මා රුසියානු බසට දැමූ සිංහල කතා පොතක් එකලත් පිටපත් 75,000ක් අලෙවි වුණා

 ඡායාරූපය:

මා රුසියානු බසට දැමූ සිංහල කතා පොතක් එකලත් පිටපත් 75,000ක් අලෙවි වුණා

මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආසියා හා අප්‍රිකා අධ්‍යයනායතනයේ 
සිංහල භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, 
සහාය මහාචාර්ය බො‍රිස් මිහායිලොවිච් වල්හෝන්ස්කි

රුසියාවේ සිංහල භාෂාධ්‍යයනයේ ඉතිහාසය 19 වන සියවස දක්වා ඈතට දිව යයි. ඒ ආරම්භ වන්නේ කීර්තිමත් පාලි පඬිවරයකු වූ මහාචාර්ය ඉවාන් මිනායෙෆ් දමන අඩිතාලමකිනි. විසිවෙනි සියවසේ දෙවන දශකයේදී ලුද්මිලා මේර්වර්ත් මැතිනිය සිංහල උගැනීම සඳහා උනන්දු වන අතර ඒ ආරම්භයෙන් පසු තවත් රුසියානු ජාතිකයෝ ඊට උනන්දු වූහ. මේ අතර සෝවියට් සංගමයත්, ලංකාවත් අතර තානාපති සබඳතා පිහිටුවීමෙන් පසු පළමු ලාංකික තානාපතිවරයා වශයෙන් මහාචාර්ය ගුණපාල මලලසේකර මොස්කව් නුවරට යෑම සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු කෙටි කලක් මොස්කව් ප්‍රාචීන අධ්‍යයනායතනයේ සිංහල භාෂාව උගන්වන අතර රුසියානු සරසවි සිසුන් තුළ සිංහල භාෂාව කෙරේ විශාල උනන්දුවක් ඇති වීමට ඒද හේතු විය.
මෙවැනි පරිසරයක් තුළ රුසියාවේ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආසියා හා අප්‍රිකා අධ්‍යයනායතනයේ වසර තිහකට පසු පසුගියදා නැවත සිංහල භාෂාව ඉගැන්වීම ආරම්භ කෙරිණි. එය රුසියාවේ සිංහල බසේ ප්‍රවර්ධනයට තවද හේතු විය. ඉදින් මෙම සම්මුඛ සාකච්ඡාවට නිමිති වන්නේ රුසියාව තුළ සිංහල බසේ විකාශයයි. එහිදී අප සංවාදගත වන්නේ එම විශ්වවිද්‍යාල ආයතනයේ සිංහල භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සහාය මහාචාර්ය බො‍රිස් මිහායිලොවිච් වල්හෝන්ස්කි සමඟය. ඒ, ද රුසියානු බසිනි. මේ, එම සංවාදයයි.


 ඔබ සිංහල භාෂාව ඉගැනීමට පෙළඹුණේ කෙසේද? 


මා සිංහල භාෂාව ඉගෙන ගැනීමට පටන් ගත්තේ 1972දී. තරුණ වයසේ සිට ඉන්දියාවත් ලංකාවත් පිළිබඳව මට බලවත් උනන්දුවක් ඇති වුණා. මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව උගන්වන බව දැනගත් පසු මා ඉතා සංතෝෂයෙන්, ප්‍රීතියෙන් සිංහල භාෂාව ඉගෙන ගන්න පෙලඹුණා. 1972 සිට 1978 දක්වා මා සිංහල භාෂාව ඉගෙන ගත්තා. ඊට පස්සේ පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරුවා. මගේ ආචාර්ය උපාධි නිබන්ධනය සිංහල භාෂාවේ ව්‍යාකරණය ගැනයි. ඊට පස්සෙ මොස්කව් ආසියා අප්‍රිකා විද්‍යායතනයේ සිංහල, ඉංග්‍රීසි හා සංස්කෘත භාෂා මා උගන්වන්න පටන් ගත්තා. නමුත් 1990 ගණන්වලදී රුසියාවේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වුණා. ඒ අවස්ථාවේ කලා අංශයේ බොහෝ විෂයන් ඉගැන්වීම නතර වුණා. එවිට කනගාටුවකට මෙන් සිංහල ඉගැන්වීමත් නතර වුණා. ඉන් පස්සේ අවුරුදු තිහක් විතර සිංහල ඉගැන්නුවේ නැහැ. නමුත් දැන් සිංහල වගේ භාෂා ඉගෙන ගන්න සහ උගන්වන්න රුසියාවේ ආයෙත් උනන්දුවක් ඇති වෙලා තිබෙනවා. දැන් මට හොඳ ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. දැන් අවුරුදු එකහමාරක විතර කාලයක් තිස්සේ හයදෙනෙක් සිංහල ඉගෙන ගන්නවා. එහි ශිෂ්‍යාවන් තිදෙනෙක් සහ ශිෂ්‍යයින් තිදෙනෙක් ඉන්නවා. ඔවුන් බොහොම උනන්දුවෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නෙ. මේ වන විට ඒ හයදෙනාම ලංකාවේ සංචාරයකත් නිරත වෙනවා. මම හිතනවා ආපසු මොස්කව් ආවාට පස්සේ වැඩි උනන්දුවකින් ඔවුන් සිංහල ඉගෙන ගනීවි කියලා. දැනට ඔවුන් සර්ව සම්පූර්ණ ලෙස සිංහල දන්නේ නැහැ. ඒක ස්වභාවිකයි. නමුත් ඔවුන් ටිකෙන් ටික සිංහල වැඩිදියුණු කරගන්නවා පෙනෙනවා. ඔවුන් ඇත්තටම තරමකට සිංහල දන්නවා. මා බලාපොරොත්තු වෙනවා තමුන්නාන්සේලාටත් මගේ ශිෂ්‍යයින් හමු වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා.


