කාව්‍යය හා කාව්‍ය ප්‍රභේද

 ඡායාරූපය:

කාව්‍යය හා කාව්‍ය ප්‍රභේද

කාව්‍යය යනු රසයෙන් පිරුණු කියමන යි. 'කාව්‍යය යනු රසාත්මක වාක්‍යයක් ය' යනුවෙන් නිර්වචනය කළේ විශ්වනාථ නමැති භාරතීය සාහිත්‍යරධයා යි. ඔහු සිය 'සාහිත්‍ය දර්පණ' නමැති විචාර ග්‍රන්ථයෙහි මේ කරුණ නිදසුන් සහිතව පෙන්වා දුන්නේය.

කිසියම් සිදුවීමක් ගැන ඔබට මෙවැනි වාක්‍යයක් තැනිය හැකි ය:

'ඔහු ඈ සිප ගත්තේය.'

ඒ වාක්‍යය හුදෙක් වාර්තාවක් වැන්න. සිදු වූ දෙයක් එලෙසින් ම වාර්තා කොට ඇති හෙයිනි. එහෙත් ඒ සිදුවීම ම මෙලෙසින් ද වාක්‍යයකට නැංවිය හැකිය:

'ඔහු ඇගේ දෙතොලෙහි රත් පැහැය ඇද ගත්තේය.'

එහෙත් එවිට ඒ වාක්‍යය අපේ සිත් ඇද ගනී. අපේ සිතේ අමුතු හැඟීමක් උපදවයි. ඒ හැඟීම සාහිත්‍යයෙහි හැදින්වෙන්නේ 'චමත්කාරය' යන පදයෙනි. චමත්කාරය උපදවන වාක්‍යය රසාත්මක වාක්‍යයක් ය. රසාත්මක වාක්‍යය කාව්‍යයක් ය.

කාව්‍යයෙහි ප්‍රභේද රාශියකි. ඉන් කීපයක් මෙහි සැකෙවින් ඉදිරිපත් කෙරේ.

පද්‍ය කාව්‍යය

කාව්‍ය වැඩි වශයෙන් ලියවෙන්නේ පද්‍යයෙනි. පද්‍යය යනු විරිතින් ලියනු ලබන රචනාව යි. 'සියබස්ලකර' 'මුවදෙව්දාවත' 'කව්සිළුමිණ' 'ගුත්තිලය' 'බුදුගුණාලංකාරය' 'කෝකිල සන්දෙශය' 'ලෝවැඩ සඟරාව' 'පැරකුම්බා සිරිත' වැනි කාව්‍ය 'පද්‍ය කාව්‍ය' වේ. සීගිරි කැටපත් පවුරෙහි කුරුටු ගා ඇති ගී ද පද්‍ය කාව්‍ය වේ.

ගද්‍ය කාව්‍යය

විරිතින් තොරව ද රසාත්මක වාක්‍ය නිර්මාණය කළ හැකි ය. එසේ ලියනු ලබන රචනා 'ගද්‍ය කාව්‍ය' නම් වේ. ගුරුළුගෝමීන් ලියූ 'අමාවතුර' ගද්‍ය කාව්‍යයක් සේ හැඳින්විය හැක්කකි.

චම්පු කාව්‍යය

ගද්‍ය පද්‍ය දෙකින් ම මිශ්‍ර වුණු කාව්‍යය 'චම්පු කාව්‍යය' නම් වේ. 'හත්ථවනගල්ල විහාර වංශය' චම්පු කාව්‍යයක් වශයෙන් ඩබ්ල්‍යු ඇෆ්. ගුණවර්ධන මුදලිඳු හඳුන්වා දෙයි. (ගුත්තිල කාව්‍ය වර්ණනා, lxv පිට)

මහා කාව්‍යය

පද්‍ය කාව්‍ය අතුරෙහි හමු වන එක් විශිෂ්ට නිර්මාණ විශේෂයක් 'මහා කාව්‍යය' නම් වේ. මහා කාව්‍ය සංකල්පය වඩාත් ජනප්‍රිය වුණේ භාරතයෙහි ය.

'රාමායණය' හා 'මහාභරතය' යනු භාරතයේ ලියවුණු මහා කාව්‍ය දෙකකි. මහා කාව්‍යයේ මූලික ලක්ෂණය නම් එය 'සර්ග' නම් ඒකකවලින් යුක්ත වීම යි.

සිංහලයෙහි 'මහා කාව්‍ය' දෙකකි. පළමුවැන්න දඹදෙණි යුගයෙහි දී දෙවෙනි පැරකුම්බා නිරිඳුන් විසින් රචිත 'කව්සිළුමිණ' යි. ඊට මුල් වූයේ කුස ජාතකය යි. දෙවැන්න 'කව්සේකරය' යි. එය ලියන ලද්දේ තොටගමුවේ සිරි රහල් හිමියන් විසිනි. ඊට මුල් වූයේ 'සත්තුභත්ත ජාතකය' යි.

