කඩතිර ඇරීම 1

 ඡායාරූපය:

කඩතිර ඇරීම 1

අන්චී මින් විසින් චීන සංස්කෘති විප්ලවයේ නිරුවත හෙළි කරමින් ඉංගිරිසි බසින් ලියන ලද Red Azalea නමැති නව ප්‍රබන්ධය ඇමෙරිකාවේත් සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming Madam Mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද එහිලා කතුවරියගේ  අවධානය වඩාත් යොමුවී ඇත්තේ මාවෝ මැතිනියගේ පෞද්ගලික ජීවිතය කෙරෙහිය. 1919 - 1933 අතර කාලය තුළ යුන්හේ හැටියටද, 1934 - 1937 අතර කාලය තුළ ලෑන් පින් හැටියටද, 1938 - 1991 අතර කාලය තුළ ජියෑන් චින් හැටියටද ඇගේ චරිතය විවරණය කරන අන්චී මින්, 
චීන ඉතිහාසයේ අභූතපූර්ව චරිතයක් වූ කාමෝන්මාදයෙන්ද උන්නතිකාමයෙන්ද පරිපීඩත මෙම අතිවිශේෂ රුදුරු ගැහැනියගේ චරිතය ගොඩනගන්නේ ඉතිහාසයද චරිතලේඛනයද මොනවට සම්මිශ්‍රණය වූ රසාල්පිත ප්‍රබන්ධකරණ රීතියකිනි.   

 

ඇය අත්අඩංගුවට ගන්ට අවුරුදු දාහතරකට පෙර. 1991 මාවෝ ජියෑං චින් මැතිනියට වයස අවුරුදු හැත්තෑහතකි. ඇය මරණ මංචකයේ වැදහෙව සිටින්නීය. බලධාරීන් ඇගේ ඝාතනය කල් දමන්නේ එකම හේතුවක් නිසාය. කළකම් සම්බන්ධයෙන් ඇය පශ්චත්තාප වන්නීද? එය දැනගැනීමේ එකම බලාපොරොත්තුවෙනි, ඇය මරණයට පත්කිරීම පමා වන්නේ. 


හොඳමයි, මා යටත් වන්නේ නැත. මා කුඩා දැරියක්ව සිටි සමයේ මගේ මව මට කීවේ, ගැහැනු තණකොළ කියා සිතන්නටය. ඒ කියන්නේ මා ඉපදී ඇත්තේ පෑගෙන්නටය. එහෙත් මා සිතන්නේ මා කිකිළියන් අතර මොණරෙකු කියාය. මගේ නඩුව සාධාරණ ලෙස ඇහුවේ නැත. මාවෝ සේතුංනුත් මාත් සිටගෙන සිටියේ එකටමය. එහෙත් ඔහු පිළිගන්නා ලද්දේ දෙවියෙකු හැටියටය. මා පිළිගැනුණේ යක්ෂණියක කියාය. මාවෝ සේතුං සහ මම කසාඳ බැඳ අවුරුදු තිස් අටක් පවුල් කා ඇත්තෙමි. ඔව්, අවුරුදු තිස්අටක්. 


මම මගේ දූ නාහ් අමතමි. මගේ ජීවිත කතාව ලියා තබන ලෙස මම ඇගෙන් ඉල්ලා සිටිමි. මසකට වරක් මා හමුවන්නට ඇයට අවසර ඇත. ඇගේ කෙස් කලඹ ගැමි ගෙවිලියක්ගේ වැනිය. කන් දෙක වටේට කෙස් කපා ඇත. ඇය අඳින්නේ පිරිමියෙකුගේ ඇඳුම් කට්ටලයකි. ඇය ඉවසන්ට බැරි තරමටම මෝඩ පෙනුමක් ඇතිව සිටින්නීය. ඇය එසේ කරන්නේ මගේ දෑස රිදවන්නටය. දික්කසාද වීමෙන් පසුව ඇය දැන් තවත් විවාහයක් කරගෙන බීජින්හි ජීවත් වන්නීය. ඇයට පුතෙකු සිටියි. මගේ අනන්‍යතාව ඔහුට නම් රහසකි. 
බෑ, අම්මේ. ඇගේ ස්වරය දැඩිය. දඩබ්බරය. 


