කාව්‍යමය සන්දිග්ධාර්ථවත්භාවය සොයා යන චාරිකාවක්

 ඡායාරූපය:

කාව්‍යමය සන්දිග්ධාර්ථවත්භාවය සොයා යන චාරිකාවක්

‘පඬු පැහැ කවි’

කර්තෘ - සෝමසිරි ඒකනායක

ප්‍රකාශනය - අහස

‘ස්මෘතිය අහිමි වූ ගැහැනියක්’ හදවතක රුවක් ගොතයි. ඇය උතුරේ ද දකුණේද කොයි දෙස ද නොදනියි. ඇයට අහිමි වූ ස්මෘතිය කුමක්ද? ජාතිවාදී අනන්‍යතාවද? ඇයගේ යැයි කියා ඇය මත පටවන ලද සම්ප්‍රදාය ද? ඇයට අහිමි වූ නැවතත් ලබාගත නොහැකි දරුවන් පිළිබඳ මතකය ද? කවියා මේ ප්‍රශ්න කිසිවකට පිළිතුරු නොදෙයි. ඇය ගොතන හදවත ඇයගේ ද අපගේ ද විය හැකිය. එය ගොතන්නට ඇයට හැකි වේවාය යන අපේක්ෂාව අප තුළ පුරවාලමින් කවිය අවසන් වේ.

සෝමසිරි ඒකනායක කාව්‍යමය සන්දිග්ධාර්ථවත්භාවය නිර්මාණශීලි ලෙස කවියෙහි රඳවන ආකාරය සොයාගනිමින් සිටියි.

එදිනෙදා ජීවිතයෙහි මනුෂ්‍ය සම්බන්ධතා ගැන ලියන විට පවා ඒ කාව්‍යමය සන්දිග්ධාර්ථවත්භාවය රඳවා ගැනීමට ඔහු සමත් වන අයුරු “සුරුට්ටු දුමක නිදන්ගත සුවඳ” වැනි කවියකින් වුවද පෙනේ.

“එහෙමත් එහෙම දවසක

වටපිට බලා

ඉස්තෝප්පු කෙළවර මුල්ලට ම වී

කළු සුරුට්ටුවක දුම් රසය විඳ

අතට අහුවුණු දවසක

පපුවට තෙරපගෙන

අය්යලාට නොකියන්නැයි

ඇස් දෙකෙන් ආයාචනා කළ අහිංසකයා නුඹය”

මේ අහිංසකයා කවුදැයි කවියා අපට කෙළින්ම කියන්නේ නැත. එහෙත් ඒ අහිංසකයා අතුරුදහන් වෙයි. ඔහු ජීවිතය වෙතින් අතුරුදහන් වී ද, ජීවිතය තුළ අතුරුදහන් වී ද යන්න සන්දිග්ධාර්ථවත්ය. ඒ කරුණු හෙළි නොකෙරේ. එහෙත් ඒ අහිසංකයා නැවත නොපැමිණීම ගැන කවියාගේ වේදනාව අපට ද දැනේ.

මේ සංරචන කෞශල්‍යය “පණිවිඩකරුවෙක් කොහේ හෝ ඇති” වැනි කවියක වඩාත් හොඳින් දකින්නට පුළුවන. එහි එන ඇතැම් යෙදුම් පවා කවියා ප්‍රවීණත්වය කරා ගමන් කරමින් සිටින බවක් අඟවයි.

“මා මනස් දියෙහි පැන නැගි බුබුලු

බලා කල් යල් ගිලෙයි දියෙහිම

සාමයක් සොයමින් එහිම වැතිරෙයි

නිහඬතාවය ලෙසින් පැතිරෙයි..”

මේ කවියෙහි දී කවියා ගොඩනගන විචිත්‍ර පාරභෞතික ලෝකයක් නව පුරාණෝක්තියක් වැනිය. එහි එන කථකයා තමා වෙත කැඳවන “කැඳවන්නා” කවුද? කවියා කියන්නේ ඒ කථකයාගේම අනෙක් අර්ධය බව ය. මෙය වූ කලී ප්ලේටෝගේ සිම්පෝසියම් කෘතියෙහි එන දෙවියන්ගෙන් දඬුවමක් ලැබ දෙකඩ වූ මනුෂ්‍යයාගේ කතාවට සමාන වූවකි. එහෙත් එය අපේ රටේ ඉතිහාසයෙන් ඈත් වූ කතාවක් නොවේ. අපට මුල් ඇති පුරාණෝක්තිමය රචනයකි.

