භාෂා, ඉන්දු ආර්ය භාෂා හා ෂඩ්භාෂා පරමේශ්වර

 ඡායාරූපය:

භාෂා, ඉන්දු ආර්ය භාෂා හා ෂඩ්භාෂා පරමේශ්වර

තොටගමුවේ සිරි රහල් මාහිමියන් හැඳින්වීමෙහි දී 'ෂඩ්භාෂා පරමේශ්වර' යන විරුදාවලිය නොයෙක් විට යෙදේ. එයින් කියවන්නේ උන් වහන්සේ භාෂා හයක හසළ දැනුමක් ඇතිව හුන් බව යි. 'පරමේශ්වර' යනු යමක 'පරම' වූ 'ඊශ්වරත්වය' දරන්නා ය.

සිරි රහල් හිමියන් දැන සැටි භාෂා හය ම 'ඉන්දු ආර්ය භාෂා' පවුලට අයත් වේ. මේ භාෂා හය කවරේ ද? සංස්කෘත, ප්‍රාකෘත, මාගධ, අපභ්‍රංශ, පෛශාචි, හා ශෞරසේනි යන ෂඩ්භාෂා යි.

ඉන්දු ආර්ය භාෂා

'ඉන්දු ආර්ය භාෂා' (Indo-Aryan languages) යනු මූලික වශයෙන් ඉන්දියානු අර්ධ ද්වීපයෙහි ද ශ්‍රී ලංකාවෙහි හා මාලදිවයිනෙහි ද භාවිත වන භාෂා සමූහයකි. මේ භාෂා 'ඉන්දු යුරෝපීය භාෂා' (Indo-European family) පවුලට අයත් එක් ශාඛාවක් සේ සැලකේ. ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, ශ්‍රී ලංකාව හා මාලදිවයින යන රාජ්‍ය හතෙහි අද මේ භාෂා භාවිත වේ.

1 සංස්කෘත

සිංහල භාෂාව කෙරේ වැඩි වශයෙන් ම බල පෑ භාෂාව සංස්කෘත භාෂාව යි. බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ 'මාගධි' හෙවත් 'පාලි' භාෂාවෙන් වුවත් සම්භාව්‍ය සිංහල ලේඛකයන් බුද්ධ චරිතය, බුද්ධ ධර්මය හා බුද්ධ ශාසනය අළලා ලීවේ සංස්කෘත භාෂාවට නැඹුරු භාෂාවකිනි.

සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල බහුලව හමු වන 'බුද්ධ ශාසන', 'ධර්ම චක්‍ර', 'ධර්ම ප්‍රදීපිකාව', 'කුශල කර්ම', 'චතුරාර්ය සත්‍යය', 'නිර්වාණ', 'පරිනිර්වාණ', 'ජය ශ්‍රී මහා බෝධිය', 'ස්වර්ණමාලි මහා චෛත්‍යය', 'සිද්ධර්ථ ගෞතම' හා 'පරනිර්මිත වසවර්තිය' වැනි පද සංස්කෘත භාෂාවෙන් සිංහලයට ගත් පද යි.

2 ප්‍රාකෘත

'ප්‍රාකෘත' යනු එක් භාෂාවක් නොව භාෂා කීපයක් ම හඟවන පදයකි. ඒ අතුරින් ප්‍රධානතම ප්‍රකෘත භාෂාව වශයෙන් සැලකෙන්නේ 'මහාරාෂ්ට්‍රී' භාෂාව යි. සවැනි සියවසේ විසූ දණ්ඩීන් නම් භාරතීය පඬිවරයාගේ මතය අනුව විශිෂ්ටතම ප්‍රාකෘතය 'මහාරාෂ්ට්‍රී' භාෂාව යි. මහාරාෂ්ට්‍ර යන පදය සිංහලයට ආවේ 'මැරෑටි' යනුවෙනි.

3 මාගධ

මෙය 'පාලි' භාෂාව හැඳින්විමට යෙදෙන පදයකි. ඊට ම 'මාගධී' යන නම ද යෙදේ. 'මගධ' යන පදයට අර්ථ දක්වන වැලිවිටියේ පණ්ඩිත සෝරත නාහිමියෝ සිය ශබ්දකෝෂයෙහි මෙසේ ලියති: "මගධ භාෂා, මගධ දේශයෙහි පැවති භාෂාව, පාලි භාෂාව" (723 පිට)

'මගධ' යනු ඉන්දියාවෙහි වූ සොළොස් මහ දනව්වලින් එකකි. එහි භාවිත වුණු භාෂාවට 'මාගධී' යන නම ලැබිණ. මේ පදය සිංහල කව් ලැකියෙහි යෙදුණේ 'මගද' යනුවෙනි. කෝට්ටේ යුගයෙහි දී ලියවුණු 'සුභාෂිතයෙහි' ''දෙමළ සකු මගද නොහසළ දද'' (5) යනුවෙන් හමු වේ.