ඛණ්ඩ කාව්‍යය

මහා කාව්‍යයක ඇතුළත් විය යුතු සියලු ම සර්ග වර්ග ඇතුළත් නොවන කාව්‍යය 'ඛණ්ඩ කාව්‍යය' නමින් හැඳින්වේ. සිංහලයෙහි ඛණ්ඩ කාව්‍ය දෙකකි. එකක් 'මුවදෙවදා වත' යි. අනික 'සසදා වත' යි. මේ දෙක ම අයත් වන්නේ පොළොන්නරු යුගයට ය. මුවදෙව්දා වතට මුල් වූයේ මඛාදේව ජාතකය යි. සසදා වතට මුල් වූයේ සස ජාතකය යි.

ගී කාව්‍යය

'ගී' යනු සිංහල විරිත් අතුරෙහි එන එක් විරිතකි. ගී විරිතින් බැඳුණු කාව්‍යය 'ගී කාව්‍යය' වේ. මුවදෙව්දා වත, සසදා වත හා කව්සිළුමිණ යන පද්‍ය කාව්‍ය තුන ම 'ගී කාව්‍ය' වේ. මුවදෙව්දා වතෙහි ගී 164 කි. සසදාවතෙහි ගී 293 කි. කව්සිළුමිණෙහි ගී 771 කි.පසු කලක ලියවුණු 'සුභාෂිතය' හා 'ලෝකෝපකාරය' වැනි කාව්‍ය ද 'ගී කාව්‍ය' වේ.

සිව්පද කාව්‍යය

'සිව්පද' යනු සිංහල විරිත් අතුරෙහි එන එක් ජනප්‍රිය වෘත්තයකි. සිව්පදයට ඒ නම ලැබෙන්නේ එය 'පාද' හෙවත් 'පේළි' හතරකින් සමන්විත වන නිසා ය. අපට හමු වන මුල් ම සිංහල සිව්පද කාව්‍යය වශයෙන් සැලකිය හැක්කේ ගම්පොළ යුගයෙහි දී ලියවුණු 'මයුර සන්දෙශ' කාව්‍යය යි.

සන්දේශ කාව්‍යය

'සන්දේශ කාව්‍යය' යනු පණිවිඩයක් හෙවත් සන්දේශයක් යවන ව්‍යාජයෙන් නිර්මිත කාව්‍යයකි. අද අප අතට පත් වී ඇති මුල් ම සන්දේශ කාව්‍යය 'මයුර සන්දේශය' වශයෙන් සැලකේ. ඊට පෙර ද ලියවුණු මයුර සන්දේශයක් ගැන සිදත් සඟරාවෙහි සඳහන් වේ. මේ සන්දේශය ගෙන යන්නා පක්ෂියෙක් විය. මේ පක්ෂීන් අතුරෙහි වඩාත් ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ පහත දැක්වෙන පක්ෂීන් ය:

'මයුර' (මොනර) 'තිසර' (හංස)

'පරෙවි' (කලරැව්) 'සැළලිහිණි'

'කොවුල්' (කෝකිල) 'ගිරා'

'හංස' 'සැවුල්'

දූත කාව්‍යය

'දූත කාව්‍යය' යනු සන්දේශ කාව්‍යය හැඳින්වීමට සංස්කෘත සාහිත්‍යයෙහි යෙදෙන නාමය යි. මුල් ම සංස්කෘත දූත කාව්‍යය සේ සැලකෙන්නේ කාලිදාසයන්ගේ 'මේඝ දූතය' යි. පක්ෂයෙකු වෙනුවට වලාකුළක් හෙවත් 'මෙඝයක්' අතේ යැවුණු සන්දේශයක් මුල් කොට 'මේඝ දූතය' ලියවිණ.

විරුද කාව්‍යය

රජෙකු වැනි ප්‍රභුවරයෙකුගේ ගුණ වර්ණනා කිරීම පිණිස ලියවුණු කාව්‍ය 'විරුද කාව්‍ය' යනුවෙන් හැදින්වේ. කෝට්ටේ සිරි පැරකුම්බා රජුගේ ගුණ වර්ණණා කිරීම පිණිස ලියවුණු 'පැරකුම්බා සිරිත' පළමුවෙනි විරුද කාව්‍ය සේ සැලකේ.

උපදේශ කාව්‍යය

බෞද්ධයන්ට එදිනෙදා ජීවිතය යහතින් ගෙන යෑමට අවශ්‍ය උපදේශ කවියෙන් සපයන කාව්‍ය ග්‍රන්ථ විශේෂය 'උපදේශ කාව්‍ය' නම් වේ. ඒ අතුරෙහි පළමුවැන්න සේ සැලකෙන්නේ කෝට්ටේ යුගයෙහි දී බිහි වුණු 'ලෝවැඩ සගරාව' යි. දෙවැන්න සීතාවක කාලයේ බිහි වුණු 'සුභාෂිතය' යි.

තෙවැන්න රණස්ගල්ලේ හිමියන්ගේ 'ලෝකෝපකාරය' යි.

ප්‍රශස්ති කාව්‍ය

'ප්‍රශස්ති කාව්‍යය' යනු 'විරුද කාව්‍යයට' තවත් නාමයකි. කිසිවෙකු අරබයා අතිශයෝක්තියෙන් කෙරෙන වර්ණනාව 'ප්‍රශස්තියක්' සේ සැලකේ.

[ජේ. බී. දිසානායක]

මාතෘකා