පරිසරය ඇසුරින් කාව්‍යයෝක්ති නිපදවන කවියක් මෑතකදී තිබිණි. ඒකනායක පරිසරය ගැන ලියන විටද ඒ තුළ මිනිසාත්, අපේ අද දවසේ ඉතිහාසයත් රඳවයි. ඒ නිසා එය වියුක්ත දාර්ශනිකත්වයේ පරිසරය නොවේ. මනුෂ්‍යයාගෙන් තොරව පරිසරය නොවේ. “පළඟැටියන්ට”, “අපේක්ෂා දැල්වෙන්නේ ආලෝකයෙන් තොරවය” වැනි කවියක අපට ඒ තත්ත්වය දැකගත හැකිය. එය ජයග්‍රහණයකියි මම සලකමි. “ගිම්හාන නිද්‍රාව” නමැති කවිය අපි කියවා බලමු:

“සඳෙහි මන්දස්මිතය විඳ විඳ

කොඳ කැකුළු ප්‍රමුදිත රැයකි

කිරලුන් කෑ කෝ ගසා

පෑ තර්ජන ද නොතකා

ගෙල බැඳි බර ද සමගින්

ගොහොරුවක ගිල්වූ

පණැති සිරුරක

හුස්ම සිර කළ බුබුළු

අසන්නට දකින්නට කිසිවෙකු නැතත්

කිරල තර්ජන නොනැවතුණි

සඳෙහි මන්දස්මිතය විඳ විඳ

කොඳ කැකුළු මුකුළුවද නොනැවතුණි.”

පරිසරයේ අතිමහත් සුන්දරත්වය අතරම ඉතිහාසයේ ගොරබිරම් බව ද ජීවිතයේ නිස්සාර බව ද කවියා හසු කරගනියි.

“මුරුංගා ගසක ශෝකය” වැනි කවියක දී ද සිදුවන්නේ පරිසරයේ ජීව ශක්තිය සමග ඉතිහාසයේ ජීව නාශක ශක්තිය එක් කිරීමයි. ජීව රක්ෂක ඉතිහාසයක් ගොඩනැගීමේදී මෙම කාව්‍යමය සහසම්බන්ධය ලබා දෙන්නේ වැදගත් ඥානයකි.

සෝමසිරි ඒකනායක මෙම කාව්‍ය සංග්‍රහයෙහි බොහෝ තැන්වල නිපදවන අපූරු පද යුගළකරණ අලුත් අරුත් කලාප කරා අප ගෙනයයි. “තද හිතැති හිස්කමකි කාලය” වැනි කවියක් බලන්න. එය සපුරා ගෙන මෙහි සාකච්ඡා කරන්නට අවකාශ නැත. එම කවියට නම සපයන යෙදුමම යට කී අලුත් අරුත් කරා අප යොමු කරයි. එය හෘදයංගම කවියකි.

ඇතැම් විටෙක මේ වාග්මය නව නිර්මාණ ශක්තිය කවියෙහි ව්‍යූහය කරා ද පැතිර අපූරු පරිකල්පනීය ලෝක ගොඩනඟයි. මේ එවන් කවියකි:

“විමුක්තිය සොයා”

කොසු මිටෙන් ඇන සඳට

මවෙත ඇදගමි

සදාකාලයට සිරකළ

හාවා ද මුදාලමි

මේ දැන් ම

අහස් සිදුරෙන් රිංගා

විශ්වයෙන් පලා යමි

මේ වූකලී නැවත නැවත කියවා අරුත් ගන්වා ගත හැකි විශිෂ්ට රචනයකි. එය සරලය. එහෙත් කවියා කරන ගොඩනැංවීම ඉතා ගැඹුරුය. ඒ වූකලී විමුක්තිය යනු කෙතරම් නම් දුෂ්කර ජයග්‍රහණයක් ද යන්න අන්‍යාලාපයෙන් කියන්නක් වැනිය. එසේම විමුක්තියේ ප්‍රීතිය ද ඉන් ඇඟවේ. විමුක්ති අරගලයේ පරිකල්පනීය මැවුම්කාරීත්වය ද එහි එයි.

විමුක්තිය පිණිස පරිකල්පනීය ස්වයං ගවේෂණය කෙතරම් නම් අවශ්‍යද යන්න පෙන්වන අපූරු කවියක් “භූවල්ලෙක් හැමතම සැරිසරයි” කවියෙන් ද පෙනේ.

සෝමසිරි ඒකනායකගේ කවිය නිවැරදි දිසාවකට, නිවැරදි විලාසයෙන් වැඩෙමින් තිබෙනු දැක මම බෙහෙවින් සතුටු වෙමි.

 

[ලියනගේ අමරකීර්ති]

මාතෘකා