බුකර් ත්‍යාගයට මුදල් දෙන්න ක්‍රැන්ක්ස්ටාර් පෙරමුණට

 ඡායාරූපය:

බුකර් ත්‍යාගයට මුදල් දෙන්න ක්‍රැන්ක්ස්ටාර් පෙරමුණට

බුකර් සාහිත්‍ය ත්‍යාගය සඳහා වසර 18ක කාලයක් තිස්සේ අනුග්‍රාහකත්වය ලබාදුන් මෑන් බුකර් සමූහය සිය අනුග්‍රාහකත්වය අවසන් කිරීමෙන් පසුව මේ වසරේ සිට එහි නව මූල්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට මයිකල් මොරිට්ස් සහ හැරියට් හේමන් යන අඹුසැමි යුවල විසින් පවත්වාගෙන යනු ලබන ක්‍රැන්ක්ස්ටාර්ට් නමැති පුණ්‍යාධාර සංවිධානය එකඟතාව පළ කර තිබෙනවා. ආරම්භක වශයෙන් වසර පහක කාලයක් සඳහා පිරිනැමෙන මේ අනුග්‍රාහකත්වය එයින් පසුව තවත් වසර පහක් දක්වා දීර්ඝ කිරීමටද ඔවුන් එකඟ වී තිබෙනවා. ඔවුන් මෙහිදී පිරිනැමීමට අපේක්ෂා කරන අනුග්‍රාහක මුදල කොපමණදැයි මෙතෙක් අනාවරණය කර නැහැ. බුකර් ත්‍යාගයේ ජයග්‍රාහකයාට පිරිනැමෙන ස්ටර්ලින් පවුම් 50,000 මුදල හෝ එංගලන්තයේදී ඉංග්‍රීසි බසින් පළ කෙරෙන ඕනෑම ප්‍රබන්ධ කෘතියක් මේ ත්‍යාගය සඳහා ඇතුළත් කරගැනීමට මෑතකදී ගත් තීරණය වෙනස් කිරීමට ඒ මුදල් වටිනාකම කොතරම්ද යන කරුණ අදාළ නොවන බවයි ඔවුන් පවසන්නේ. මේ අතර වෙනත් භාෂාවකින් රචනා කර, ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ ප්‍රබන්ධ කෘති සඳහාද ජාත්‍යන්තර බුකර් ත්‍යාගය නමින් වෙනම ත්‍යාගයක් ඇරඹීමට සැලසුම් කර ඇති බවත් ඔවුන් පවසනවා.

------------------

කුෂ්වන්ත් සිංගේ ලිපි එකතුවක්

දියණියගේ සංස්කරණයෙන් එයි

මෑත කාලයේ ජීවත් වූ වඩාත්ම ප්‍රකට ඉන්දියානු ලේඛකයින් කිහිප දෙනා අතරින් අයෙකු ලෙස සැලකෙන කුෂ්වන්ත් සිං ලියූ ලිපි එකතුවක් ඔහුගේ දියණිය වන මායා දයාල් විසින් Punjab, Punjabis and Punjabiyat: Reflections on a Land and its People නමින් පළ කර තිබෙනවා. රටක් වශයෙන් බෙදී වෙන්වීමට කලින් 1915 වසරේ අගෝස්තු 15 වැනිදා, පන්ජාබයේ සර්ගෝධා දිස්ත්‍රික්කයේ, හදාලි නමැති ප්‍රදේශයේ උපත ලද කුෂ්වන්ත් සිං විසින් පන්ජාබය, පන්ජාබිවරුන් සහ ෂික් ජනතාව ගැන ලියූ තොරතුරු රැසක් මේ කෘතියට ඇතුළත්ව තිබෙනවා. මේ ඇතැම් රචනා මෙයට පෙර විවිධ අවස්ථාවලදී පුවත්පත් සහ සඟරා ආදියේ පළ වී ඇති නමුත්, ඒවා මෙවැනි එකම කෘතියකට සංග්‍රහවීම වැදගත්. උපන්බිම දෙකඩවීමෙන් ඇති වන බලපෑම සැබෑ ලෙසම අත්විඳි ඔහු ලියූ A Train to Pakistan නවකතාව 1956 දී පළ වුණා. එයින් පසුව ඔහු රචනා කළ නවකතා, කෙටිකතා සහ හාස්‍ය කතා මෙන්ම පුවත්පත් තීරුලිපිද විශාල පාඨක පිරිසක් අතර ජනප්‍රිය වුණා. වර්ෂ 2007 දී පද්ම විභූෂන් සම්මානයෙන් පුද ලද ඔහු 2014 වසරේ මාර්තු 20 වැනිදා මෙලොවින් සමුගත්තා.

[මේනුක විතාන]

මාතෘකා