4 අපභ්‍රංශ

ජෛන ලේඛකයන් සිය පද්‍ය රචනා ලීවේ 'අපභ්‍රංශ' නම් සාහිත්‍ය භාෂාවෙන් බව කියවේ. අපභ්‍රංශයෙන් ලියවුණු ගද්‍ය රචනා කිසිවක් හමු නොවේ. පුරාතන භාරතීය ව්‍යාකරණඥයන් 'අපභ්‍රංශ' යන පදය යෙදුවේ පාණිනිගේ සංස්කෘත භාෂාවෙන් වෙනස් වූ භාෂා විශේෂයක් අවඥාසහගව හඳුන්වනු පිණිස ය. 'ගව' යන අර්ථවත් 'ගෝ' යන සංස්කෘත පදයෙන් ඈත් වුණු 'ගාවී' 'ගොනී' හා 'ගොතා' වැනි පද 'අපභ්‍රංශ' සේ සරදමට ලක් කෙරේ.

මේ අදහස සිංහල ජන වහරට ද එක් වී තිබේ. කිසිවෙකු අගක් මුලක් නැති දෙයක් කී විට තව එකෙක් "උඹේ අපබ්රංස මට තේරෙන්නෑ" යි කියයි.

5 පෛශාචි

'පෛශාචි' නමැති ප්‍රකෘත භාෂාව ගැන ඇතැම් ව්‍යාකරණ ග්‍රන්ථවල සඳහන් වුවත් ඒ භාෂාවෙන් ලියවුණු කිසිවක් දක්නට නොලැබේ. පෛශාචිය 'භූත භාෂාවක්' සේ සැලකුණු බවක් ද අසන්නට ලැබේ.

6 ශෞරසේනි

'ශෞරසේනි' යනු මධ්‍ය දේශයෙහි භාවිත වුණු ප්‍රාකෘතය යි.

මථුරාව වටා විහිදුණු ප්‍රාන්තය 'ශූරසේන' යන නමින් හැඳින්වුණු බව කියවේ. සංස්කෘත නාට්‍යවල නිළියන් විසින් ද කවටයා වූ විදූශක විසින් ද භාවිත කරන ලද්දේ මේ ප්‍රාකෘතය යි. ඒ හරුණු විට ශෞරසේනි භාෂාවෙන් රචිත ශිලා ලේඛන ද සාහිත්‍ය කෘති ද හමු නොවේ.

ප්‍රාකෘත හා සංස්කෘත

තවත් මතයක් අනුව 'ප්‍රාකෘත' යනු ජන කොට්ඨාසයක් විසින් එදිනෙදා කතාබස් කිරීම පිණිස යොදා ගන්නා භාෂා ව්‍යවහාර යි. මගධ දේශයෙහි ජනයා එදිනෙදා කතා බහ පිණිස යොදා ගත් භාෂාව 'මාගධී' යනුවෙන් හැදින්විණ.

'සංස්කෘත' යනු ප්‍රාකෘත භාෂා අනුසාරයෙන් සකස් කොට ගත් භාෂා යි. ඒ අනුව ප්‍රාකෘත භාෂා සංස්කෘත භාෂාවට වඩා පැරණි ය.

සිංහල ප්‍රාකෘත

සිංහල භාෂාවේ පරිණාමය සතර අවධියකට වෙන් කළ මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් ඉන් පළමු අවධිය නම් කළේ 'සිංහල ප්‍රාකෘත' (Sinhalese Prakrit) යනුවෙනි. එනම් ක්‍රිස්තු පූර්ව 200 සිට ක්‍රිස්තු වර්ෂ හතරවෙනි හෝ පස්වෙනි සියවස දක්වා කාල පරිච්ඡෙදය යි. පැරණි ම සිංහල සෙල් ලිපි ලියා ඇත්තේ 'සිංහල ප්‍රාකෘතයෙන්' බව ඔහුගේ අදහස යි. (A Grammar of the Sinhalese Language)

 

මාතෘකා