මා සසල කළේ වාරිස් ඩයරිගේ ‘කාන්තාරයේ කුසුම’ යි

 ඡායාරූපය:

මා සසල කළේ වාරිස් ඩයරිගේ ‘කාන්තාරයේ කුසුම’ යි

සාහිත්‍යවේදී චම්මින්ද වෙලගෙදර

පුරුද්දක් විදිහට මම ගොඩක් පොත්පත් කියවන කෙනෙක්. එහෙම කියවූ පොත් අතර මතකයේ සිතුවිලි සසල කළ කෘතිය වෙන්නේ පරිවර්තනයක්. ඒ, රංජිත් කුරුප්පු පරිවර්තනය කළ ‘කාන්තාරයේ කුසුම’ යි. මේ කෘතිය 1997 වසරේදී වාරිස් ඩයරි හා කැත්ලින් මිලර් යන දෙදෙනා එක්ව රචනා කරන්නෙ. එය ඇත්තටම වාරිස් ඩයරිගේ කතාව කැත්ලින් මිලර් ලියා සිටියා වගෙයි. කෙසේ හෝ මේ කෘතිය රංජිත් කුරුප්පු විසින් සිංහලට නඟනු ලබන්නේ. ඒ, 2007 වසරේ. කෙනෙකුගේ සිත සසල කරන්න යම් කෘතියක් සමත් වෙනවා නම් මං හිතන්නෙ ඒ සඳහා කරුණු කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ, පාඨකයා තුළ පුදුමය, ආහ්ලාදජනක බව, ත්‍රාසය මෙන්ම අවිශ්වාසනීයත්වය ආදිය ඇති කිරීමයි. මෙම කෘතියෙන් ත්‍රාසය මෙන්ම භීෂණත්වයද අත්දැකිය හැකියි. ඒ තුළින් විටෙක රුධිරය මිශ්‍ර වීමක්ද විය හැකියි. එසේම අවිශ්වාසනීයත්වය තුළ මැජිකල් රියලිසම්, එනම් ඉන්ද්‍රජාලික යථාර්ථවාදයද තිබිය හැකියි. වාරිස් ඩයරි හා කැත්ලින් මිලර් මේ ලක්ෂණ සියල්ල සිය කෘති තුළින් අඩු වැඩි වශයෙන් ඉදිරිපත් කරනවා. මේ නිසා මගේ හද සසල කළ කෘතිය විදිහට ‘කාන්තාරයේ කුසුම’ හඳුන්වන්න පුළුවන්.

වාරිස් ඩයරි ‘කාන්තාරයේ කුසුම’ කෘතියෙන් කියා සිටින්නේ සෝමාලියාව නම් ආර්ථික පීඩනය උපරිම විදහාපාන රාජ්‍යයේ ඈත දුෂ්කර ගමක සිදු වන ස්ත්‍රී චර්ම ඡේදනය නම් බිහිසුනු ක්‍රියාව පිළිබඳවයි. මනුෂ්‍යත්වයට නිගා දෙන, අතිශය කුරිරු දෙයක් වන මෙය කාන්තාවන් කෙසේ විඳ දරා ගන්නේද යන්න පිළිබඳව කතුවරිය මනාව මෙම කෘතියෙන් ඉදිරිපත් කරනවා. මේ පොතට පාදක වන ස්ත්‍රී චර්ම ඡේදනය සිදු වන්නේ සෝමාලියාවේ 1980 ගණන්වලයි. එය දැනටත් වන බව ඇගේ සෙසු කෘති කියවන විට පේනවා. තමන් කුඩා කල සිට යොවුන් විය, වැඩිහිටි විය ආදී සියලු අවධීන්හි චර්ම ඡේදනය නිසා අත්දුටු ගැටලු වාරිස් සිය කෘතියෙන් පෙන්වා දෙනවා. මේ කෘතිය කියවන පාඨක මනසේ ඇඳී යන්නේ තවමත් මේ පවතින බිහිසුණු තත්වයන් නොදියුණු ඌන සංවර්ධිත රටවල පවතීද යන භීතියයි.

මාතලේ ගලේවෙල උපන් මම දරුවන් හතරදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා. මගේ තාත්තා ගොවියෙක්. අම්මා ගෘහණියක්. මම පොත් කියවන්න ඉගෙනගත්තේ මගේ මාමා කෙනෙකුගෙන්. ඔහු යෞවන සමාජවලට සම්බන්ධව කටයුතු කළ අයෙක්. ඒ යෞවන සමාජවල සිටි අය අතර එකල පොත්පත් කියවීම තිබුණා. එදා තිබුණේ ගොඩක් වෙලාවට ඩීමන් ආනන්දගේ මාරක කතා පොත්, තලංගම ජයසිංහගේ පොත්පත් ආදිය පමණයි. ඒ අතරතුර ඩබ්ලිව්. ඒ සිල්වාගේ පොත්ද දක්නට ලැබුණා. මගේ මතකයේ හැටියට මම ඩබ්ලිව්. ඒ. සිල්වාගේ ‘සුනේත්‍රා නොහොත් නොනැසෙන රැජිණ’ කියෙව්වෙත් මාමා යෞවන සමාජවලට ගිහින් ගෙන ආ වෙලාවකදි. මගේ පාසල වුණේ ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයයි. පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබුවා. කොහොම වුණත් එදා මෙදාතුර මා කියවූ පොත් අතර ‘කාන්තාරයේ කුසුම’ මා සසල කරනවා.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා