙකු හැටියට ඔහු බුද්ධිමත්ය. ආදරණීයය. බලගතුය. මා හා විවාහ වන්නට තීරණය කෙළේ ඇයිදැයි මා ඔහුගෙන් ඇසූ විට ඔහු කියා සිටියේ කුකුළෙකුට බිත්තර දම්මවන හැකියාව මා තුළ තිබෙන බවකි. ඔහුගේ ඒ ප්‍රකාශය මා සැලකුවේ මට කරන ලද ප්‍රශංසාවක් හැටියටය. ඔහු එයින් අදහස් කෙළේ ඔහු තුළ ඇති හොඳම දෙය එළියට ඇදගත හැක්කේ මට පමණෙකැයි යන කාරණය වෙතැයි මම තේරුම් ගතිමි. නමුත් මට ස්ථිරවම කිව නොහැක. ඇතැම් වෙලාවකදී මට හිතෙන්නේ ඔහු මට තේරුම්ගන්ට බැරි තරමටම ශ්‍රේෂ්ඨය කියාය. සදාකාලිකවම ඔහුගේ මනස තුළට කිසිවකුට පිවිසිය නොහැක. ළඟා විය නොහැක. හේ තෙමේ තැති ගන්වනසුලු අපූර්ව දර්ශනයකි.

ඔහුගේ පක්ෂ සහෝදරවරුන්ට විරුද්ධවාදීන්ට හෝ සතුරන්ට ඔහු උමතු කරවනසුලු බයංකාර චරිතයකි. මම ඔහුට ආදරය කරමි. නමුත් මම මා ගැනම බියට පත්ව සිටිමි. ඔහු ඉදිරිපිටදී මා සිටින්නේ අවබෝධ කරගැනීමේ ශක්තියෙන් තොර වූවකු මෙනි. මම ඔහුට යටත් වෙමි. මා, ඒ කියන්නේ නිළිය නොව සැබෑ මා, ඔහුට අවශ්‍ය වන තත්ත්වයට පත් වන්ට මම ආශා කරමි. සමහර විට මට සිතෙන්නේ මගේ සිරුර ඔහු ළඟත් මගේ ආත්මය දුරකිනුත් තිබෙනු දකින්නට ඔහුට අවශ්‍ය බවකි. ඔහුට අවශ්‍ය මා පිළිබඳ මිථ්‍යා කථාන්තරය තමා සමීපයේම තබාගන්නටය.

පසු කලෙකදී ඒ කියන්නේ අවුරුදු ගණනාවක් ගත වීමෙන් පසුව මා සොයාගත් දෙයක් විය. එනම් ඔහු කැමැත්තේ සැබෑ මනුෂ්‍යයාට වඩා ඒ මිනිහාගේ ව්‍යාජය වන්නට බැව් මම සොයා දැනගතිමි. එහෙත් තරුණ ගැහැනියක හැටියට මම සරලද උද්යෝගිමත්ද වෙමි. ඔහුගේ අත්‍යවශ්‍යම හරය මගේ අත පොවන මානයේ නැති මේ දෙවියා පිළිබඳ හැම දෙයක්ම මවිසින් අවබෝධ කරගත යුතු නොවේ. නොදන්නා දෙය නොදන්නා හැටියට ගෙන මම සුවසේ නිදාගනිමි. ඔහුගේ නියම රූපකාය - පෞරුෂය - හඳුනාගැනීමට මගේ ජීවිතයේ ඉතිරි මුළු කාලයම ඉතිරිව තිබියදී ඒ ගැන මා හදිසි වන්නේ කුමකටද? සී-ෂෙන් සමඟ මා සම කර නොබලමි. මම දුක්ඛ වේදනාව නමැති බෝතලය තුළට වී ඇබයක් ගසා ගෙන සිටින සී-ෂෙන් වැනි ගැහැනියක නොවෙමි. මා ඉදිරියේ එවන් බෝතලයක් තිබුණොත් මම එය කුඩුපට්ටම් කර දමමි. මා තුළ ඇත්තේ පෙළඹවීමද අභියෝගයද උදෙසා වන අනුරාගයකි. මගේ අනාගතය යනු ඒ හැර අන් කිසිවක්ම නොවේය.

