වාච්‍යාර්ථය, ව්‍යංග්‍යාර්ථය හා ධ්වනිතාර්ථය

 ඡායාරූපය:

වාච්‍යාර්ථය, ව්‍යංග්‍යාර්ථය හා ධ්වනිතාර්ථය

'අර්ථ' යන පදය හා බැඳෙන ප්‍රයෝග සමහරක් සාහිත්‍ය විචාරය හා සම්බන්ධ වෙයි. පහත දැක්වෙන ප්‍රයෝග මෙනි.

කෝෂාර්ථය

'කෝෂාර්ථය' (කෝෂ-අර්ථය) යනු පදයක මුල් අර්ථය හෝ වාච්‍යාර්ථය යි. එනම් ශබ්දකෝෂයක මුලින් ම දැක්වෙන අර්ථය යි.

ධ්වනිතාර්ථය

'ධ්වනිතාර්ථ' (ධ්වනිත-අර්ථ) යනු කෙළින් ම නොකියා ව්‍යංගයෙන් කීමෙන් ධ්වනිත කරන අර්ථය යි. කවියා රස ජනනය කරන්නේ ධ්වනිතාර්ථ මගිනි.

භාවිකාර්ථය

'භාවිකාර්ථය' (භාවික-අර්ථය) යනු සිතෙහි පහළ වන මනෝභාව හා සම්බන්ධ අර්ථය යි. මෙය ඉංගිරිසියෙන් හඳින්වෙන්නේ 'emotive meaning ' යන පදවලිනි.'කනවා' හෝ 'අනුභව කරනවා' යැයි කියන විට සිතෙහි පහළ වන අර්ථය ද 'කෙළලා අරිනවා''ගහලා අරිනවා''තියලා අල්ලනවා' 'දීලා අදිනවා' 'අඹරනවා' යැයි කියන විට සිතෙහි පහළ වන අර්ථය ද බෙහෙවින් වෙනස් ය.

'ගව මස්' යැයි කියන්නේ 'ගෙරි මස්වලට' ම වුවත් 'ගෙරි මස්' යැයි කියන විට උපදින භාවාර්ථ 'ගව් මස්' යැයි කියන විට උපදින භාවාර්ථවලට වඩා වෙනස් ය.

මුඛ්‍යාර්ථය

'මුඛ්‍යාර්ථය' (මුඛ්‍ය-අර්ථය) යනු මුල් හෝ ප්‍රධාන අර්ථය යි.

එය හැඳින්විමට ඉංගිරිසියෙහි යෙදෙන්නේ 'formal meaning' හෝ 'primary meaning' වැනි පද යි.

ලක්ෂ්‍යාර්ථය

'ලක්ෂ්‍යාර්ථය' (ලක්ෂ්‍ය-අර්ථය) යනු වාච්‍යාර්ථයත් ව්‍යංග්‍යාර්ථයත් අතර පවත්නා අර්ථ විශේෂයකි. බොහෝ සිංහල ගම්වල නම්වලින් මතු වන්නේ ලක්ෂ්‍යාර්ථය යි. 'වතුරේගම' යන නාමය මෙනි. වාච්‍යාර්ථයෙන් ගත් විට 'වතුරේගම' යනු 'වතුරේ' පිහිටි 'ගමක්' ය. වතුරේ ගමක් පිහිටන්නේ කෙසේ ද? එහෙත් මින් අදහස් කරන්නේ වතුර හා සම්බන්ධ ගමක් ය. 'ගලේවෙල' 'විලේගොඩ' වැනි ගම් නම්වලින් ද මතු වන්නේ ලක්ෂ්‍යාර්ථය යි. බස් මගියෙකු ''මං බෝඩ් එකේ බහිනවා" යැයි ලක්ෂ්‍යාර්ථයෙනි.

වාච්‍යාර්ථය

'වාච්‍යාර්ථය' (වාච්‍ය-අර්ථය) යනු වචනවල කෝෂාර්ථ එක් වීමෙන් මතු වන අර්ථය යි. මෙය ඉංගිරිසි සාහිත්‍ය විචාරකයන් හඳුන්වන්නේ 'literal meaning'හෝ 'denotative meaning'යන පදවලිනි. 'පන්දම් අල්ලනවා' යන්නේ වාච්‍යාර්ථය රාත්‍රී කාලයෙහි පැවැත්වෙන පෙරහැරකට ආලෝකය ලබා දීම පිණිස පන්දම් ගෙන යෑම යි. තමාට යම් කිසි වාසියක් ලබා ගැනීම පිණිස දේශපාලනඥයන් වැනි බලවතුන්ට බැලමෙහෙ කිරීම ද 'පන්දම් අල්ලනවා' යන්නෙන් අදහස් කෙරේ. එය එහි වාච්‍යාර්ථය නොව රූඪි අර්ථය යි. රූඪි අර්ථය හැඟවීමට 'idiomatic meaning' යන පද ඉංගිරිසියෙහි යෙදේ.