 ඔබ පෞද්ගලිකව ලංකාවට යන්න සැලසුම් කරන්නේ නැද්ද? 


මා මේ අවුරුද්දේ ලංකාවට යන්න සූදානම් වෙලා සිටියා. නමුත් පවුලේ කටයුතු නිසා එය මඟහැරුණා. මම හිතනවා ලබන අවුරුද්දේ සීත කාලයේ අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යෙන්ම එහි යන්න පුළුවන් වෙයි කියලා.  


 ඔබගේ සිංහල භාෂා ගුරුවරයා කවුද? ඔබ සිංහල උගත්තේ කා ‍වෙතින්ද? 


පළමුවන රුසියානු සිංහල ගුරුවරයා මහාචාර්ය අලෙක්සාන්දර් බෙල්කෝවිච්. එතුමා වැඩි වශයෙන් ඉගැන්නුවේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ අධ්‍යයනායතනයේ. ඒ වගේම මේ විද්‍යායතනයේත් එතුමා තමයි සිංහල උගන්වන්න පටන් ගත්තේ. මම ඉගෙන ගත්තේ එතුමාගේ ශිෂ්‍යයකු වන ආචාර්ය රුබාකින්ගෙන්. කනගාටුවකට දැන් මහාචාර්ය බෙල්කෝවිච් අප අතර නැහැ. නමුත් රුබාකින් මහත්මයා ඉන්නවා. එතුමා මා උගන්වන හැටි බොහොම උනන්දුවෙන් බලා ඉන්නවා.
මෙහෙ අවුරුදු පහක් ඉගෙන ගැනීමෙන් පස්සේ මම ලංකාවට ගියා එක් අවුරුද්දකට. එහිදී මා ඉගෙන ගත්තේ, පුහුණුව ලබාගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයෙන්. ඒ කාලයේ හැටියට කිව්වොත් විද්‍යාලංකාර කැම්පස් එකෙන්. එහිදී මා ඉගෙන ගත්තේ මහාචාර්ය ඩබ්ලිව්. එස්. කරුණාතිලකයන්ගෙන් සහ මහාචාර්ය එම්. එච්. ගුණතිලකයන්ගෙන්. දැන් ඒ ස්මෘති මගේ මනසේ සජීවීව මැවෙනවා.   


 පන්ති කාමරය තුළ පමණක් භාෂාව ඉගැනීමට කොටු නොවී සාමාන්‍ය ජනයා ඇසුරු කරමින් ජනවහර තේරුම් ගන්න ඔබ උත්සාහ ගත් බවට ම‍ට සැකයක් නැහැ. ඒ වගේම ඔබ ලංකාවේ ඓතිහාසික ස්මාරක සහ සුන්දර ස්ථාන දැක බලා ගත් බවත් මට විශ්වාසයි. මා නිවැරදිද? 
ඒ කාලයේ වාසනාවට ලංකාවේ සිවිල් යුද්ධය පටන්ගෙන තිබුණේ නැහැ. ඒ නිසා ඕනෑම තැනක ඇවිදීමේ අවස්ථාව ලැබුණා. මම යාපනයටත් ගියා. නොයෙක් වර නුවර ගියා. ඒ ගිය වාර ගණන් මට නිවැරදිව මතක නැහැ. සමහර විට දහ වතාවක් විතර යන්න ඇති. නුවරඑළියෙත් ගියා. අනුරාධපුරයත් දැක බලාගත්තා. ඇත්තෙන්ම මට ලංකාවට යන්න අවස්ථාවක් ලැබෙන හැම විටකම අනිවාර්යෙන්ම මගේ සිහියට එන්නේ සීගිරිය. මා හිතන හැටියට සීගිරිය වගේ ලස්සන තැනක් ලෝකයේ තවත් නැහැ.   
උත්සව හැටියට ගත්තාම ඇසළ පෙරහැර ගැන කවුරුත් දන්නවා. නමුත් මගේ දෘෂ්ටිකෝණයෙන් කල්පනා කරන කොට මට කිව හැක්කේ පොඩි ගම්වල පැවැත්වෙන උත්සවවලට සහභාගි වීම වැඩිය සිත් ගන්නා බවයි. ඒ වගේ උත්සවවලට සහභාගි වුණොත් මිනිසුන්ගේ නියම අදහස් දැනගන්න පුළුවන්. නියම හැඟීම් දැනගන්න පුළුවන්. සමහර විට පොඩි පන්සලකට ගිහින් හාමුදුරුවරු හමු වෙලා උන් වහන්සේලාට කතා කෙරුවොත් ලංකාවේ සංස්කෘතිය, ලංකාවේ සිරිත් විරිත් ගැන වැඩියෙන් දැනුමක් ලබාගන්න පුළුවන්.   