මට මගේ බලාපොරොත්තු සුන්වීම විස්තර කර කිව නොහැක. මා බලාපොරොත්තු තියාගෙන සිටියේ නාහ් කෙරෙහිය. ඇතැම් විට හුඟක්ම. බාගෙවිට ඇගේ ජීව ගුණය නැතිව ගියේ ඒ නිසා වන්නට ඇත. මගේ දෙපා වෙලීමෙන් මගේ අනාගතය ගැන සිහින මැවූ මගේ අම්මාගෙන් මා වෙනස් එකියක්ද? නාහ් අහුලාගන්නේ මා අකමැති දේය. බිම අතහරින්නේ මා කැමති දේය. සිය පියා මට සලකන ආකාරය දුටු දවසේ සිටම ඇය ක්‍රියා කරන්නේ ඒ විලාසයෙනි. මුළු කාලයම මූදු වෙරළේ ඇවිදිනකොට කෙනෙකුගේ සපත්තු තෙත් නොවී තිබෙන්නේ කෙසේද? නාහ්, සමස්ත චිත්‍රයම නියමාකාරයෙන් දකින්නේ නැත. ඇගේ පියාණන් කලක් මට වැඳ පුදාගෙන සිටි වග ඈ දන්නේ නැත. මා, මාවෝගේ සූර්යාලෝකය බවට පත්ව සිටි බැව් ඇයට හිතින් හිතාගන්නටවත් බැරිය. මම ඈට දොස් නොකියමි. තහනම් නගරයට ඇතුළුව නවීන පන්නයේ අධිරාජයකු බවට පත්වුණු පසුව මාවෝගේ මුහුණේ තිබුණු අනුරාගයේ ඡායා මාත්‍රයක්වත් දකින්ට ලැබුණේ නැත. වරක් මාවෝත් මමත් ජීවිතාන්තය දක්වාම පෙම්වතුන්ව සිටියෙමු. ඒ ප්‍රේමයේ අංශු මාත්‍රයක්වත් දකින්ට ඇත්තේ නැත.   
දූගේ තාත්තාත් තමාත් දෙදෙනාම බියගුල්ලන් පිළිකුල් කළ බව අම්මා දුවට කියා දෙන්නීය. ඇයට ඒ වචනවල කිසිදු බලපෑමක් ඇත්තේ නැත. නාහ් බැට කා ඇත්තීය. අම්මාට සිතෙන්නේ සිය දූ කිසිම අලංකාර ගෘහ භාණ්ඩයක් තනන්ට නොහැකි තාලයේ නිකම්ම නිකම් ලී කොට කැබැල්ලක් කියාය. කතා කරන විට තමාගේ කටහඬ සැලේදැයි ඇය හොඳටම බියට පත්ව සිටින්නීය. තමාගේ කිසිම කොටසක් දූ තුළ ඇතැයි, අම්මාට නම් වෙන්කොට හඳුනාගන්ට බැරිය. 
රුධිර ගලිත කැරැල්ලකදී සිය මව බේරාගත් නිර්භීත දියණියක වන සිමා - ක්වින්හුවා පිළිබඳ පුරාණ කතාන්දරය මව විසින් නිතර නිතර දියණියට කියා ඇත්තේය. ධර්මිෂ්ඨභාවයේ ඒ පරම ආදර්ශය. නාහ් සවන් දෙන නමුදු, කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැත. හඬා වැලප ඇය පවසන්නේ තමා අම්මා නොවන බවය. ඇය කියන කියන දේවල් කරන්ට තමාට බැරිය. බැරි දේවල් - අපහසු දේවල් - කරන්නැයි තමාගෙන් ඉල්ලා නොසිටිය යුත්තේය. 


උඹට ඇඟිල්ලක් උස්සන්ටවත් බැරිද? අම්මා බෙරිහන් දෙන්නීය. දෙයියන්ගේ නාමෙට, ඒක මගේ අවසාන බලාපොරොත්තුව! 