ව්‍යංග්‍යාර්ථය

'ව්‍යංග්‍යාර්ථය' (ව්‍යංග්‍ය-අර්ථය) යනු ඍජුව නොකියා වක්‍ර ආකාරයෙන් ප්‍රකාශ කරන අර්ථය යි. කාව්‍යාත්මක වාක්‍යය ව්‍යංග්‍යාර්ථයන් පෝෂණය වූවකි. මෙය ඉංගිරිසි සාහිත්‍ය විචාරකයන් හදුන්වන්නේ 'connotative meaning'යන පදවලිනි.

"අනේ දෙවියනේ මට වුණු වියෝ යා

පැලේ පැදුර හොරු ඇරගෙන ගියෝ යා

ගෙදර ගිය කලට අඬ දබර බෝ යා

පැදුර දුන් කෙනෙක් මගෙ නෑ සියෝ යා"

යන ජන කවියේ වාච්‍යාර්ථය වන්නේ රෑ නිදා ගැනීම පිණිස පැලට ‍ගෙන ගිය පැදුර නැති වූ බව යි. එයින් නොකියා කියන්නේ කුමක් ද? රෑ නිදා ගත්තේ පැලෙහි නොවන බව යි.

අඬ දබර ඇති වීමට හේතුව එය යි.

ව්‍යංග්‍යාර්ථ දනවන පද්‍ය සමූහයක් 'සියබස්ලකර' නමැති පද්‍ය ග්‍රන්ථයෙහි ඇතුළත් වෙයි. 'ආක්ෂේප අලංකාරය' නම් කාව්‍යෝක්තිය පැහැදිලි කරනු වස් එහි එන කතා පුවත මෙවැන්නකි.

එක්තරා තරුණයෙක් හා තරුණියක් ගෝදාවරි ගං තෙර අසල වන ළැහැබක රහසින් හමු වෙති. මෙසේ කලක් ගත වෙයි. හදිසියෙහි ම තවුසෙක් ද ඒ ඉසව්වට ම පැමිණෙයි. ඔහුගේ පැමිණීම තරුණ යුවළට බාධාවකි. තවුසා මෙතනින් ඉවත් කර ගන්නේ කෙසේ දැයි තරුණයා කල්පනා කරයි. ඔහුට මෙතනින් පිට වී යා යුතු යැයි කීම ද නොහොබී. එබැවින් තරුණයා මෙසේ කියයි:

'දැහැමිය යනු මැනවි

එදා ඔබ සැපූ සැඬ බලු

මරා දා ඇත මිඟිදෙක්

ගෝදාවරී ගං තෙර'

එයින් කියවෙන්නේ කුමක් ද? 'දැහැමිය' යනුවෙන් තවුසාණන් අමතන තරුණයා මෙසේ කියයි. 'බිය නොවී යන්න. එදා ගෝදාවරී ගං තෙර දී ඔබතුමා සපා කා සැඩ බල්ලා සිංහයෙකු විසින් මරා දමා ඇත.'

තරුණයා නොකියා කීවේ කුමක් ද? එදා ඔබ සපා කෑ බල්ලා දැන් නැති නිසා බිය වීමට කරුණක් නැත. සිංහයෙකු විසින් ඒ බල්ලා මරා දමා ඇති නිසා ය. බල්ලා දැන් නැති බව ඇත්ත ය. එහෙත් ඒ වෙනුවට දැන් සිංහයෙක් පැමිණ සිටී. එය බල්ලෙකු සිටිනවාටත් වඩා භයානක ය. එබැවින් ගං තෙර හැර දමා යා යුතු යැයි තවුසා කල්පනා කරනු ඇත. එවිට තරුණයාගේ අරමුණ ඉටු ‍වෙයි. තවුසා ගං තෙර අත් හැර ගිය විට තරුණ යුවළට යළිත් සිතූ පරිදි රහසින් හමු වීමට අවස්ථාව සැලසෙනු ඇත. යමක් ව්‍යංගයෙන් කියන ආකාරය මේ පද්‍යයෙන් හෙළි වෙයි.

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

මාතෘකා