 අවුරුදු තිහකට ආසන්න කාලයක් ඔබ සිංහල භාෂාවෙන් දුරස් වී සිටියත් අදත් ඔබ සිංහල භාෂාව හසුරුවන අන්දම ඉතා අපූරුයි. ඔබගේ සිංහල භාෂා භාවිතයෙන් මා විස්මයට පත් වෙනවා.
නැහැ. සිංහල නූගැන්නුවාට මට සිංහල භාෂාව සමඟ සම්බන්ධයක් තිබුණේ නැහැයි කියලා කියන්න බැහැ. මම 1990 ගණන්වලදී ඇමෙරිකාවට ගියා. එහිදී බොහොම ප්‍රසිද්ධ සිංහල භාෂාව පිළිබඳ විශේෂඥයෙක් හමු වුණා. ඒ, කෝනල් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් ඩබ්. ගෙයා (James W. Gair). කනගාටුවකට දැන් ඒ මහත්මයාත් ජීවතුන් අතර නැහැ. ඩබ්. එස්. කරුණාතිලක මහත්මයාගේ පශ්චාත් උපාධි පර්යේෂණයේ විශේෂඥ උපදේශකවරයා ලෙස කටයුතු කළෙත් එතුමා. මා ඇමෙරිකාවේ සිටි කාලයේ සිංහල භාෂාව ගැන, සිංහල වාග්විද්‍යාව ගැන ලිපි කිහිපයක් ලිව්වා. එහෙම ගත්තාම සිංහල ඉගැන්වීම නතර වුණාට භාෂාව සමඟ තිබුණු සම්බන්ධය මගේ නැති වුණේ නැහැ. ඊළඟට මම 1990 ගණන්වලදිත් 21 වන සියවසේදීත් සම්මන්ත්‍රණවලට, නැතිනම් විවේක ගන්න ලංකාවට කිහිප වරක් ගියා. මම ලංකාවට යන හැම විටම ලාංකිකයින් එක්ක කතා කරන්නේ සිංහලයෙන්. ඉංග්‍රීසියෙන් නොවෙයි. එතකොටත් පුහුණුවක් ලැබෙනවා.   

  ඔබ සිංහල භාෂාව ඉගෙන ගත්තා. ඒ පිළිබඳ පර්යේෂණ කළා. පර්යේෂණ නිබන්ධන සහ පත්‍රිකා සම්පාදනය කළා. සිංහල භාෂාව ඉගැන්නුවා. සිංහල භාෂණ පරිවර්තකයකු ලෙස බො‍හෝ කලක් කටයුතු කළා. ඊට අමතරව ඔබ සිංහල පොතපත රුසියානු භාෂාවට පරිවර්තනය කිරීමටත් පෙලඹුණා. ඔබ මොනවාද පරිවර්තන කෙළේ? 
1980 ගණන්වලදී මාත් ඒ කාලේ සිටි මාගේ බිරිඳත් සිංහල කතන්දර පරිවර්තනය කෙරුවා. ඒ කතන්දර අපි ගත්තේ එච්. පාකර්ගේ කතා සංග්‍රහයෙන්. ඊට පස්සේ ඒ. පී. ගුණරත්න මහත්මයා සංග්‍රහ කරපු පොත් තුනකින්. දැනුත් සමහර විට මට දැනගන්න ලැබෙනවා වෙබ් අඩවි ඔස්සේ ඒ පොත් තවමත් විකිණෙනවා කියල. ඒ කාලයේ පිටපත් 75,000ක් මුද්‍රණය කළා. ඔක්කොම බොහොම ඉක්මනට විකිණුණා. මා ළඟ දැන් ඉතිරි වී තිබෙන්නේ එක් කොපියක් පමණයි. එදා ඊට විශාලම ඉල්ලුමක් තිබුණා. මා හිතනවා දැන් පළ කෙරුවත් කොපි 50,000ක් ඉක්මනටම විකුණා ගන්න පුළුවන් වෙයි.   