මාව බේරාගනින්, නාහ්. කවදාක මුත් මගේ හිසට වෙඩි උණ්ඩයක් වදීවි. උඹට ඒක පෙනෙන්නේ නැද්ද? මට විරුද්ධව කුමන්ත්‍රණයක් සිද්ධවෙලා තියෙන බව උඹට පෙනෙන්නේ නැද්ද? උඹේ තාත්තාගේ අවමඟුලට ඩෙන් ෂියාවෝ පින් උදේම ආපු දවස උඹට මතකද? මිනිහා නිකම් මගේ ඇඟිලි පිහදැම්මා විතරයි. හරියටම අතට අත දුන්නේවත් නෑ. ඒක හරියට මාවෝගේ වැන්දඹුව උඹ නේද කියලා මගෙන් ප්‍රශ්න කළා වගෙයි. එයා කැමරා ගැන හොඳ අවදියෙන් ඉන්නේ. මිනිහට අවශ්‍ය වුණේ ඒ දර්ශනය ඒ හැටියෙන්ම කැමරාකාරයෝ අල්ල ගනීවි කියලා. මිනිහා එහෙම කළේ උවමනාවෙන්මයි. අනිත් මිනිහා මාර්ෂල් යේ ජියෑන් - යින් මිනිහා මං ළඟින් ඉවත් වුණේ හරියට සභාපතිතුමා මරලා තියෙන්නේ මං කියලා පෙන්නන්ඩ වාගේ නෙමෙයිද? 


උඹේ තාත්තා එයාගේ සහෝදරවරුන් ගැන මට අනතුරු අඟවලා තිබුණා. නමුත් මා ඔවුන්ගෙන් ආරක්ෂා කරගන්ට එයා මොකවත්ම කළේ නෑ. එයාට හදවතක් නොතිබුණා වාගේ. ඒ අනාවැකිය කරද්දි එයාගේ මුහුණේ තිබුණේ පළිගැනීමේ චේතනාවක ලකුණක්. මම තාමත් ජීවත් වෙනවා කියන කාරණය ගැන එයා හිටියේ ඊර්ෂ්‍යාවෙන්. තමන් සමඟම මාත් වළ දමාවි කියලා එයා හිතන්ඩ ඇති. හරියටම පුරාණ කාලේ වයසක අධිරාජ්‍යවරු ඔවුන්ගේ අනියම් භාර්යාවන් එක්කම වළ දමනවා වාගේ. උඹේ තාත්තා සම්බන්ධයෙන් නම් කෙනෙකුට රැවටිලා ඉන්ඩ හේතුවක් ඇත්තෙ නෑ. ඒ සටකපට නරියා කවුද කියලා තේරුම් ගන්න මට අවුරුදු තිස්අටක් ගතවුණා. වංචාවෙන්, මායාවෙන් ඈත්වෙලා මොහොතක්වත් ඉන්ඩ එයාට බෑ. වංචාවක්, ප්‍රෝඩාවක් නොකර එක දවසක්වත් එයාට ජීවත් වෙන්ඩ බෑ. එයාගේ ඇස් තුළ මම දැකලා තියෙනවා, නොයෙක් ආකාරයේ අවතාර නියපොතු උලුප්පාගෙන ඉන්නවා. ජීවමාන දෙවියෙක්. සර්වඥ මාවෝ. අනේ, මගේ කට. 


උඹ ඉතිහාසඥයෙක්නේ, නාහ්. විප්ලවයේදී මං ඉටුකළ කොටස ගැන උඹ හොඳින් ලේඛනගත කරන්ඩ ඕනෑ. මා කළ පරිත්‍යායත්, මගේ දායකත්වයත් ගැන උඹ විස්තර වශයෙන් හෙළිදරව් කරලා ලියන්ඩ ඕනෑ. ඔව්. ඒක කරන්ඩ පුළුවන් උඹට විතරයි. උඹේ තාත්තා උඹ ගැන හිතන්නේ මොකක්ද කියන එක අමතක කරලා දාපන්. දැන් එයා මැරිලා. එයාගේ මළගිය ප්‍රාණකාරයාට වෙන්නෙ මොකක්ද කියලා මං දන්නෙ නෑ. ඒ පරාණකාරයා මිනීවලේ සැනසීමෙන් ඉන්නවද කියලත් මං දන්නෙ නෑ. එයාගෙ හෙවනැල්ල දිහා බලාගෙන ඉඳපන්. 
මගේ ගෙල මිරිකන අත් හොර රහසේම මට සමීප වෙමින් සිටියි. ඒ අත් මගේ උගුරු දණ්ඩ අතගාන අයුරු මට දැනෙයි. මං මැරෙන්ඩ බය නෑ. උඹේ පෑන් තුඩින් මගේ ජීව ගුණය මිනිසුන්ගේ තොල් මතට - අනාගතයේ එන්ඩ ඉන්න පරම්පරාවන් වෙතට - යනවා නම්. වීරවරියක් පිළිබඳ කතාව මුළු ලෝකෙටම ඇහෙන්ඩ කියාපන්.  උඹේ අත් පිටපත චීනයේදී ප්‍රකාශයට පත්කර ගන්ඩ බැරි වුණොතින් ඒක එළියට අරන් පලයන්. මාව පාවාදෙන්ඩ එපා. අනේ, කරුණාකරලා. 