එහෙත්, මගේ මංගල දිනයේදීම මා තුළ මෙවන් සැක සාංකා හටගන්නේ ඇයි?

වෙලාව උදේ අටය. වලාකුළු පළාගෙන හිරුඑළිය ගලා එයි. එළියේ මේසයක් පිළියෙළ කර තබා ඇඳුම් ඇඳගැනීම සඳහා මම ලෙන තුළට යමි. මා ඕ විසින් ආරාධනය කරනු ලැබ ඇත්තේ සුළු පිරිසකට වීම ගැන මම අසතුටට පත්ව සිටිමි. විශාල පිරිසකට ආරාධනා කරන්නට මා කළ ඉල්ලීම මා ඕ විසින් ප්‍රතික්ෂේප කෙරිණි. අප චියන් කායි-ෂෙක්ගේ අවධානයට ලක්විය යුතු නැත. ඔහු හේතු දැක්වූයේ එයාකාරයෙනි. මංගල දිනයේදී බෝම්බ ප්‍රහාරයක් ඇති වනු දකින්නට ඔහුට අවශ්‍ය නොවීය.

මම ඇහි බැමි පාට කරන අඬුව අතට ගනිමි. ෂැන්හයිහිදී කළාක් මෙන් ඇහි බැමි පාට කරමි. අව්වට දැවුණු සම මත වත්සුණු තවරමි. මංගල ඇඳුමක් නැත. විප්ලවීය විලාසිතාවට ගරු කරන්ට මා මා ඕට පොරොන්දු වී ඇත. ඒ කියන්ඒනේ විලාසිතාවක් නැතිකමය. මම මැලවුණු අළු පැහැති නිල ඇඳුමක් ඇඳ ඊට උඩින් පටියක් බඳිමි.

මා එළියට එන විට හැම දෙනාම මා දෙසට හැරෙති. හදිසියේම පිරිමි අහස ගැන කතා කරන්ට වෙති. එහි පැහැය ගැන. අඩියේ කොළ පැහැ තීරුවක් ඇති මැද රතු රෝස රැන්දක් ඇති කහ පැහැති කොමුඩු ගෙඩියක් ගැන.

හදිසියේම හටගත් නිශ්ශබ්දතාවකි. තමා තුළ වන ප්‍රමුදිතභාවය සඟවාගන්ට මා ඕ තැත් කරයි. රටකජු, ඔහු සිය මනාලිය අමතා කියයි. මනාලිය රටකජු පැසක් ගෙන වටේටම සිටින පිරිසට බෙදන්නීය. ෙප්‍ර්ම සම්බන්ධය ගැන කරුණු දක්වන්නැයි අමුත්තෝ මනාලයාට දන්වති. මා ඕ පුටු ඇන්දට හේත්තු වී සිය බාහු යුවළත් උරිස් දෙකත් දිග හරියි. හදිසියේම හමන කුණාටුවකින් මගේ හිස්වැසුම ගහගෙන යයි. මා එය ආපසු පැළඳගන්නේ කෙසේද?

ඔව්, විස්තර කියන්ඩ තමන්ගේ ලොක්කා වෙත සිගරැට් එකක් පාස්කර යවමින් අමුත්තෝ කියති. මා ඕ සිනාසෙමින් සිගරැට්ටුව පත්තු කරගෙන තදින් දුම් අදියි. කියන්ට විස්තර දෙකක් ඇත්තේය. ඔබ සුනඛයෙකු බවට පත්ව ඇට කැබැල්ලක් ණයට ඉල්ලා සිටීමය. අනෙක තමාට භයානක ඉරියව්වකින් ඉන්ට සිදුවීමය. හරියට හිසකෙස් වේලාගැනීම උදෙසා උඳුනක් මත හිස තැබීමක් වැනි ඉරියව්වකි.

මාතෘකා