 ඔබ සිංහල භාෂාව හැදෑරුවේ තනිව නොවෙයි. ඔබේ කණ්ඩායමේ තවත් පිරිසක් සිටි බව ඔබගේ ප්‍රකාශ මඟින් අපට ඒත්තුගැන්වෙනවා. ඔබ මෙන් ඒ අයත් දිගින් දිගටම සිංහල භාෂාව සමඟ සම්බන්ධව සිටියාද?


මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත ආසියා හා අප්‍රිකා අධ්‍යයනායතනයේ අප සමඟ සිටි සිංහල භාෂා කණ්ඩායමේ ශිෂ්‍යයින් අටදෙනෙක් සිටියා. එයින් හත්දෙනෙක්ම ආචාර්ය උපාධිය දක්වා ඉ‍ගෙන ගත්තා. ඒ අතරින් එක්කෙනෙක් ඩී.එස්.සී. උපාධියත් ලබා ගත්තා. දැන් ඇය ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක්. ඇය දකුණු ආසියානු ඉතිහාස අධ්‍යයනාං‍ශයේ ප්‍රධානී ලෙස කටයුතු කරනවා. ඒ, මහාචාර්ය‍ සෆ්‍රෝනවා මැතිනිය. ආචාර්ය උපාධි හැදෑරූ හත්දෙනා අතරින් තුන්දෙනකු සිය පර්යේෂණ කෙළේ සිංහල සාහිත්‍යය සම්බන්ධයෙන්. දෙදෙනෙක් ඉතිහාසය සම්බන්ධවත් දෙදෙනෙක් වාග් විද්‍යාව සම්බන්ධවත් පර්යේෂණ කළා. එයින් එක් අයෙක්, එනම් මාගේ කලින් සිටි බිරිඳ සිංහල සංදේශ කාව්‍ය පිළිබඳවත්, එක් අයෙක් මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳවත්, එක් අයෙක් ගුණදාස අමරසේකර පිළිබඳවත් හැදෑරුවා. මහාචාර්ය සෆ්‍රෝනවා ලංකාවේ බුද්ධාගමේ ඉතිහාස‍ය ගැනත්, අනික් තැනැත්තා මහාවංශය ගැනත්, මම සිංහල භාෂාවේ ව්‍යාකරණය ගැනත්, අවසාන තැනැත්තා සිංහල ශබ්ධෝච්ඡාරණය ගැනත් පර්යේෂණ කොට නිබන්ධන ඉදිරිපත් කළා. ඒ අනුව වුවත් දැකගන්න පුළුවන් අප ආයතනය තුළ පුළුල් විෂය පරාසයක් යටතේ පර්යේෂණ සිදු කර තිබෙන බව.   


 අපගේ සාකච්ඡාව අවසන් කිරීමට ප්‍රථම ඔබේ ශිෂ්‍යයින්ට සහ ලාංකික ජනතාවට ඔබට කියන්නට තිබෙන්නේ කුමක්ද? 
මා දන්නා තරමින් රුසියාවත් ලංකාවත් අතර විශාල ප්‍රශ්න නැහැ. අතීතයේ අපේ මිත්‍රත්ත්වය උසස් මට්ටමකින් පැවතුණා. මා හිතනවා අනාගතයේදීත්, සමහර විට මගේ ශිෂ්‍යයින්ගේත් ආධාරය ඇතිව, ඒ මිත්‍රත්වය තවත් දියුණුවට පත් වේවියි කියා. සෝවියට් සංගමය කාලේ මම පරිවර්තකයකු වශයෙන් නිතරම කටයුතු කළා. ඒ කාලේ පැවැත්වූ හැම සාකච්ඡාවක්ම අවසාන වුණේ එකම වාක්‍යයකින්. අද දවසට ගළපා ඒ වාක්‍යයෙන්ම මා මේ සාකච්ඡාවත් නිමා කරන්නම්: ‘රුසියානු-ලංකා මිත්‍රත්වයට ජය වේවා!’, ‘රුසියානු-ලංකා මිත්‍රත්වය දිනෙන් දින දිනේවා!’.

 

සාකච්ඡා කළේ [රන්ජන දේවමිත්‍ර සේනාසිංහ]

ඡායාරූප [මල්රේණු කස්තුරිරත්න] 

මාතෘකා