ඔයා වීරවරියක් නෙමෙයි, අම්මේ! මගේ දුව කියනු මට ඇසෙයි. ඔහේ කාලකණ්ණි පිස්සු රෝගී කාන්තාවක්. ඔහේගේ රෝගය පැතිර යාම වළක්වන්ට ඔහේටවත් බෑ. තාත්තා කිව්වත් වාගේ ඔහේ කපලා තියෙන මිනී වලවල්වලට දාන්ඩ ප්‍රමාණවත් තරම් මළමිනී නෑ! 
ඔවුන්ගේ රාත්‍රී ආහාරය සීතල වෙලාය. නැගී සිටගන්නා නාහ්, පුටුවට පයින් ඇන එය එතනින් ඉවත් කරයි. අත් වැරදීමකින් ඇගේ වැළමිට මේසයේ හැප්පෙයි. දීසියක් බිම වැටෙයි. එය බිඳෙයි. පිඟන් කටු, ගෙබිම පුරාම විසිර යයි. මවගේ සපත්තු මත ග්‍රීස් ඉහෙයි. උඹ මාව මැරුවා, නාහ් හදිස්සියේම මාවෝ මැතිණියට හුස්ම ගන්ට අමාරුය. බිම වැටෙනු වළක්වනු පිණිස, ඇය මේසයේ නෙත්තිය අල්ලාගනියි. 


අම්මේ, අම්මට මාව කවදාවත් හිටියෙ නෑ කියලා හිතාගන්ඩ. 
ඒ වුණාට, උඹට අම්මෙක් හිටියේ නෑ කියල කියන්ඩ බෑ. 


ඔව්. මගෙ බලාපොරොත්තු සේරම සුන් වෙලාය. මම වෙහෙසට පත්ව සිටිමි. වේදිකාවෙන් සදහටම බැස යන්ට මා සූදානම්ය. අන්තිමට තිරය වැටෙන්නේ හෙට උදේ පහයි තිහට ආරක්ෂකයින් මාරු වන වෙලාවටය. සාමාන්‍ය වශයෙන් ඒ වෙලාවේ ඔවුන්ගේ පෙනුම මුඩුමය. හිටපු ආරක්ෂකයා ඈනුම් අරිමින්ම පිටව යයි. අලුත් ආරක්ෂකයා ඈනුමක් ඇරගෙනම ඇතුළු වෙයි. 


පිටත අන්ධකාරයයි. තාරුකා නැති කළු පැහැති සුන්දර රැයකි. බන්ධනාගාර නිලධාරීන් රඳවා ඇත්තේ මා පණ හානි කරගනී දැයි බලන්ටය. නමුත් උන්ට මගේ අධිෂ්ඨානය පරද්දන්ට බැරිය. කඹයක් හදාගන්ට තරම් ප්‍රමාණවත් වන අත් ලේන්සුද සපත්තු මේස්ද මවිසින් එකතු කරගෙන ඇත. 
රබර් බිත්තිවලින් නිකුත් වන්නේ අමුතුම දුර්ගන්ධයකි. නමුත් මා සම්බන්ධයෙන් නම්, සියල්ල ඉතා කදිමය. හෙට ප්‍රවෘත්තිවලදී ඔබට මා ගැන දැනගන්ට ලැබෙනවා ඇත:  මාවෝ ජියෑන් චින් මැතිණිය ගෙල වැළලාගෙන සියදිවි හානිකර ගනියි. දිනය, මැයි 14. 1991. මම දුකෙන්ද? ඇත්ත වශයෙන්ම නැත. මම අපූර්ව ජීවිතයක් ගතකර ඇත්තෙමි.... විශිෂ්ට අවස්ථාවන් පසු කර ඇත්තෙමි. ඒවා ගැන මේ අවසන් මොහොතේදී සිහි කරන විට දැනෙන්නේ, හදවතට මිටියකින් තලනවාක් වැනි හැඟීමකි.... 

 

 

හෙට.... කඩතිරවලින් ඔබ්බට කියවමු

මාතෘකා